ස්විස් තානාපති කාර්යාල නිලධාරිනිය පැමිණිල්ලෙන් විත්තියට ගිය හැටි

වීසා අයැදුම් පත පුරවමින් සිටින අවස්ථාවේ යම් පිරිසක් එම කාමරයට පැමිණ ඇයගේ දෑස් සහ මුව වසා බැඳ, අතපය ද බැඳ දමා වෙනත් කාමරයකට රැගෙන ගොස් ඇත. ඉන් පසුව ඇයගේ ජංගම දුරකථනය ගැන පරීක්ෂා කර ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර, එතෙක් මුව බැඳ තිබූ ආවරණය ඉවත් කර රිවෝල්වරයක් මුව තුළට ඇතුළු කර තර්ජනය කරමින් විමසා ඇත්තේ නිශාන්ත සිල්වා පිළිබඳව ය. එහෙත්, ඇය විසින් ඒ කිසිවක් නොදන්නා බවත්, තමන් කිරි බොන දරුවකුගේ ද මවක වන නිසා තමන්ට කරදර නොකරන ලෙසත් පවසා ඇත. ඒ අවස්ථාවේ තමන්ට ලිංගික වශයෙන් ද අඩන්තේට්ටම් සිදු කර ඇති අතර, මේ සිදුවීම කිසිවකුටත් නොපවසන ලෙසත්, එසේ කියන්නේ නම්, තමන්ව සුදු පැහැති මෝටර් රථයකින් පැහැර ගත් බව පවසන ලෙසත් පැමිණි පිරිස පවසා තිබේ.

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක බලහත්කාරයෙන් රඳවාගෙන ප්‍රශ්න කළ බව කියන සිදුවීම පසුගිය දිනවල මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබීය. කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික නිලධාරිනියක පසුගිය නොවැම්බර් 25 වන දින හඳුනා නොගත් පිරිසක් බලහත්කාරයෙන් රඳවා ගෙන තානාපති කාර්යාලයට සම්බන්ධ තොරතුරු දැන ගැනීම සඳහා තර්ජනය කළ බව එහි දී කියැවිණි. මේ සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයට දැඩි විරෝධය පළ කළ අතර, නිවේදනයක් නිකුත් කරමින් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ, මෙම සිදුවීම බරපතළ එකක් ලෙස තම රජය සලකන බවය. මෙම සිදුවීමට සම්බන්ධ පිරිස් ඉතා ඉක්මනින් නීතිය හමුවට පමුණුවා තම තානාපති කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ස්විට්සර්ලන්තය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය.

එහෙත්, ටික දිනක් ගතවත්ම සිදුවීම සම්බන්ධයෙන් විවිධ පරස්පර ප්‍රකාශ මතු වන්නට වූ අතර, සිදුවීමට මුහුණ දුන්නේ යැයි කියන කාන්තාව කියන තොරතුරු අසත්‍යය බවත්, එවැනි සිදුවීමක් සිදු වී නොමැති බවත් මාධ්‍ය මඟින් ද වාර්තා කරනු ලැබී ය. අදාළ කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඊට අදාළව මේ දක්වා ක්‍රියාවලියේ අවසන් ජවනිකාව බවට පත් වී ඇත.

වාර්තා වූ සිදුවීම

මෙම සිදුවීමට අදාළව පළමුවෙන් වාර්තා වූ තොරතුරුවල සඳහන් වන්නේ අදාළ කාන්තාව සිය දියණියක අධ්‍යාපනය ලබන ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ පැවැති රැස්වීමකට සහභාගි වීමට යන අවස්ථාවේ පිරිසක් විසින් පැහැර ගැනීම සිදු කළ බවයි. එසේ පැහැර ගත් පිරිස තමන්ට තර්ජනය කළ බවත්, මේ බව හෙළි කළහොත්, සිය පවුලම මරා දමන බවත් ඇය පවසා තිබිණි. පැහැර ගැනීම සඳහා සුදු පැහැති මෝටර් රථයක් යොදාගෙන තිබූ බවත්, අතහැර දැමීමෙන් පසුව ඌබර් ටැක්සියකින් තමන් නිවෙස බලා ගිය බවත් සඳහන් විය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ සාකච්ඡා කරන්නේ මේ කරුණු මත පදනම්වය.

එහි දී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ආණ්ඩුවට කළ දැනුවත් කිරීම මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළේය. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය 2019 නොවැම්බර් 29 සිකුරාදා ලබා දුන් තොරතුරු මත ප්‍රශ්න කරනු පිණිස සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය තමන් වෙත යොමු කරන ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් කළ ඉල්ලීම ඉටු කිරීමට තානාපති කාර්යාලය ක්‍රියා නොකළ ද, ඒ පිළිබඳව විමර්ශනය ඉදිරියට ගෙන යනු ලැබූ බව ශ්‍රී ලංකා විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය නිකුත් කර තිබෙන නිවේදනයක සඳහන් විය.

සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනිය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළගැස්ම සහ කාලවකවානුව සිදු වීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොගැළපෙන බව ඌබර් වාර්තා, සීසීටීවී දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් දත්ත ඇසුරෙන් සනාථ වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවසන්නේ ඉන් අනතුරුවය. එහෙත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය පවසන්නේ, මේ සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ සිදු කළ යුතු බවයි. එසේම තානාපති කාර්යාලයේ පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවේ නීතිවේදීන් හමු වී මේ පිළිබඳ වැඩිදුර උපදෙස් බලාපොරොත්තු වන අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පාර්ශ්වයෙන් ඒ වන විට අදාළ කාන්තාවගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බවත්, ඇයට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ අනුව ඇයට විදෙස් ගමන් තහනමක් පනවනු ලබන අතර ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නොතීසි නිකුත් කරනු ලැබී ය. තානාපති කාර්යාලය විසින් නීතිඥ උපදෙස් සහ මැදිහත් වීම පතන්නේ මේ ප්‍රකාශය ලබා ගැනීමට අදාළ අධිකරණ කටයුතුවල දී ඊට මැදිහත්වීමත්, ඇයට අධිකරණය විසින් පනවනු ලැබූ විදෙස් ගමන් තහනම ඉවත්කර ගැනීම සඳහාත්ය.

නීතිඥවරුන් හමුවේ කළ ප්‍රකාශය

සිදුවීම අධ්‍යයනය කරන නීතිඥවරුන්ට මේ පිළිබඳ අදාළ කාන්තාව සමඟ සාකච්ඡා කිරීමට තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසනු ලැබ ඇති අතර, එහි දී කාන්තාව විසින් සිදුවීම තොරතුරු සහිතව ඔවුන් හමුවේ පවසා තිබේ. 

ඒ අනුව මෙම කාන්තාවගේ වැඩිමහල් දියණියගේ පන්ති භාර ගුරුවරිය විසින් තමන්ගේ වීසා අයැදුම් පත සම්පූර්ණ කර ගැනීම සඳහා සහයෝගය අවශ්‍ය බව ඇයට පවසා ඇත. ඒ සම්බන්ධයෙන් අදාළ ගුරුවරියට ඇය දුරකථන මාර්ගයෙන් උපදෙස් ලබා දුන්න ද, එය නිසි පරිදි සිදු වී නොමැති නිසා ඇයගේ නිවසට ගොස් එය සම්පූර්ණ කර දීමට ඇය තීරණය කර ඇත. ඒ වන විට තානාපති කාර්යාලයේ වීසා අංශය භාර නිලධාරියාට දුරකථන මාර්ගයෙන් පණිවිඩයක් තබන කාන්තාව කාර්යාලයෙන් නිවාඩු ලබාගෙන ඌබර් ටැක්සියකින් පැල්මයිරා ඇවනිව් හි පිහිටි ඉහත කී ගුරුවරියගේ නිවස තිබෙන මහල් නිවාස සංකීර්ණයට ගොස් තිබේ. නිවාස සංකීර්ණයේ දෙවැනි මහලේ තිබෙන අදාළ නිවසට යන ඇයට ගුරුවරිය විසින් වීසා අයැදුම් පත ඇයට ලබා දී තිබේ. එය පුරවමින් සිටින අවස්ථාවේ යම් පිරිසක් එම කාමරයට පැමිණ ඇයගේ දෑස් සහ මුව වසා බැඳ, අතපය ද බැඳ දමා වෙනත් කාමරයකට රැගෙන ගොස් ඇත. ඉන් පසුව ඇයගේ ජංගම දුරකථනය ගැන පරීක්ෂා කර ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර, එතෙක් මුව බැඳ තිබූ ආවරණය ඉවත් කර රිවෝල්වරයක් මුව තුළට ඇතුළු කර තර්ජනය කරමින් විමසා ඇත්තේ නිශාන්ත සිල්වා පිළිබඳවය. එහෙත්, ඇය විසින් ඒ කිසිවක් නොදන්නා බවත්, තමන් කිරි බොන දරුවකුගේ ද මවක වන නිසා තමන්ට කරදර නොකරන ලෙසත් පවසා ඇත. ඒ අවස්ථාවේ තමන්ට ලිංගික වශයෙන් ද අඩන්තේට්ටම් සිදු කර ඇති අතර, මේ සිදුවීම කිසිවකුටත් නොපවසන ලෙසත්, එසේ කියන්නේ නම්, තමන්ව සුදු පැහැති මෝටර් රථයකින් පැහැර ගත් බව පවසන ලෙසත් පැමිණි පිරිස පවසා තිබේ.

ඉන් පසුව ඔවුන් විසින් නැවතත් ඇය පෙර සිටි ස්ථානයටම රැගෙන විත් නිදහස් කර පිටව ගොස් ඇත. ටික වේලාවකින් ගුරුවරිය ද එම ස්ථානයට පැමිණ ඇති අතර, කිසිදු වෙනසක් ඇය විසින් පෙන්වා නැත. එහෙත් ඉක්මනින්ම ටැක්සියකින් නිවස බලා යන අතර, තමන්ගේ ස්වාමිපුරුෂයාට සහ තානාපති කාර්යාලයට ඇය පවසා ඇත්තේ ඇයව බියගන්වා ඇයට කරන ලෙස පැවසූ සිදුවීමයි. ඇය විසින් නීතිඥවරුන් හමුවේ මෙම ප්‍රකාශය කරන්නේ දෙසැම්බර් මස හත් වැනිදාය.

ප්‍රකාශය සටහන් කර ගැනීම

මේ අතර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින්, ඇය ප්‍රකාශයක් ලබා දෙන තත්ත්වයක නොමැති බව ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ප්‍රකාශ කළ අතර, ඇය ඒ වන විටත් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නියෝජිතයන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියොජිතයන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද ආරම්භ වී තිබිණි. එහි දී  ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු විසින් පවත්වනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට භාජන කළ යුතු බව තීරණය වී තිබේ. එහි දී වෛද්‍ය රවීන්ද්‍ර ප්‍රනාන්දු විසින් ද, ඊට අමතරව ස්විට්සර්ලන්ත වෛද්‍යවරයකු විසින් ද ඇයව පරීක්ෂා කර ඇත.

මේ අතර ස්විට්සර්ලන්ත තානාපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇත්තේ, තානාපති කාර්යාලයට පැමිණ කාන්තාවගෙන් ප්‍රකාශය ලබා ගැනීමට හැකියාවක් තිබේ ද යන්නයි. එහෙත්, ජාත්‍යන්තර නීතිය අනුව තානාපති කාර්යාල භූමියක් අදාළ රටට අයිති භූමියක් ලෙස පිළිගැනෙන නිසා එය සිදු කළ නොහැකි බව නීතිපතිවරයාගේ මතය වී තිබේ. ප්‍රකාශය ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කාන්තාව රැගෙන යාමට තානාපති කාර්යාලය තීරණය කරන්නේ ඉන් අනතුරුවය. නීතිඥවරයකුට සහ තානාපති කාර්යාල නියෝජිතයකුට නිරීක්ෂණ මට්ටමෙන් සහභාගි වීමට එහි දී අවස්ථාව ලබා දී ඇත. සවස 5.30ට පමණ ආරම්භ කළ මේ ප්‍රකාශ සටහන් කර ගැනීම පාන්දර 3.00 පමණ වන තෙක් පැවැත්විණි. ඒ දෙසැම්බර් මස 08 වැනිදාය.

අධිකරණ කටයුතු

අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙසැම්බර් 09 වන දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. එහි දී පැහැරගෙන යාමට ලක් වූ බව කියන අදාළ කාන්තාව කිසියම් පහර දීමකට හෝ ලිංගික අපයෝජනයකට හෝ භාජනය වී සිටී ද යන්න පිළිබඳව සහ ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකට ලක්ව සිටින්නේ ද යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කරනු ලැබීය.

පෙර දින අදාළ කාන්තාව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළත්, අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී අදාළ කාන්තාව පිරිමි වෛද්‍යවරයකු හමුවේ කායික වෛද්‍ය පරීක්ෂණයට භාජනය වීමට අකැමැත්ත පළ කිරීම නිසා එම පරීක්ෂණය එදින අවසන් කර ගැනීමට නොහැකි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. වෛද්‍යවරියක ඉදිරියේ එම පරීක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙස ඇය ඉල්ලීමක් කළ බවත්, ඒ අනුව ඇයට කොළඹ අධිකරණ වෛද්‍ය කාර්යාලයට වෛද්‍ය පරීක්ෂණ සඳහා පෙනී සිටින ලෙස දැනටමත් දැනුම් දී ඇති බවත් වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහි දී පැහැරගෙන යාමට ලක් වූ බව පවසන කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයාගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කාන්තා වෛද්‍යවරයකු ඉදිරියේ සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. තම සේවදායකයා ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට සම්බන්ධ විදේශීය වෛද්‍යවරයකු සහ දේශීය වෛද්‍යවරයකු විසින් පරික්ෂා කරන ලදුව ලබාගත් වාර්තාවන්හි ඇය පහර දීමකට සහ ලිංගික අපයෝජනයකට භාජනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද නීතිඥවරයා එහි දී කියා සිටියේය.

සියලුම ස්ත්‍රී දූෂණ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ සාමාන්‍යයෙන් සිදුකරන්නේ අධිකරණ වෛද්‍ය කාර්යාලයේ සිටින පිරිමි වෛද්‍යවරුන් බවත්, සාමාන්‍ය ක්‍රියා පටිපාටිය එය බවත් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළ අතර, කෙසේ වෙතත් මෙම කාන්තාව වෛද්‍යවරියක ඉදිරියේ පරීක්ෂණයට භාජනය කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නාය.

මෙහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ, පැහැරගෙන යාමට ලක් වූ බව කියන කාන්තාව යහපත් මානසික තත්ත්වයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව මානසික වෛද්‍ය මණ්ඩලයක් හමුවට යොමුකර වාර්තාවක් ලබා ගැනීමට අවශ්‍ය බවය. තම සේවාදායිකාව සුදුසු මානසික තත්ත්වයෙන් සිටින බව කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේය.

අගතියට පත් කාන්තාව මෙම අවස්ථාවේ සුදුසු මානසික තත්ත්වයෙන් පසුවන බවට ඇයගේ නීතිඥවරුන් ප්‍රකාශ කරන හෙයින්, එවැනි මානසික වෛද්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එහෙත්, ඇය මෙම අවස්ථාවේ කිසියම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියම කළේය. කාන්තාව අංගොඩ මානසික රෝහල වෙත ඉදිරිපත් කරන්නේ ඒ අනුවය.

විදෙස් තහනම

මෙහි දී අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විදේශගත වීම වළක්වාලමින් තම සේවාදායිකාව වෙත පනවා තිබෙන තහනම් නියෝගය හැකි තාක් ඉක්මනින් ඉවත්කර ගැනීමට අවශ්‍ය බවය. ඒ අනුව අදාළ කාන්තාවගෙන් ප්‍රකාශ ලබා ගැනීම කඩිනමින් අවසන් කරන ලෙස පොලිසියට දැනුම් දුන් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම කටයුතුවල ප්‍රගතිය දෙසැම්බර් 12 වන දා වාර්තා කරන ලෙස නියම කළාය. ඒ අනුව ඇයට පනවා තිබු තාවකාලික විදේශ ගමන් තහනම දෙසැම්බර් මස 12 දක්වා දීර්ඝ කිරීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාරයට

ඒ අනුව දෙසැම්බර් මස 12 වන දින අධිකරණය හමුවේ නැවතත් සිදුවීම විභාගයට ගනු ලැබූ අතර, නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් කියා සිටියේ, ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් වී නොමැති බවයි. එසේම ඇයගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමට අවශ්‍ය වුව ද එය ලබා දී නොමැති බවත්, තානාපති කාර්යාලය විසින් එය රඳවාගෙන සිටින බවත් පවසනු ලැබිණි. එසේම ඇය විසින් මුලින් පැවසූ තොරතුරු සහ පසුව පැවසූ තොරතුරු අතර පරස්පරයක් තිබෙන නිසා තව දුරටත් ඇය වින්දිතයකු නොවන බවත්, ඒ වෙනුවට ඇය සැකකරුවකු වශයෙන් සැලකීමට සිදු වන බවත් නීතිපතිවරයාගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 190 වගන්ති ප්‍රකාරව අධිචෝදනා පත්‍ර ගොනු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ නිසා කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, විදෙස් ගමන් තහනම දීර්ඝ කරන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව එළැඹෙන දෙසැම්බර් 30 වැනිදා දක්වා දින 14ක කාලයක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

විත්තිකරුවූ වින්දිතයා

කාන්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ආසන්නතම හේතුව වී තිබෙන්නේ ඇය විසින් සිදු කළේ යයි කියන පරස්පර ප්‍රකාශයන්ය. එහෙත්, ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දෙන්නේ, ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇත්තේ එක් ප්‍රකාශයක් පමණක් බවත්, පරීක්ෂණ සිදු කළ යුත්තේ, එම ප්‍රකාශය පදනම්ව බවත්ය. ඊට පෙර ඇය තානාපති කාර්යාලයට කර ඇති ප්‍රකාශය ඇය විසින් බියට පත්ව කරන ලද්දක් බව පැහැදිලිව පෙනී යන බවත්ය. එසේම මෙය දණ්ඩනීති සංග්‍රහයේ 120 වගන්තිය යටතට ගැනෙන වරදක් මෙතැන සිදුව නොමැති බවත් නීතිඥ මතය වී තිබේ.

කෙසේ වෙතත්, ඇය විසින් පවසන සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් මේ වන තෙක් සිදු කර නොමැත. ඒ වෙනුවට මෙය හුදු ප්‍රබන්ධයක් පමණක් බවට පූර්ව නිගමනයක සිටිමින්, මෙය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයත්, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ කාන්තාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුනුත් එක්ව සිදු කළ නාඩගමක් බවට මතයක් මාධ්‍ය විසින් සමාජගත කරනු ලැබීය. පැහැරගැනීමක් යැයි කියවුනු සිද්ධියක වින්දිත කාන්තාවගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජගත කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කළේ මාධ්‍ය සදාචාරයට අදාල මූලික කොන්දේසි පවා කඩ කරමිනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරන භික්ෂුන් වහන්සේලා ඇතුළු ඇතැම් කණ්ඩායම් මාධ්‍ය සාකච්ඡා පවත්වමින් තීන්දු තීරණ ද දෙන්නට පටන් ගත්හ. ඒ මාධ්‍ය වාර්තා අනුව දැන් මෙම කාන්තාව පවසන කිසිවක් සිදු වී නොමැත. එය ඇයගේ හිතලුවක් පමණි. මේ වන විට සමාජය තුළ නිර්මාණය වී ඇති මතය එයයි.

අධිකරණය හමුවේ විභාග වෙමින් තිබෙන කටයුත්තක් පිළිබඳ එවැනි වැරදි මත සමාජගත කිරීම නීතිය ඉදිරියේම වරදක් නොවන්නේ ද යන්න මෙහි දී මතු වන එක් ප්‍රධාන ගැටලුවකි. එසේම සිදුවීමක එක් පාර්ශ්වයක් පිළිබඳව පමණක් පරීක්ෂණ කිරීමත්, අනෙක් පාර්ශ්වය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමත් ජනතාවට නීතියේ රැකවරණය සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු කිරීමකි. මෙම සිදුවීම දැනට ඉතිරි කර ඇති ශේෂ පත්‍රය එයයි.

චතුර දිසානායක

සබැඳි

Leave a Reply

Your email address will not be published.