මගේ කාලෙනම් පූටින් ඔහොම ගැහුවෙ නෑ හාමුදුරුවනේ

පූටින් මහත්තයයි බයිඩන් මහත්තයයි යුක්‍රේනය බෙදාගන්න කෙහෙවලු පටලවාගෙන ඉන්න අල්ලපනල්ලේ අපේ හිතවත් ට්‍රම්පච්චිත් ඊයේ ආයෙම කළඑලි බැස්සා.ඇමෙරිකාව රුසියාවත් එක්ක ගේම ඇදගෙන ඉන්න වෙලාවෙ ට්‍රම්ප් මහත්තයා මේ පත්තු කරපු විලක්කුව නිසා බලයේ ඉන්න ඩිමොක්‍රටික් පක්ෂයත් ටිකක් ඇවිස්සිලා ගිහින්. ට්‍රම්ප් මහත්තයා කියන්නේ එතුමා බලයේ හිටියානම් යුක්‍රේනයට මේ සන්තෑසිය සිද්ධවෙන්නෙ නෑ කියලයි.
ට්‍රම්ප් මහත්තයාගේ Facebook, Twitter ඔක්කොම බ්ලොක් කරල නිසා පණිවිඩ දැන් යන්නේ උන්නැහේගෙ මාධ්‍ය ලේකම්ගේ Twitter ගිණුමේ. ට්‍රම්ප් ඇපල් ෆෝන් එකේ කොටන මැසේජ් එක ලේකම් Screen shot ගහලා එයාගේ Twitter එකේ දානවා.ඒකෙන් තමයි ට්‍රම්ප් මේ කතාව කිව්වේ.
2020ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් මහත්තයාට ගෙදර යන්න වුණා. ඊට පස්සේ 2021 ට්‍රම්ප්ව අදහගෙන ඉන්න සෙට් එකක් ඔබයි අපේ ට්‍රම්පච්චි කියාගෙන වොෂින්ටන් DCවලට බැහැලා ගිණිවිජ්ජුම්බරයක් වුණ බව කවුරුත් දන්නවා. උන්දැලා කැපිටල් හිල් බිල්ඩිමේ නටපු තොයිලෙ කොහොමද කියනවානම් කිහිප දෙනෙකුට පරලොවත් යන්න වුණා. ඒක ඇමෙරිකානු ඉතිහාසයේ කලු පැල්ලමක්. තමන්ගෙ ගෝල බාලයන්ට නොහොබිනා පණිවිඩ යවන්න Social Media පාව්ච්චි කරන නිසා සකර්බර්ග්ලා ට්‍රම්ප්ගේ ගිණුම් තහනම් කළා. එහෙම වුණේ නැත්නම් අදටත් ට්‍රම්ප් මහත්තායා අපිත් එක්ක දිගටම Facebook, Twitter ඉන්න කොල්ලෙක් තමයි. උන්දැ ජනාධිපති පුටුවේ ඉන්න කාලෙ 25000 කට වැඩිය Twit ගහලා තිබ්බා කියලා වාර්තා වුණා. තහනමට කළින් ට්‍රම්ප්ගේ handle @realDonaldTrump ගිණුමේ followers ලා මිලියන 88.9 කි හිටියා.
රුසියාවයි යුක්‍රේනයයි ඇවිලිච්ච දවසේ චැනල් එකේ Fox News චැනල් එකේInterview එකකට ආපු ට්‍රම්ප් මහත්තයා මෙහෙමත් කියනවා.
“පූටින් යුක්‍රේනයේ ලොකු කෑල්ලක් අල්ලගෙන. ඒකනම් නියමයි. මාරයි. ඒක මොලේ ඇති වැඩක්. උන්නැහේ එහෙට ගිහින් සාම නියෝජිතයෙක් වේවි. ”
එහෙම කිව්වම තැපෑලෙන් වදින්නේ දැන් ඉන්න ඇමෙරිකානු ජනාධිපතිතුමාට බව ට්‍රම්ප් උන්නැහේ දන්නවා.
හැබැයි ඒත් එක්කම යුක්‍රේන ජනාධිපති සෙලන්ස්කි මහත්තයාවත් මුරුංගා අත්තේ තියන්න ට්‍රම්ප් කටයුතු කරන බව පේනවා. සෙලන්ස්කි කියන්නෙත් වීරයෙක් කියලයි ට්‍රම්ප් කියන්නේ.
2019 දි සෙලන්ස්කිට කෝල් එකක් දෙන්න ගිහින් ට්‍රම්ප් මහත්තයාට දෝෂාභියෝගයකටත් මුහුණ දෙන්න වුණා. ඊළග ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වෙන ප්‍රතිවාදියා බයිඩන් බව දැන ගත්ත ගමන්ම ට්‍රම්ප් සෙලන්ස්කිව අල්ල ගෙන ගුලියක් අඹරන්න ගිය බව තමයි කියවුණේ. බයිඩන් මහත්තයා කළින් උප ජනාධිතිකමේ ඉන්න කාලෙ එයාගේ පුතා සේවය කළේ යුක්‍රේනියානු බලශක්ති සමාගමයක. මේ ඔක්කොම එකම පටලවලා බයිඩන්ට මඩ ගහන්න සෙලන්ස්කිව අල්ල ගන්න නූල් සූත්තර කරපු බව තමයි ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණේ.
“දැන් බලන්න බුෂ්ගෙ කාලෙ පූටින් ගිහින් ජෝර්ජියාව ඇල්ලුවා. ඔබාමාගෙ කාලෙ ක්‍රිමියාව ඇල්ලුවා. දැන් අපේ බයිඩන් මහත්තයාගෙ කාලෙ ඩොන්බාස් ඇල්ලුවා. රුසියාව තවත් රටක ආක්‍රමණයක් කරනවා දැක්කෙ නැති එකම ජනාධිපති මමයි.”
ට්‍රම්ප් මහත්තයා Save America රැළි වල ආඩම්බරයෙන් කිය කියා යන්නේ “ඔබට සතුටුයිද දැන්” කියනවා වගේ.
2018 දිත් ට්‍රම්ප් මේ වගේම ගිණිබෝලයක් අතෑරියා. ඇමෙරිකානු හිතවාදී බටහිර බලඈණියම හොල්මන් කරමින් රුසියාව විසින් ක්‍රිමියාව ඈඳෑගැනීම ට්‍රම්ප් සාධාරණීකරනය කළා. රුසියාව G8 සමුළුවෙන් පන්නා දැමුවෙත් මේ ක්‍රිමියානු ආක්‍රමණය නිසා. ඊට පස්සේ ඒක G7 සමුළුව වුණා. ක්‍රිමියාව කියන්නේ රුසියාවේ කොටසක් බව ට්‍රම්ප G7 සමුළුවේදී කිව්වේ නායකයන් ඉස්සරහමයි. රුසියාව ආයෙත් බඳවාගෙන G8 සමුළුව විදියට ඉදිරියට යන්න ඕන බව තමයි ට්‍රම්ප් කිව්වේ. බටහිර නායකයන් මොන බම්බුවකට යුක්‍රේනය එක්ක ඉන්නවාද කියල ට්‍රම්ප් G7 සමුළුවේදී කෙළින්ම ඇහුවා.
ජෝ බයිඩන් දිවුරුම් දෙන දවසේ ධවල මන්දිරයෙන් පිටපාරෙම යන්න ගිය ට්‍රම්ප් මහත්තයා ෆ්ලොරීඩා වලට ගිහින් නිකම් ඉන්නෙ නෑ. පුළුවන් වුනොත් ආයෙත් 2024 දි ආපහු මහපුටුවට කුරුමානම් අල්ලන එක නතර කරලා නැහැ. අල කීයද ලූණු කීයද අහන්න වොෂින්ටනයට ආවෙ නැති උනාට Save America කියලා බෝඩ් එකක් ගහගෙන රැස්වීම් මාලාවක් හීන්සීරුවේ කරගෙන යනවා. ට්‍රම්ප් සුලඟක් ගැන තැන තැන කතාවෙන්නෙත් ඒකයි.
ඒ නිසා උන්නැහේ තැටිය රත්වෙච්චි වෙලාවෙ රොටිය පත්තු කරගන්න හදන බවක් හොඳට පේනවා. මේ ඔක්කොටම මුල 2020 “දූෂිත” මැතිවරණයෙන් වැරදි මිනිහෙක් බලයට ආපු එක කියල ට්‍රම්ප් කියනවා. “ඔහුත් නොදන්නිය ඔහු යන මාවත. උන් හිටි තැන් මතකයෙ අඩමානය” කියල තමයි කියන එක තමයි බයිඩන් සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙ මතය.
2020 ජනාධිපතිවරණය වෙලාවෙත් ට්‍රම්ප් මාකට් කළේ තමන්ගෙ කාලෙ ලෝකෙ අනිත් රටවල් වලට හොම්බ දාන්න ගිය නැති එක. අහක තියෙන යුද්ධවල පැටලිලා ඇමෙරිකානු කොල්ලො බිලිදෙන්න බැහැ කියල එතුමා කිව්වා. ඇෆ්ගනිස්තානයෙන් හමුදා ඉවත් කර ගැනීමේ තීරණය ගත්තෙත් ට්‍රම්ප් තමයි. උන්නැහේගේ කාලෙ දීපු ලොකුම ගේම තමයි බල්ලො බළල්ලු ගාණට මිනිස්සු මර මරා පොර ටෝක් දිදී හිටපු ISIS අබුබකර් ලොක්කාගෙ නළලටම ෂොට් එක දෙන එක.
ට්‍රම්ප් නිතරම බැලුවේ කොහොම හරි ඇමෙරිකානු ආර්ථිකය ස්ථාවර කරගෙන ඉදිරි කාලයේ චීන සල්ලි එක්ක හැප්පෙන්න බලන එක. ට්‍රම්ප් මහත්තයා පූටින් ගැන ඒ කරම් කරදර වෙන්න ගියෙ නැහැ. ඇමෙරිකාව මූලික කරගත් ලෝක රටාවක් කියන ඩිමොක්‍රාටික්, රිපබ්ලිකන් පක්ෂ දෙකේම විදේශ ප්‍රතිපත්තියෙනුත් ට්‍රම්ප් යුගයේ ටිකක් පිට පැන්නා. බයිඩන් මහත්තයා වගේ රැවුලයි කැඳයි දෙකම බේරගන්න බලපු නායකයෙක් නෙවෙයි ට්‍රම්ප්. උපාය මාර්ගික ලෙස එකට හිටියත් යුරෝපයේ මර්කල් නෝනාලටත් කියන දේ මූණටම කිව්වා.
ඇමෙරිකාවත් එක්ක කොක්ක එල්ල ගෙන හිටපු ගොඩක් අයියලා එක්ක ඩීල් දාගන්න ට්‍රම්ප්ට පුළුවන් වුණා. හොඳම උදාහරණය ලෝක ලෝක සිතියමේ කෙළවරට වෙලා වෙලා බැලැස්ටික් මිසයිල ටෙස්ට් කර කර හිටපු උතුරු කොරියාවේ මහත ළමයා කිම් ජොන් උන්ව බැලන්ස් කර ගත්ත එක. ට්‍රම්ප් මුල් දවස්වල කිම්ට කිව්වේ “රොකට්ටුවා” කියලා. ඒකට හිලව්වට කිම් කොල්ලා ට්‍රම්පච්චිට “නාකි මයිනා” කිව්වා. කොහොම හරි පස්සේ දෙන්නා බාප්පයි පුතයි වගේ සෙට් වුණා. සිංගප්පූර්වේදියි පිලිපීනෙදියි හම්බ වෙලා නාහෙට නාහන කිම් ජොන් උන් කොළුවාව බැලන්ස් කරගන්න ට්‍රම්ප් මහත්තයා කරපු සේවය අමතක කරන්න බැහැ.

නොම්මර එකේ ව්‍යාපාරික අංකුට්ටෙක් වෙච්චි ට්‍රම්පච්චි ඇඟට නොදැනී ලෝකය හැල්මේ කරකවපු බව කිව්වොත් පුංචි පහේ ඇත්තකුත් තියෙනවා.
– ශානක ලියනගම
ලෝකය එකම යායක්


Leave a Reply

Your email address will not be published.