‘රණවීරයන්ගේ කවියේ දාර්ශනික තලයත් භාව පද්ධතියත් දෙක මුසු කරන විවරණය ‘තමාගේ ම ගීය ගයන තණ ගිරවා’

කවියක අන්තර්ගතය මිස, එහි ආකෘතිය, සැකිල්ල, ව්‍යුහය බොහෝවිට නොතැකූවත්, අන්තර්ගතයේ දෑ තීව්‍ර වෙන්නත් නොවෙන්නත් ව්‍යුහය බලපානවා. ඒක හරියට හොඳ කෑමක් කන්න කලින් සුවඳින්, ඒ ආහාරය පිළිගන්වලා තියෙන සුන්දර බඳුන, ආදියෙන් පළමුව අපි තෘප්ත වනවා වගේ. ඒනිසා අපි නොහිතුවත්, අන්තර්ගතයට වඩා ආකෘතිය ප්‍රබල වනවා. ගී කාව්‍යවලත්, ඉන්පස්සෙ මහා කාව්‍ය, සන්දේශ කාව්‍යවලත් සෘජුකෝණාස්‍රාකාර පෙට්ටි ආකාරගත් දෙපද / සිව්පද කවි, ඉන්පස්සෙ සමචතුරස්‍ර ආකාරයේ කවි බවටත්, මහනුවර හරියෙදි යළි වඩාත් දිගු පෙට්ටි, ගජමන් නෝනා හරියට එද්දි තුන්පද සමඟ ඈදුණු, ඈතට කළ හතරපද ආකාරය(දෙනිපිටියේ නුග රුක), ආනන්ද රාජකරුණාගේ ළමා කවිවලදි මේ පෙට්ටි හැඩ බිඳීම් සහ විශේෂයෙන් ජී.බී.සේනානයක නිසඳැස් ආකෘතියෙදි දිගු පේළි ආකාරයේ හැඩය දරන්නා ලෙසින් ‘ ගද්‍යටත් පද්‍යටත් අතර වන නිබන්ධන’ රිද්මය සහිත කාව්‍යයත්, නිදහස් ආකෘතියෙදි එහි රූප සීමා ඉක්මවීමත්, කවියේ හැඩ රුව සම්බන්ධයෙන් සංයුක්ත කවි බිහිවීමත් දැකගත හැකියි.
ආරියවංශ රණවීර, මේ ආකෘතියේ හරඹය තේරුම්ගත් අයෙක්. ඔහුගේ කවිවල සිව්පද සේ ම නිදහස් ආකාරේ ස්වරූපැති කවි ඇතත්, එක් පේළියකට එක් වචනයක් හෝ වචන දෙකක් බැගින් යොදමින්, පඩිපෙළක් ලෙසින්, පදවලට භාව කවලා, තත් මොහොතට අදාළ අර්ථ අවධාරණය කරන්න උත්සාහ කරනවා. මේ සඳහා ඔහු ආභාසය ලබන්න ඇත්තේ චීන සහ හයිකු කවියෙන් බව උපකල්පනය කළ හැකියි.කවියේ දාර්ශනික එළඹුම ගැන අදහස ඔහුට මෙකී කාව්‍ය ඇසුරින් ආවා වන්නට පුලුවන්. අවශ්‍ය ම වදන් යෙදීම, රිද්මය රැකීම, අර්ථ තීව්‍රකිරීම ආදිය බලද්දි එහෙම හිතෙනව. රණවීරගේ මේ කව් ආකාරය, මාලන් බණ්ඩාර කපුවත්තගේ ‘අගුණ මල්’ සඳහා පෝෂණය සපයන බව පෙනෙනවා.
හයිකු – චීන කාව්‍ය විශයෙහි හසළ දැනුමැති ආරියවංශ රණවීර ඒ කව් පරිවර්තනය කරමින් කෘති ලෙස පළ කළා වගේ ම, දීර්ඝ විවරණ සහිතව පාඨකයාට හඳුන්වා දුන්නා, “සංස්කෘතිය සහ ගොඩ්සිලාකරණය” කෘතියේ චීන කවි ගැන සඳහන් ලිපි මගින්. ආරිය රාජකරුණාත් මෙය සිදුකරනවා. පසුකලෙක චීන කවියේ ඉතිහාසය ගැන පරාක්‍රම කොඩිතුවක්කු ‘යැංසි කාව්‍ය නදී’ යනුවෙන් කෘතියක් පළකරනවා. එකම චීන කවිය, රණවීරත් කොඩිතුවක්කුත් දෙන්නම පරිවර්තනය කරන සහ විශ්ලේෂණය කරන විදියේ වෙනසත් දැකගන්න පුලුවන්.
ඒ හැරුණම, පොදුවේ බටහිර කවීන්ගෙ කවි කියැවීමෙන් විශේෂයෙන් එස්රා පවුන්ඩ්, ටී.එස්.එලියට් ආදීන්ගෙ කවි සහ ලෝක කවි මගෙහි ආස්ථානය ගැන හැදෑරීමෙන් තමන්ගේ කවිය පෝෂණය කරගන්න ඔහුට හැකි වූ බව පැහැදිලියි. මෙලෙස ඔහු හඳුනාගත් කවියන් සහ ඔවුන්ගේ ලක්ෂණ ‘කවිය සහ කවියා’, ‘ඇමරිකානු කවියට පෙරවදනක්’ වැනි පොත්වලින් පාඨකයාට විවෘත කළා.
මේ නිසා රණවීර එක පැත්තකින් කවියෙක්, අනෙක් පැත්තෙන් පරිවර්තකයෙක් වගේ ම ශාස්ත්‍රීය පඨනයක් ඇති ලිපි ලියන්නෙක් ද වනවා. මේ එක් භූමිකාවක්, ඔහුගේ අනෙක් භූමිකාව වෙනුවෙන් අන්‍යෝන්‍ය දායකත්වය දක්වා ඇති බව පැහැදිලියි. දිවයින ‘වටමඩල’ අතිරේඛයටත් ඔහු කලක් කවි ගැන වැදගත් විවරණ ලිව්වා. ඔහුගේ කාව්‍ය භූමිකාව සංවාද තලයට ඇවිත් තිබූණා වුණත්, ඔහු පළ කළ විවරණ ගැන විචාරාත්මක විග්‍රහ පළවී නැතිතරම්.

‘තමාගේ ම ගීය ගයන තණ ගිරවා’

නොසන්සිඳී ගලන රණවීර කවි උල්පත ගැන විචාරාත්මක සහ ශාස්ත්‍රීය ලිවීම් අපට හමු වුණා නම් ඒ, ලියනගේ අමරකීර්ති කළ ‘පහන සහ කැඩපත’ කෘතියෙන්. එතැන දි ඔහු, ආරියවංශ රණවීරගේ කවි ගැන කියවන්නාට සාධනීය පෙළඹුමක් කරනවා. රණවීරගේ කවි ගැන වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල විසින් ‘තමාගේ ම ගීය ගයන තණ ගිරවා’ මැයෙන් විමසුම් කෘතියක් පළකර තිබෙනවා. රණවීර සිය කවි බොහොමයක් එක් පොතකට ගෙන පළකර තිබෙනවා වගේ ම, ඒ කවිවලට විවරණ සහිත ඒ වෙනුවෙන් ම ලියූ එක් පොතකුත් තිබීම පහසුවක්.
නිවුන්හැල්ලයනගේ මේ කෘතිය, ‘රණවීරගේ කවි ලස්සනයි’ කීමකින් එහා දාර්ශනික තලයත් භාව පද්ධතියත් දෙක මුසු කරන විවරණ ලෙස හඳුන්වා දෙන්න පුලුවන්. කවිය කියැවීමේ දී රසවිඳීමේ දී දැනෙන හැඟෙන දෙය, ඔහු ඉතාම පැහැදිලි ව නිරවුල්ව ඉදිරිපත් කරනවා. මින් පෙර මා නොඇසූ විවිධ වියතුන්ගේ විචාරකයන්ගේ නම් හුවා දක්වමින් කාව්‍ය නියම සහ ලකුණු ගැන ඔවුන්ගේ අදහස් ගෙනෙමින් රණවීරගේ කවි හා මුසු කරනවා. ඔවුන්ගේ අදහස් සහිත පොත්/ ලිපිවල නම් ඇතුළත් නිසාත්, මුල් කෘතියේ තිබූ ඉංග්‍රීසි ජේද ඇතුළත් නිසාත්, ඉදිරි සෙවීමක් වෙත යා හැකි අයට එයින් උදව්වක් ලැබෙනවා. රණවීරගේ කවි කලක් තිස්සේ අරා සිටි නිසාදෝ කොහෙද, කතුවරයා කවි වෙත තිරස්ව එළඹෙනවා.

‘රණවීරගේ වචන අඩු වියදම් කවිය’ ,

‘රණවීරගේ කවියේ නිහඬතාව තුරු පතකින් තුරු පතකට පතිත වන වැහි බිඳු හඬ තියුණුව ඇසෙන්නට සලස්වයි’
‘ප්‍රකාශන ජීවට ගලා එන අච්චුවක්’
‘සරළ වචන බුහුටි ලෙස අල්ලාගැනීම’
හයිකු කවියේ ගැඹුරට යන කතුවරයා, කවියක පද සංඝටනාව ගැන, වාක්‍යාංශ ගැන, පදවල ව්‍යුහය රිද්මයට බලපාන හැටි ගැන, ‘ජපන්, හයිකු කවි, චීන කවි සහ රණවීරගේ කවි’ පරිච්ඡේදයේදී ගැඹුරින් කතාකරනවා. ඉන් නොනැවතී ජපන් කවිය උච්චාරණය වන සැටි දක්වා කිමිදෙනවා. ශාස්ත්‍රීය ලිපියක්, කෘතියක් ලියද්දී යා හැකි උපරිමයට යායුතු සැටි පෙන්වන තැනක් ඒ.
කෙටිකතාවකදී ඒකීය ධාරණාව වැදගත් වන්නා සේ, කවියක සමස්තාර්ථය අරා කවියා වෙහෙසෙන සැටි, නැගෙන රාවය, රිද්මය, පද බෙදීම් නිසා අර්ථයට වන දායකත්වය, මෙහිලා කතා කෙරෙනවා. කවියෙන් මතුවන විවිධ අරුත් සඳහා ඉඩ තබන රණවීර සේ, කතුවරයා විවිධ අරුත් නැගෙන විවරණ ඉදිරිපත් කරනවා. ඇතැම්විට උපුටාගැනීම් බහුලවත්, තවත් විටෙක තමාගේ ම අදහසුත් එක්ක, පරිච්ඡේද 6ක් මේ විවරණ ඇදී යනවා. මේ හැරුණම රණවීරගේ කව් ලකුණු නිවුන්හැල්ලගේ කව්වලත් දැකගන්න පුලුවන්.
රණවීර ලාංකේය කවීන් අතරත්, ඊටත් වඩා බටහිර සහ ජපන් කවීන් අතරත් තබන රචකයා මේ වෙනුවෙන් සැලකිය යුතු බුද්ධිමය වෙහෙසක් දරා ඇති බව පැහැදිලියි. හුදෙක් කවිය විතරක් අරගන්නේ නැතිව, වෙනත් සංකල්ප එක්ක මුසුකරල රසවිඳින්නාව කොදෙව්වෙන් එහාට ගෙනිහින්, නව අදහස් ගොඩනැගීමේ හැකියාවෙන් යුතු පුහුණු රසිකයෙක් බවට පත්කරන්න ඔහු මෙයින් උත්සාහයක් දරනවා.
යළි යළිත් ඒ, ‘තණ ගිරවා’ කියවමින්…

– ඩිල්ශානි චතුරිකා දාබරේ

‘තමාගේ ම ගීය ගයන තණ ගිරවා’ | වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල | සුභාවි ප්‍රකාශන

Leave a Reply

Your email address will not be published.