පාර කියන සැළා අතරමං වීම

ජාතික රූපවාහිනී සේවය සහ ස්වාධීන රූපවාහිනී සේවය යන රාජ්‍ය රූපවාහිනී සේවාවන් 2015 සිට පැහැදිලිව අනුගමනය කළ ප්‍රතිපත්තියක් වූයේ මිථ්‍යා විශ්වාස ප්‍රවර්ධනය කෙරෙන පලාපල කීම, බෙලිකටු විකිණීම වැනි වාණිජ වැඩසටහන් ප්‍රචාරය නොකිරීමය. තවද ජාතික රූපවාහිනී සේවය තවත් ඉදිරි පියවරක් තබමින් යන්ත්‍ර මන්ත්‍ර, ජ්‍යෝතිෂය, සාමුද්‍රිකා ශාස්ත්‍රය, පේන කීම ආදී විවිධ මිථ්‍යා විශ්වාස වැරදි විශ්වාස මිස සත්‍යය නොවන බව පැහැදිලි කළ ‘යථාරූප’ නමැති වැඩසටහන් මාලාවක් ප්‍රචාරය කරන ලදී.  මෙම වැඩසටහන මහජනයා තුළ විචාරශීලීබව ඇති කිරීමට රුකුල් දුන් අතර පාර්ලිමේන්තුවේදී සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයාගේද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේද ප්‍රසාදයට ලක්විය. තවද මෙම වැඩසටහනට විද්‍යුත් මාධ්‍ය සඳහා වූ ජනාධිපති සම්මාන උළෙලේදී ද තවත් රූපවාහිනී සම්මාන උළෙලකදී ද සම්මාන හිමිවිය. එහෙත් පසුගිය අප්‍රේල් මාසයෙන් පසු මෙම වැඩසටහන ප්‍රචාරය නොවීය.

එකල පත්ව පැමිණි රූපවාහිනී සේවයේ සභාපතිනිය ‘යථාරූප’ වැඩසටහන ආරම්භ කර, ජ්‍යොතිෂවේදීන් තුන් දෙනෙකු යොදවා කළ ප්‍රථම වැඩසටහනට මහජනයාගෙන් ඇති වූ විරෝධය නිසා එයට ජ්‍යොතිෂඥයන් ගෙන්වීම නවත්වන ලදී. එහෙත් යථාරූප වැනි විද්‍යාත්මක වැඩසටහන් මෙතෙක් ප්‍රචාරය වූයේ නැත.

නව ආණ්ඩුව පිහිටුවීමත් සමග ජාතික රූපවාහිනී සංස්ථාව, සභාපතිවරයකු නොසිටි අවස්ථාවේ හදිසියේම මිථ්‍යා විශ්වාස ප්‍රවර්ධනය නොකිරීමේ ප්‍රතිපත්තියෙන් ඉවත්වී ‘වාස්තු සූක්‍ෂමා’ නමැති මිථ්‍යා වාණිජ වැඩසටහන සෙනසුරාදා දිනවල ප.ව. 1.00 සිට 1.30 දක්වා ප්‍රචාරය කිරීම ආරම්භ කිරීම ගැන අපි කනගාටුවෙමු.

මෙම වැඩසටහන ආරම්භයේදී පැවසෙන්නේ ‘සහසකුත් සංවේදන, අසංතෘප්ත බලාපොරොත්තු, නිවී දැවෙනා ප්‍රාර්ථනාවන්, කම්පනයට පත්වූ ජීවිත, සඳහා කළ යුතු කිසිවක් නැති වුවද ‘ඔබට එකම මගක්’ ඇති බවත් ඔබේ ජීවිතයට ග්‍රහදෝෂවලින් විය හැකි අකාරුණිකත්වය, වාස්තු විද්‍යාවෙන් සමනය කළ හැකි බවත් ඒ සඳහා ස්වාමි කාලි කණගරත්නම් මහතා හමුවන ලෙසත්ය.

මෙම වැඩසහනෙන් විස්තර කෙරෙන්නේ යමෙක් ඉඩමක් ගැනීමේදීද නිවසක් සෑදීමේදී ද ඒවායේ විවිධ ලක්ෂණ අනුව සිදුවන ගුණාගුණ ගැනය. මේ දේ අසන අයට සිතෙනු ඇත්තේ තමාටත් සිය පවුලේ සියලු දෙනාටත් සිදුවන යහපත මෙන්ම අයහපත සඳහා වගකිවයුතු වන්නේ තමා පදිංචි ඉඩමේ ස්වභාවයත්, එහි සාදා ඇති නිවසේ ලක්ෂණත් බවය.

මෙම දේවල් අසන අය ඉන් බියපත්ව මෙම වැඩසටහන ඉදිරිපත් කරන රාජගිරියේ ශ්‍රී වාස්තු බිල්ඩර්ස් වෙත ගොස් ස්වාමි හමු වී මුදල් වියදම් කර ඔහු ගෙන්වාගෙන ඉඩමේ සහ නිවසේ ඇතැයි කියන දෝෂ දුරලීමට උපදෙස් පතනු ඇත.

මෙම උපදෙස් අනුව සමහර විට ඉඩමේ තාප්ප බැඳීමටද විවිධ පැති උස් පහත් කිරීමටද නිවසේ ඉදිකිරීම්වල වෙනස්කම් ද සිදු කිරීමට සිදුවනු ඇත. මේ සඳහා විශාල වියදමක් දරන්නට සිදුවනු ඇත. මෙවැනි වාස්තු විද්‍යා උපදේශකයන්ගෙන් උපදෙස් ගත් මගේ මිතුරකුට ගෙදර මුළුතැන්ගෙය කඩා බිඳ, එය වෙන තැනකින් සෑදීමට සිදුවිය. රත්නපුරේ මගේ මිතුරකු වන අමිල මහතා මට දැන් වූ පුවතක් නම් ඔහුගේ මිතුරකුගේ දියණියන් තුන් දෙනාටම විවාහ වීම කල්යාමට හේතුව වශයෙන් වාස්තු උපදේශකයකු පවසා ඇත්තේ එයට හේතුව නිවසේ වහළේ ඇති දෝෂයක් බවත් එයට පිළියම වන්නේ වහළ කඩා වෙනත් ක්‍රමයකට වහළ ගැසිය යුතු බවත්ය. බණ්ඩාරගම රඹුක්කන දෙමහල් නිවසක් තනා සතුටින් ජීවත් වූ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීත අධ්‍යක්‍ෂවරියකට තවත් වාස්තු උපදේශකයෙක් දන්වා තිබුණේ එම නිවස සම්පූර්ණයෙන් වාස්තු දෝෂ සහිත නිසා එය වහාම විකුණා දමා වෙනත් නිවසක පදිංචි වන ලෙසය. ඒ අනුව රමණීය පෙදෙසක ඉදිකර තිබූ එම නිවස විකුණා දැමූ ඇය වෙනත් තැනක පැරණි නිවසක් මිලට ගෙන අපහසුතා මැද එහි ජීවත් වූ අතර ඇයගේ නිවස මිලදී ගත් අය එහි කිසි වෙනසක් නොකර ඉතා හොඳින් ජීවත්වූහ.

විද්‍යාත්මක ගෘහනිර්මාණ ශිල්පය ඉංග්‍රීසි භාෂාවෙන් හැඳින්වෙන්නේ ‘ආකිටෙක්චර්’ (Architecture) වශයෙනි. එහෙත් එයට ද වාස්තු විද්‍යාව යන නම යොදා ඇති නිසා බොහෝ අය මහත් ගැටලුවකට මුහුණ පා ඇති අතර, විද්‍යාත්මක ගෘහ නිර්මාණ විද්‍යාවෙහි පලාපල කීමක් නොසිදුවන අතර ඉඩමේ ස්වභාවය, එහි පස්වල භෞතික ස්වභාවය, එයට හිරු එළිය, සුළඟ, වර්ෂාව ආදිය ලැබෙන දිශාව ආදී භෞතික ලක්‍ෂණ අනුව එහි ඉදිවිය යුතු නිවස නිර්මාණය කෙරෙන අතර එහි කාමර ආදී අංග නිවැසියන්ගේ අවශ්‍යතා සහ පහසුව ඇතිවන සේ සකස් කෙරේ. විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පය, විශ්ව විද්‍යාලවල අවුරුදු පහක ප්‍රායෝගික අත්දැකීම්ද සහිත පාඨමාලාවකි. ඉඩමක් මිලදී ගැනීමේදී හෝ නිවසක සැලැස්ම පිළියෙල කිරීමේ සිට නිවස නිර්මාණය කිරීමේදී උපදෙස් ලබාගත යුත්තේ විද්‍යාත්මක ගෘහ නිර්මාණ ශිල්පයෙන් විශ්ව විද්‍යාල උපාධියක් ලැබූ අයකුගෙන් මිස පලාපල කියන ව්‍යාජ වාස්තු උපදේශකයන්ගෙන් හෝ හින්දු පූජකවරුන්ගෙන් නොවේ.

වාස්තු ශාස්ත්‍රය ලෙස ඉන්දියාවේ හැඳින්වෙන මෙම පලාපල කීම විද්‍යාවක් නොව ව්‍යාජ විද්‍යාවකි. (Pseudo Science) පුරාණ ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පයක් වන මෙය වේදයෙහි කොටසක් වන අන්තර්වේදයෙහි සඳහන්ව ඇත. මුලින් හින්දු පූජනීය ස්ථාන නිර්මාණය කිරීම සඳහා මෙම ක්‍රම යොදාගන්නට ඇතැයිද පසුව මිනිස් වාසස්ථාන සඳහාද එම අදහස් භාවිත කරන්නට ඇතැයි සැලකේ. වාස්තු ශාස්ත්‍රය වර්ධනය වීමේදී ඉන්දියාවේ පැවති බොහෝ මිථ්‍යා විශ්වාස එයට එකතු වී ඇත.

එකල පැවති එක් මිථ්‍යා විශ්වාසයක් නම් සෑම දෙයක්ම සෑදී ඇත්තේ පඨවි (පෘථිවිය), අපෝ (ජලය), තේජෝ (ගින්දර), වායෝ (වාතය) සහ ආකාශ (අහස) යන මූලද්‍රව්‍ය පහකින් බවය. මෙම මූලද්‍රව්‍යවල එකඟතාවක් (Harmony) මෙම ශිල්ප ක්‍රම මගින් සිදුවනු ඇතැයි විශ්වාස කෙරේ. එකල පෘථිවිය පැතලි වස්තුවක් ලෙස සලකා එක් එක් දිශාවට අධිපති දෙවිවරුන්ද ඇතැයි විශ්වාස කර ඇත. මේ අනුව යම් ඉඩමක ඇති දිශා අනුවද එක් එක් දිශාවට එම දෙවිවරුන්ගේ බලපෑම් ඇතැයි සැලකේ. උතුරු දිශාවට අධිපති දෙවියා කුවේර යනුවෙන්ද දකුණට අධිපති දෙවියා යම යනුවෙන්ද නැගෙනහිරට අධිපති දෙවියා ඉන්‍ද්‍ර යනුවෙන්ද බස්නාහිරට අධිපති දෙවියා වරුණ යනුවෙන්ද, ඊසාන දිශාවට අධිපති දෙවියා ඉසාන යනුවෙන්ද ගිනිකොන දිශාවට අධිපති දෙවියා අග්නි යනුවෙන්ද, වයඹ දිශාවට අධිපති දෙවියා වායු යනුවෙන්ද නිරිත දිශාවට අධිපති දෙවියා නිරුති යනුවෙන්ද හඳුන්වා ඇත. ජ්‍යෝතිෂයෙහි බලපෑම නිසා දිශාවලට ග්‍රහයින්ගේ බලපෑම් ඇතැයි සලකා උතුරු දිශාවට බුධ ද, දකුණු දිශාවට අඟහරුද නැගෙනහිර දිශාවට හිරුද, බස්නාහිර දිශාවට සෙනසුරුද ඊසාන දිශාවට බ්‍රහස්පතිද ගිනිකොණ දිශාවට සිකුරුද වයඹ දිශාවට චන්‍ද්‍රයාද, නිරිත දිශාවට රාහු ද බලපාන බව විශ්වාස කර ඇත. මෙම විශ්වාසවලට අනුව නිවසක විවිධ කොටස් වෙනස් කිරීමට උපදෙස් දෙනු ඇත.

තවද ඉඩම ඇති නගරයේ සහ ඉඩමේ නව අංක ශාස්ත්‍රය අනුව නිවසේ පදිංචි වන අයගේ නම් සමග ගැළපීම, විවිධ කාර්යවලට නැකත් බැලීම, බහිරව පූජා පැවැත්වීම ආදී විවිධ මිථ්‍යාවන් වාස්තු ශාස්ත්‍රයෙහි අඩංගුය.

නොදියුණු මිනිසා විශ්වාස කළ මිථ්‍යා විශ්වාසවලින් ඉවත්වී විද්‍යාත්මක උපදෙස් අනුව තම ජීවිතයේ විවිධ කාර්යයන් සිදුකර ගැනීමට මහජනයාට මඟපෙන්වීම මිස මිථ්‍යාව ප්‍රචාරය කර මහජනයා මුළා කිරීම ජාතික රූපවාහිනී සේවයක කාර්යභාරය නොවිය යුතුය.

ඒ.ඩී. ගුණසේකර

හිටපු අධ්‍යක්ෂ, පශ්චාද් උපාධි ගුරු අධ්‍යාපන දෙපාර්තමේන්තුව.

ජාතික අධ්‍යාපන ආයතනය

සබැඳි

Leave a Reply

Your email address will not be published.