වසර ගණනක් අතුරුදන්ව ‘අකල් මේඝ මැද’ යලි පැමිණි කවියා

‘අකල් මේඝ මැද’ – කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වා
ඔහු කවියෙකි, සගයෙකි. කවි සගයෙකි. අසූව දශකය ඔහුගේ වැඩබිමෙහි කැපී පෙනුනම සමයයි. ලක්මිණ සහ ලක්දිව පුවත්පත්හී කවි පිටුවල නිතර දක්නට ලැබුණ ඔහුගේ නම කාශ්‍යප සත්‍යප්‍රිය ද සිල්වාය. ‘විංශතිය’ නමින් ඔහු තම කුළුඳුල් කවි එකතුව පල කරනුයේද 1986 වසරේදීය. එහෙත් ඉන්පසු ඔහු අතුරුදන් කවියෙකි. ගීත ක්ෂේත්‍රයෙහි ඔහු පසුව කරක්ගසනු දැක්කද කවියෙහි ඔහු අතුරුදන් පුද්ගලයෙකි. විවිධ කාර්යබහුලකම් ඊට හේතු විය හැකි වුවද හැකියාපූර්ණ කවියකු වූ ඔහුට එසේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සමාවක් නැති. නමුදු මෙන්න ඔහු යළි කවි එකතුවක් ගෙන යළි පැමිණ සිටී. ඉදින් මේ උත්සාහය ඒ කවි මදක් විමසා බැලීමටය.
ඔහුගේ නව කවි එකතුවෙහි නම ‘අකල් මේඝ මැද’ ය. ඒ නමෙන්ම අරුත් ගන්වන පරිදි මේ කවි උපත ලබනුයේ කොවිඩ් අර්බුද සමයෙහි සාමූහික දිවියෙන් පලවා හරිනු ලදුව හුදෙකලා වාසයට මිනිසාට බල කෙරුණු වටපිටාවෙහිය. කාශ්‍යප වැන්නෙක් ඒ දුෂ්කර සමය නිර්මාණකරනයට පිවිසීමට භාවිතා කිරීම වැදගත්ය. කොවිඩ් අපට හුදෙකලා වීමට බල කරද්දී ඊට පෙරලා පහර දිය හැකි මාර්ගය වනුයේද නිරමාණශීලී වීමම වන හෙයිනි. මේ කවි එකතුවෙහි කෝවිඩ් නම් දරුණු අර්බුදය පාදක කරගෙන බිහිවූ නිර්මාණ ගණනාවකි. ඒ නිර්මාණ කෝවිඩ් අර්බුදය හමුවෙහි බිඳී විසිරී ගිය ජීවිතය, මානව වියෝවීම්, සමාජයක් වශයෙන් විඳි වේදනාවන්, රෝ බිය හමුවෙ මතුව ආ අගතීන්, ආදී විවිධ අවස්ථා වටා ලෙගානුව තිබේ. එහෙත් ඒ අතර කාශ්‍යප ගේ දැක්ම සහ අවබෝධය වඩා පුළුල් තලයක පිහිටුවන කවි ගණනාවක්ද මෙහිදී දක්නට ලැබේ.
අපි ජීවිතය වඩ වඩා වාණිජකරණයට සහ පාරිභෝජනවාදයට යොමුවීම පසුගිය මෑත ඉතිහාසය තුළ වේගවත් වූ ආකාරයෙහි සාක්ෂිකරුවෝ සහ හවුල්කරුවෝ වෙමු. අප සැබැවින්ම එහි ගොදුරුම ය. මේ වාණිජකරණය මිනිසා තුළ තිබිය යුතු ඉවසීම, විචක්ෂණශීලීබව තූ තූ කර දැමීය. අද ඔහු විවේකයක් නැති හති හලමින දුවන්නෙකි. ඔහුට වටපිට බලන අවසරයක් නැත. දවස,ඊළඟ පැය ඒ ඔහු ගේ ඉලක්කයන්ය. ඒ අතර කලාවෙහිද විවිධ වෙනස්කම් සිදුවෙයි. විවිධ අබලි දෑ එක් කර කලා නිරමාණ බිහිවෙයි. ඉන් මග සැරසෙයි. වරෙක මගට කසල වූ දේ දැන් කලා නිරමාණයකි. එහෙත් එයින් රස විඳින්නට සමත් සමාජයක් අප හමුවේ නැති. ඒ වෙනුවට අප ඉන්නේ තව තවත කසල ගොඩගැසීමෙහි යෙදෙමිනි. කාශ්‍යප යකඩ ගුරුළා නිමවන්නේ ඒ ඇසුරිනි.

ගෙනත් තැන තැන හැර දැමූ යකඩ
තබා එකිනෙක සොඳින් බැඳ නිබඳ
සැදූ ගුරුළෙකු වේය මග තනිව
පියාඹා යනු මග හසර නොදැන
මේ ඒ යකඩ ගුරුලා ස්ථාපිත පරිසරයයි.
අනුන් අතහැරි දෙයින් කුස පිරවූ
කාකයින් එහි හෙලා යයි වසුරූ
අයෙක් නැවතී බලත් රුව සොඳුරූ
ඉඩ නොදෙයි කලබලය මග ඇහිරූ

කාශ්‍යප සිය කවිය තවත් ඉදිරියට ගනෙයයි. විෂම පැවැත්මක හවුල්කාරයන් සහ ගොදුරු වන සමාජයක ඉදිරියෙහි ඇත්තේ මෙවන් ඛේදජනක ඉරණමක් බව ඔහු අපට පවසයි.

නැව් තොටට ආ නැවක බඩු පිරුණූ
බහලුමක ඇත බහා බිජු දරුණූ
දිනෙක උන් හැම පිපිරිලා හැරෙනූ
ඇතිය දස අත ගුරුළන්ම රැඳෙනූ

අප සමාජය ඥාතීත්වය, මානව ගුණයන් ගැන මහත් අභිරුචියෙන් කතා කරයි. එහෙත් පවත්නා සමාජ යථාර්තය එවන් දේ කටුගෙට යවන වේගවත් මෙහෙයුමකය. ඒ මෙහෙයුම හමුවෙහි මනුෂ්‍යත්වය යනු වදන් පමණි. දුෂ්කරතා වැලනොකැඩී එනවිට මිනසා එකිනෙකා වෙත හැරෙන්නට පහර දෙන්නට පටන් ගනී. එවිට ඥාතීත්වය ඇතුළු කිසි බැඳීමකට ඉඩ නැති.

ඉන්නා සසර ගමනෙක බවයෙක යාව
නන්නාඳුනන මුත් බඩගින්නට ආව
කෙනෙකුට කැඩුව වරදට ගෙඩියක් සාර
දුන්නේ මෙහෙම ඇයි මාමේ කැති පාර

කාශ්‍යප ගේ කවියෙහි දක්නට ලැබෙන ගුණයක් වනුයේ මානව දයාව කෙරේ ඔහු තුළ වන අපේක්ෂාවයි. ඔහුගේ බසෙහි ඇත්තේ මිනිසා තුළින් මිනිස්කම් වියෝවී යාම කෙරේ වන විස්සොපී තානයයි.

හුඟක් නැතත් ගෙඩි තව දෙක තුනක් ඇතී
මටත් මගේ අටයත් ඉන් ටිකක් ඇතී
එකක් දෙකක් බඩගින්නට අනුන් සතූ
නිකං දෙන්න බැරි සිත විසුවාද වසවතූ
මේ මහ පොලව දරමින් සියලු ගැහැටම
ගහකොල සදා පුබුදා මල්ද පලයද
ලොවටම බෙදා දෙයි කිසි මිලක් නොගෙනම
දෙන දෙය බෙදා ගන්නට බැරිද නපුරුද

කොරෝනාව මිනිස් ජීවිතයට ඇති කල බලපෑම අප මනිනුයේ ජීවිත හාණි හා දුබලතා මගිනි. එය සැඟවී කරමින් සිටිනා හානි පිළිබඳව තවමත් අපට හරිහැටි ඇගයුමක් නැත. මිනිස් ජීවිතය බිඳහෙලා විසුරුවා ඇති ආකාරය අප දුටුවද තවමත් අපට එය බරපතලද නැත. රැකියා වියුක්තිය, පවුල් අර්බුද, දරුවන්ගේ මානසික් පීඩනය ආදී වශයෙන් අතුරු ගැටළු විශාල සංඛ්‍යාවකි. එහෙත් ඒ ගැන අවශ්‍ය මට්ටමේ සංවාදයක් නැති. කවියා තම නෙතට හසුවන දසුනක් හරහා මෙය විමසන්නට තැත් කරයි.

සඳ කිඳුරෝ උදෑසනම
ඇයි උසාවි දොරකොඩ
සඳ කිඳුරිය මම දුටුවා
තේ කඩයේ පිල උඩ

අප සමාජය වනාහී විරුවන් දැකීමේ විරුවන් තැනීමේ දරුණු රෝගයකින් ආතුර වූවකි. එයම අප කෙතරම් දුර්වලද යන්න ව්‍යංගයෙන් කියා පායි. අපට වීරයෙක් ඇවැසිය, ගැලවුම්කාරයෙක් ඇවැසිය. එහි යටි අරුත අප බෙහෙවින් අසමත්ය යන්නම ය. මෙහි ඇති ඛේදය වනුයේ වරෙක විරුවන් ලෙස තමන් විසින්ම පුදසුනෙහි ඔසවා තබන ලද විරුවන්ම තවත් වරෙක ඒ පිදුම්කරුවන් අතින්ම දුෂ්ඨයන් බවට පත් කරනු ලැබීමයි. කොරෝනා දැඩිව පැවති සමයේ රණවිරුවකු ලෙස අභිසෙස් ලද්දකු රෝගී යයි සැක කරනු ලදුව එකී විරුවාට ඔහුගේ වන්දනාකරුවන්ගේම අතවරයට ලක්වන්නට සිදුවුන සත්‍ය පුවත කාශ්‍යප කවියට නගයි.

අසමින් මුසා අත දරමින් පොලු මුගුරූ
ආවේ තලන්නද? සොයමින් විරු සොයුරූ
ඔත්පල වුවත් ඔහු උණ රෝගෙන් දරුණු
මෙහෙමද කෙලෙහි ගුණ සලකන්නේ කියනූ

අප කවියා මේ ඛේදය හමුවේ සසලව සිටී. වරෙක විරුවෙක් බවට සමාජයෙන්ම අබිසෙස් ලද්දා දැන් ශාපලත් අයෙකි. එහෙත් මෙවන් වන්දනා පිටුපස ඇති ශූන්‍ය බව දේශපාලනිකව විමසන්නට කවියා උත්සුක විණි නම් කවියෙහි අර්ථ පක්ෂය තවත් වර්ධනය වන්නට තිබිණැයි මට හැඟේ.
කොරෝනා හමුවෙයි වන අනපේක්ෂිත වියෝවන් මිනිස් හදවත සලිත කරයි. එය දරාගැනීමට බෙහෙවින් අසීරු අවස්ථාවකි. විශේෂයෙන්ම ආදරයෙහි අසිරිය හරිහැටි විඳින්නට නොලත තරැණ පෙම්වතුන්ට වියෝව යනු දරාගත නොහෙනා ක්ෂිතියකි. කාශ්‍යප එවන් අත්දැකීමක් කවියට නගන්නේ ඉතා සංවේදී කවිකමකිනි. මෙහිලා ඔහු විසින් උපයුක්ත බස පාඨකයාගේ හදට දනවන රිදුම ඉමහත්ය.

රෝස කුසුමක් තබා යන්නෙමි
සීතලව ගිය ඔබේ ළය මත
යළිදු උණුසුම් නොවන ළය මත

කාශ්‍යප ගේ කවි එකතුවෙහි එන ඇතැම් කවියක් සංවාද කවියකි. තවත කවියක් වඩා ලංවනුයේ ගීතයකටය. එහෙත් ඔහුගේ කවි එකතුව පාඨක අපේක්ෂා සුන් නොකරන්නකි. ඔහු දීර්ග වියෝවකින් පසුව තමා තුළ කවියා තවමත් ජීවත්ව සිටින බව අපට පෙන්වා සිටියි. එහෙත් ඔහු මේ කවියා යළි අකර්මන්ය නොකළ යුතුය. සමාජය අර්බුදයට ගිය සමයක ඒ අර්බුදයේ නියම මූලයන් වටහාගත හැකි, ඒ මූලයන්ට එරෙහිව මනුෂ්‍යත්වය වෙනුවෙන් අරගල කළ හැකි මිනිසුන්, නිර්මාණකරුවන් අපට ඇවැසිය. ඒ සඳහා දැක්මෙන් යුත් නිර්මාණශීලී සමූහයක අවශ්‍යතාව අද අනක් කවරදාටත් වඩා දැනෙයි. කාශ්‍යප වැනි ශක්‍යතා ඇති නිර්මාණකරුවෙකු මේ ගැන බරට සිතා බැලිය යුතුය.
ඇතැම් විටක කවියා කවියේ බැහැරව උපදේශකයකුගේ භූමිකාවට උරදෙයි.අපි රැකෙමු රට දිනමු යනු එවන් කවියකි. එහිදී ඔහු කවියෙහි රම්‍යකතාව අත්හැර දමමින් සරළ උපදේශක කවියකු බවට පත්වෙයි.

සතුට සැනසුම සුවය සාදා
අවදියෙන් හිඳිමූ
ගෙදර වත්තේ බිම් කොටා
බව බෝග වවමූ
කුඹුරු වතුපිටි විරිය ගෙන නිති
රැකබලා ගනිමූ
පිටින් එන මල වසංගතයට
මළ බෙරය වයමූ

මේ නම් අර බස්වල දක්නට ලැබෙන විල්බට් අඹතලාවගේ පන්නයේ කවියකි. කාශ්‍යප නම් කවියා ඉන්නේ ඊට වඩා බොහෝ ඉදිරියෙනි. එහෙයින් ඔහු මෙවන් සරල උපදේශාත්මක කවිය ඉක්මවන තැනකට තම නිර්මාණ ගෙන යායුතු යයි පවසනුයේ ඔහුගේ අනන්ය තාව ඇත්තේ ඊට වඩා බොහෝ ඉදිරියෙන් බැවිනි.

– චූලානන්ද සමරනායක

 

සබැඳි

Leave a Reply

Your email address will not be published.