අපි හදන රට ගැන…

රස්සාවට යනවයි කියන එක මරන්න ගෙනියනවා වගේ දෙයක් වුණේ ඇයි කියලා අපට තේරෙන්නේ දැන්. ඒ කාපු කට්ට ඇත්තටම මිනිස්සු කන්න ඕන කට්ටක් නෙවෙයි. රස්සාව කියන්නේ මොන තරම් වටින, ගෞරවයෙන් කරන්න ඕනෑ දෙයක් ද කියලා මිනිස්සුන්ට දැනෙන්න ඕනෑ. ඒත්, අපි අත්වින්ද සමාජයේ රස්සාව කියන්නේ වැටුප් ගැනීමට, තනතුරු ගැනීමට, අනෙකුත් වරප්‍රසාද ගැනීමට තියෙන උපකරණයක් මිසක් ඒකෙ වෙන දෙයක් නැහැ. බොහෝ දෙනෙක් රස්සාව කළේ ජීවත් වෙන්න. රැකියාවට ආදරේ නිසා නෙවෙයි, වැටුපට ආදරේ නිසා. මුදල් ගනුදෙනුව හැර වෙන ගනුදෙනුවක් ආයතනය ඇතුළේ මිනිස්සු අතර තිබුණෙ නැහැ. හැම රාජ්‍ය ආයතනයකම මේ කතාව පොදු එකක්. අපි වැඩ කරපු රාජ්‍ය ආයතනත් එහෙමම තමයි. අපේ ආයතනවලට හැම ආණ්ඩුවකින්ම කළේ එයාලා ආව ගමන් තමන්ගේ නෑ හිතමිතුරන්ට, උදවු කරපු අයට කෘතගුණ සලකන්න රැකියාවල් දීපු එක. රාජ්‍ය ආයතන තිබුණේ ඡන්ද පොරොන්දුවලට රැකියා දෙන්න. ඒවායේ අවශ්‍යතාවට නෙවෙයි සේවකයෝ ගත්තේ. ඉතින් අන්තිමට නාස්තියයි, අකාර්යක්ෂමතාවයි ඒ ආයතනවල අනිවාර්ය දෙයක් බවට පත්වුණා. සමහර කාර්යාලවල ඉඩත් නැති තරමට මිනිස්සු පුරවලා. ඒ මඳිවට ආණ්ඩුව තියෙන කාලයට එයාලගේ අම්මලාගේ, තාත්තලාගේ කොම්පැනි වගේ ආයතන. හැමෝටම චණ්ඩි පාට් එක. උඩ ඉඳල පහළටම සභාපතිගේ ඉඳලා රියැදුරා දක්වා එහෙමයි. බලය මාරුවුණු ගමන් අනික් අය අතට ගන්නවා. උසස් වීම්, ස්ථානමාරු, අනික් වරප්‍රසාද සියල්ල දේශපාලකයන්ට වුවමනා විදියට. සාධාරණ කෙනකුට කවදාවත් සාධාරණය නම් ඉෂ්ට වුණේ නැහැ. හොරකමට, වංචාවට, අසාධාරණයට කවුරුහරි විරුද්ධ වුණොත්, එයාට තමයි මුලින්ම දඬුවම් ලැබෙන්නෙ. බොහෝ අය කළේ රස්සාව බේරගන්න ඕනෑ නිසා සද්ද නැතුව පැත්තකට වෙලා හිටපු එක. හොරකම, වංචාව, දූෂණය ඉහවහා ගිහිල්ල තිබුණේ. සුදු කරපටි මහත්වරුන්ගේ හොරකම් තමයි, වැඩිය තිබුණෙ. හැබැයි ඒවා නීත්‍යනුකූල වෙන විදියට වැඩේ හදලා තිබුණේ.
දැන් ඒ පරණ සෙල්ලම් මොකුත් බැහැ. වෙලාවට හරියට වැඩ. අසාධාරණ වැඩ මොකුත් නැහැ. උසස් වීම්, මාරු වීම් ඒ සියල්ල සුදුසුකම් අනුව සුදුසුම කෙනාට. ලොක්කන්ගේ චණ්ඩි පාට් දැන් නැහැ. හැමෝම වැඩ කරන්න ඕනෑ. දැන් වැටුප් වැඩි කර ගන්න, බෝනස් ගන්න වෙනදා වගේ පිකට් කරන්න ඕනෑ නැහැ. වෙලාවට ලැබෙන දේවල් සියල්ල ලැබෙනවා. ආයතනයේ අයිතිය අපටත් ලැබුණ නිසා දැන් අපේ ශ්‍රමයේ ලාභයෙන් කොටසක් අපටත් ලැබෙනවා. මිනිස්සු වැඩ කරන්නේ තමන්ගේ තැනක, තමන්ගේ වැඩක් වගේ ප්‍රබෝධයෙන්. ඉහළින් දෙන ආදර්ශය පහළට බර වැඩි ද මන්දා කියලා එක වෙලාවකට හිතෙනවා. කළමනාකරණය වැඩ කරන්නෙ හරිම සාධාරණව ආයතනයේ නීතියට අනුව. ආයතනයේ නීතිය ලොකු, පොඩි හැමෝටම එකයි. වෙනසක් නැහැ. වැඩට යාළුකම්, පක්ෂ කතන්දර නැහැ. සේවක කව, පහළ සිට ඉහළටත්, ඉහළ සිට පහළටත් අදහස් හුවමාරුව සිදුවෙනවා. ආයතනයේ ටාගට්වලට හැමෝම වැඩ කරන එකත් නියමයි. පාඩුයි, පාඩුයි කිය කියා බෙරිහන් දුන්න අය දැන් තක්කු, මුක්කු වෙලා බලන් ඉන්නේ කොහොම ද මේ ලාභ ගන්නෙ කියලා. හොරකමයි, දූෂණයයි, නාස්තියයි, අකාර්යක්ෂමතාවයි අයින් කළහම ඕනෑම ආයතනයකට ලාභ ගන්න පුළුවන් වගේම හොඳ සේවයකුත් දෙන්න පුළුවන් තමයි.

සුනිල් කුමාර ගමගේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.