ආණ්ඩුවට මාසයයි !

ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිගේ ආණ්ඩුව බලයට පත් වී මාසයක් ගත වී ගොස් ය. ඒ කියන්නේ, තව තියෙන්නේ මාස 59කි. ආණ්ඩුව බලයට පත්ව මාසයක් කියන්නේ, ඉතා ම අල්ප කාලයක් බව කෙනෙක් කල්පනා කරන්නට බැරි නැත. එහෙම හිතන කෙනකුට ඊට බාධාවක් නැත. නොවැම්බර් 16 වැනිදා ජනාධිපතිවරණය පවත්වා 17 වැනිදා ප්‍රතිඵල ප්‍රකාශ කර 18 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේ ය. 22 වැනිදා 15 දෙනකුගෙන් යුක්ත ඇමති මණ්ඩලයක් දිවුරුම් දුන්නේ ජනාධිපති, අගමැති දෙදෙනාට අමතරව ය.

ප්‍රතිඅපනයන තහනම

බැලූබැල්මට ඇමති මණ්ඩලය 15කි; හොඳ ය. මහා ඇමති මණ්ඩලයක් නඩත්තු කරන්නට වියදම් කරන්නේ සුළුපටු මහජන ධනයක් නොවේ. සමහර ඇමතිකම් කියන්නේ ම ඒ පුද්ගලයා නඩත්තු කරන්නට දුන්නු කප්පමක් මිස රටේ මහජනතාවගේ පැත්තෙන් කිසි ම වැඩක් ඇති දෙයක් නොවී ය. මේ වාගේ තත්ත්වයක් ගැන ජනතාවට තිබුණේ හඬින් නොකීවාට පුංචි විරෝධයක් නොවේ. ඒ වාගේ පසුබිමක 15 දෙනකුගේ ඇමති මණ්ඩලයක් පත් කිරීම කියන්නේ ම මහජනතාවට අස්වැසිල්ලකි. රාජ්‍ය ඇමතිවරුන් 35 දෙනකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් 03 දෙනකු ඇතුළු තවත් ඇමතිවරුන් 38 දෙනකු පත් කිරීම තේරුම් ගත යුත්තේ කුමන අර්ථයෙන් ද යන්න නම් පැහැදිලි නැත.

අනෙක් පැත්තෙන් ජනතාවගේ ජීවිත මත පටවා තිබූ බදු බර ඉවත් කළ බව කියැවිණි. කොහොම වුණත්, ‘බදු අඩු කළා’ කියන දේ ආණ්ඩුව ඡන්දදායකයන්ට ලබා දුන් ජයග්‍රහණයකි. “නව රජය බලයට පත් වෙලා බඩු මිල අඩු කළ ආකාරය අපි දැක්කා. අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරනවා කිව්වාට භාණ්ඩ 13ක ම මිල අඩු කළා” කියලා අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී කිව්වේ, 2015 පෙබරවාරියේ දී. ඒ කතාව හැන්සාඞ් වාර්තාවෙන් බලා ගන්න පුළුවන්.

මේ දෙකට ම වඩා ඇත්තට ම විශේෂ දෙයක් කර තිබුණා. ප්‍රතිඅපනයනය තහනම් කිරීම. ගම්මිරිස්, තේ කොළ, කරුංකා වාගේ පාරිභෝගික ද්‍රව්‍ය ගණනාවක් ‘ප්‍රතිඅපනයනය කිරීම’ කියලා මහා පරිමාණ ජාවාරමක් දේශපාලන රැකවරණයෙන් කරගෙන ගියා. මේ රටේ තේ අපනයනයටත්, කුළුබඩු අපනයනයටත් එම ජාවාරමෙන් එල්ල වී තිබුණේ දරා ගන්න බැරි මරු පහරක්. ඉදිරි මාස 59ක කාලයට අදාළව විතරක් නොවෙයි, එතැනින් ඉස්සරහටත් මේ තහනම ක්‍රියාත්මක කළ යුතුයි.

චාම් ජනාධිපති

ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක රථ ගණන තුනකට අඩු කර කාර්ය මණ්ඩලය 250කට අඩු කළ බවත් ප්‍රචාරය කර තිබුණා. කාර්ය මණ්ඩලය 250කට අඩු කළේ 2,500ක් වූ සංඛ්‍යාව බව ආණ්ඩුවේ ‘දිනමිණ’ පත්තරය කියා තිබුණා. 2,500ක කාර්ය මණ්ඩලයක් සිටි බව කීම නම්, පට්ටපල් බොරුවක් බව ‘ලංකා’ හෙළි කළා. කොහො ම වුණත්, කාර්ය මණ්ඩලය 250ක් කිරීම නම්, හොඳ දෙයක්. අනෙක් පැත්තෙන් ඇමති කාර්ය මණ්ඩලයට පවුලේ ඥාතීන් ගන්න එපා කියලා ජනාධිපතිවරයා නියෝගයක් දී තිබුණා. මේකත් ක්‍රියාත්මක අර්ථයෙන් ම රටට පෙන්වයි කියලා බලාපොරොත්තු තියෙන අය ඉන්නවා. තවත් එකක් තමයි, රාජ්‍ය ආයතනවලට ප්‍රධානීන් පත් කිරීම. ඊට සුදුස්සන් පත් කරන්න කමිටුවක් පත් කර තිබුණා. ඒ කමිටුවේ නිර්ණායක මොනවා ද කියලත්, පත් කරන පුද්ගලයන් ඒ නිර්ණායකවලට අනුව සිටින බවටත් ප්‍රසිද්ධ කරන්නේ නම්, තවත් හොඳ ය.

ජනාධිපතිවරයෙක් බලයට පත් වුණා ම, ආණ්ඩුවක් බලයට පත් වුණා ම මේ වාගේ දේවල් දකින්නට ලැබීම සාමාන්‍ය දෙයක්. හොඳ ම උදාහරණය ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වී සති දෙකක් යනකම් ඔහුට තමා ජනාධිපති ද කියලාවත් හිතා ගන්න බැරිව සිටි බව කීවා. ඒ කාලය තුළ ගෙදරින් කෙසෙල් කොළේ බත් එක ගෙනැවිත් කාපු හැටිත් මාධ්‍යයෙන් පෙන් වූ හැටි මතකයි.

මේ වාගේ ගොඩක් දේවල් කළාට මාසයක් පුරා ආණ්ඩුව දිව්වේ ඔය එකකින්වත් නොවන බවත් කියන්න ඕනෑ. ආණ්ඩුව කල් ගෙව්වේ නම්, ප්‍රධාන කරුණු දෙකකින්. එකක්, ස්විස් තානාපති කාර්යාලයේ සේවය කරන මෙරට නිලධාරිනිය පැහැර ගැනීම. අනෙක තාප්පවල චිත්‍ර ඇඳීම. ඇත්තට ම අලුත් ආණ්ඩුවක් තියෙන බව මිනිසුන්ට දැනුණේ මේ කරුණු දෙකෙන්.

කකුල් දෙකක්

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනිය පැහැර ගැනීමේ සිද්ධිය දැන් තියෙන්නේ, අධිකරණයේ. ඒ නිසා ඒ ගැන ඇත්ත අධිකරණයේ දී නිවැරැදිව ලෝකයට හෙළි කෙරෙනවා ඇතැයි බලාපොරොත්තු තියන්න වෙනවා. මේක මුල ඉඳලා ම රටේ ප්‍රශ්නයක් පමණක් නොවෙයි. ලෝකයේ ම අවධානය යොමු වූ ප්‍රශ්නයක් වුණා. දැන් මෙරට සිටින ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස්පීටර් මොක් ගිහින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂත් හමු වී රාජ්‍ය තාන්ත්‍රික අවබෝධය වර්ධනය කරගෙන තිබීම හොඳ දෙයක්. මේ තානාපතිවරයා ම 2018 ඔක්තෝබර් 26 වැනිදා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපති ක්‍රියාත්මක කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයේ දී තිරය පිටුපස සිට විශාල වැඩ කොටසක් ඉටු කර තිබුණා. රනිල්, මෛත්‍රී, බැසිල් තුන්දෙනා එක්ක ම හොඳ අවබෝධයෙන් කටයුතු කර තිබූ අන්තර්ජාතික රාජ්‍ය තාන්ත්‍රිකයා මේ තානාපතිවරයායි. දැන් ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නිලධාරිනිය අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළාමත් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීම රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ කොටසක් වෙනවා ඇති.

මේ සිද්ධිය පදනම් කරගෙන ජනමාධ්‍ය හැසිරුණු ආකාරය නම් වෙනම ම කල්පනා කර බලන එක වැදගත් වෙන්නේ ආණ්ඩුවට මයි. විශේෂයෙන් ම ජනාධිපතිවරයාට සමීප ඉංග්‍රීසි සති අන්ත පත්තරවල මාධ්‍යවේදීන් මුල දී ලියා තිබුණේ, මෙම නිලධාරිණිය සුදු පැහැති කාර් එකකින් පැමිණි පස්දෙනකුගෙන් යුක්ත කල්ලියක් විසින් පැහැර ගනු ලැබූ බවයි. පැහැරගෙන, කුදලා, ගැටගසා රැගෙන ගිය බවත්, පැය කීපයක් තිස්සේ ඇයට අඩන්තේට්ටම් කර ලිංගික අඩන්තේට්ටම් පවා කර ප්‍රශ්න කර ඇති බවත් වාර්තා කර තිබුණා. පස්සේ දී මේ සියල්ල සඟවාගෙන පල්ලම් බැස්සා. මුල දී කාගේ අවශ්‍යතාවකට අනුව අර වාගේ වාර්තා ලියා පස්සේ හකුළා ගත්තා දැයි තේරුම් ගැනීම මතුවට වැදගත් වනු ඇති.

තාප්පවල චිත්‍ර ඇඳීම සැලැකිය යුතු තරම් ජනප්‍රිය මාතෘකාවක් වී තිබෙනවා, තවමත්. මෙන්න මේක තේරුම් ගැනීම වැදගත් වෙන්නේ ඉදිරියටත් ආණ්ඩුව කරන්න යන බොහෝ දේ මේ මූලධර්ම මත පදනම් විය හැකි නිසායි. මෙතැන දී කළේ ‘සමාජ සංස්කෘතික මනෝභාවයකට ආණ්ඩුව දේශපාලන නායකත්වය දීමයි’. සමාජ සංස්කෘතික මනෝභාවය කියන්නේ මොකක් ද? ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයන් යම් යම් වැඩ තෝරාගෙන කරන එකයි. මේ වැඩ තුළ පුංචි හරි සිවිල් බලයකුත් ඊට අදාළව ගොඩනැඟෙනවා. තෝරා ගන්නා සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම් කරන්නේ මොහොතකට හරි පුංචි සිවිල් බලය ලබා ගන්න මයි. උදාහරණයක්, අවුරුදු උත්සව පැවැත්වීම, දන්සල් පැවැත්වීම, ලේ දන් දීම වගේ ඒවා. මේ වාගේ ක්‍රියාකාරකම්වලට නම් පන්ති භේදයක් නැහැ.

චිත්‍ර බොඳවීම

පන්ති භේදයක් තියෙන මේ වාගේ සමාජ සංස්කෘතික ක්‍රියාකාරකම් තියෙනවා. නිවාඩු දවස්වල පාර අයිනේ ‘කාර් වොෂ්’ කරන එක උදාහරණයක්. මේවා කරන්නේ, මධ්‍යම පන්තියේ හරි ඉහළ මධ්‍යම පන්තියේ හරි අයයි. කොහො ම හරි මෙන්න මේ සමාජ සංස්කෘතික මනෝභාවයන්ට දේශපාලන අධිකාරිත්වයේ මෙහෙයැවීමක් ලබා දීම චිත්‍ර ඇඳීමේ දී කර තිබුණා. මාසයක් පුරා ආණ්ඩුව දුවපු ප්‍රධාන ක්‍රියාමාර්ගය වුණේ මේ විදියට තාප්පවල චිත්‍ර ඇඳීමෙන්.

නමුත්, රට තියෙන්නේ චිත්‍ර අඳිමින්, සමාජ සංස්කෘතික මනෝභාවයක් නඩත්තු කරන්න පුළුවන් තත්ත්වයක නොවෙයි. මේ කරන දේවල් බලාගෙන ඉන්න බැරි ම තැන දෝ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය හමුවක් පවත්වා ඇත්ත ප්‍රශ්නය ගැන අවධානය යොමු කර තිබුණා. රට දුවන්නේ හුඟාක් ආර්ථික අමාරුකම් මැද බවත්, මේ නිසා ආර්ථිකය ගොඩ ගන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී පරිත්‍යාග කරන්න කියලත් අවධාරණය කර තිබුණා. විදේශීය රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගෙනුත් ඉල්ලීමක් කර තිබුණේ, හැකි තරම් ඩොලර් මෙරටට එවන්න කියලයි. ආනන්ද හිමියන්ගේ මේ කරුණු දැක්වීම නිසා අර තාප්පවල අඳින චිත්‍රවල පැහැය සම්පූර්ණයෙන් දුර්වර්ණ වී මැකී යන්නත් තරම් ප්‍රබලයි.

ඒත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ‘රට ම කෙටියෙන්’ තරම්වත් වූයේ නැහැ.

අහක බලාගෙන යාම

කැරකෝප්පුවක් ළඟින් යන කොට අහක බලාගෙන යනවා වාගේ ගමනක් ආණ්ඩුව යමින් ඉන්නේ. අහක බලාගෙන යන මේ ගමනේ අනතුරුදායකකම පොඩි නැහැ. බලාගෙන ඉන්න බැරි ම තැන වාගේයි ආනන්ද හාමුදුරුවන් මේ ගැන කිව්වේ. හැබැයි, අඩු ම තරමින්, ‘එළිය’, ‘වියත් මඟ’ වාගේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ විද්වතුන්වත් මේ ගැන අවධානය යොමු කර තිබුණේ නෑ. සමහර විට ඒ අය කල්පනා කරනවා ඇති “ආර්ථිකය ගොඩ දාන ‘ඇලඩින්ගේ පුදුම පහන’ අපි ළඟ තියෙන බව ඔය හාමුදුරුවන් දන්නේ නෑ නේ” කියලා. මොක ද? ඔය සංවිධානවල ඉන්න වැඩි දෙනෙක් ආර්ථික විශේෂඥයෝ; ආර්ථික ඔස්තාද්ලා. ඒ අයට තරම් ඒ විෂයය ගැන දැනීමක්, අවබෝධයක් මේ ආනන්ද හාමුදුරුවන්ට නෑ තමයි. ඒ නිසා උන් වහන්සේ ‘තලියේ කිඹුලන් දකිනවා’ වෙන්නත් පුළුවන්.

කොහො ම වුණත්, ආණ්ඩුව ඇත්තට ම ක්‍රියා කරමින් ඉන්නේ නම්, කොහෙන් හරි ලැබෙන ඩොලර් කීයක් හෝ මොන දුකක් විඳලා හරි ගන්න අදහසක බව පැහැදිලියි. ජනාධිපතිගේ පළමු නිල සංචාරය ඉන්දියාවට ගිය වෙලේ ඩොලර් මිලියන 450ක ණය ආධාරයක් ලබා ගන්න හැකියාව ලැබුණා. ඩොලර් 50ක් වෙන් කෙරුණේ ම බුද්ධි තොරතුරු සේවාවල ප්‍රතිසංවිධානයට. දෙරට අතර එම සේවාවල කටයුතු ඒකාබද්ධ කර විධිමත් කරන්න. අනෙක් ඩොලර් මිලියන 400 ලැබෙන්නේ තවත් ව්‍යාපෘතිවලට. මත්තල ගුවන්තොටුපළ, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, කොළඹ වරාය නැඟෙනහිර ජැටිය වාගේ දේවල් ගැන පළමු නිල සංචාරයේ දී කිසි ම දෙයක් කතා කර තිබුණේ නැහැ. ඩොලර් මිලියන 450ක් සතුටින් දුන්නා, භාර ගත්තා විතරයි. හිත්  අසතුටු වෙන කිසි ම දෙයක් කතා කර තිබුණේ නෑ. ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දුන්නු ලක්‍ෂ 69කගේ හිත් කලබල වෙන කිසි ම දෙයක් කතා කර තිබුණේ නෑ.

හැබැයි, මාසයක් ගත වෙන කොට ඒ තත්ත්වය වේගයෙන් වෙනස් වෙන්න පටන්ගෙන බව කීවොත් හරි. මේ ආණ්ඩුව බලයට පත් වුණේ, මූලික කරුණු තුනක් මත කියන්න පුළුවන්. ජාතික ආරක්‍ෂාව ගැන ප්‍රශ්නය, ඇමෙරිකාවේ ‘මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අහෝසි කිරීම වාගේ ම කැලණි ගඟෙන් මතු වුණු නයි ධාතුව කියන කරුණු. මේ අතුරින් ජාතික ආරක්‍ෂාව තහවුරු කර තිබෙන බවත්, බුද්ධි අංශ යළි ශක්තිමත් කර ප්‍රතිෂ්ඨාපනය කර ඇති බවත් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, කමල් ගුණරත්න කියා තිබුණා. සහරාන් ඉපදුණේ කාගේ ගර්භාෂයේ සිට ද කියලා ප්‍රශ්න නොකොට දැනට ඒ කතාව පිළිගත හැකියි.

70% හොඳයි

නමුත්, රට, ජාතිය බේරා ගන්න නායකයෙක් පහළ වෙන බව කියාගෙන අශූචි ගංගාවක් කියලා බලන්නේවත් නැතිව කැලණි ගඟෙන් මතු වූ නයි ධාතුවට දැන් නිලමැස්සකුට තරම්වත් වටිනාකමක් හිමි වෙලා නැහැ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට ආර්ථික අර්බුදය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ ඒ නිසා.

අනෙක් පැත්තෙන්, බරපතළ ම දෙයක් ඉස්මතු වෙමින් එනවා. ඒ ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම. ඒ කියන්නේ, ඩොලර් මිලියන 480ක ප්‍රදානයක්. ඉන්දියාවෙන් ලැබෙන බව කියන ඩොලර් මිලියන 450 ණය සහනාධාරය වාගේ නොවෙයි. කෙළින් ම ප්‍රදානයක්. ආපහු ගෙවන්න ඕනෑ නැහැ. ජනාධිපතිවරණය කාලේ ගෝඨාභය රාජපක්‍ෂගේ කඳවුරෙන් කීවේ මේක ඇමෙරිකානු අධිරාජ්‍යවාදීන් රට ගිල ගන්න කරන මහා ආක්‍රමණයක් කියලයි. මෛත්‍රීපාල – රනිල් දෙදෙනාගේ කැබිනට් මණ්ඩලය මේ ගිවිසුම අනුමත කර ඩොලර් මිලියන 480 ගන්න ලෑස්ති වෙලා හිටියේ. ගෝඨාභය රාජපක්‍ෂගේ පාර්ශ්වයෙන් ඊට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයටත් ගියා. දැන් ඒ නඩුව විභාග කෙරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී නීතිපති වෙනුවෙන් කරුණු කියා තිබුණේ, මේ ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කර තිබෙන බවයි.

ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා යළිත් හතර අතේ දිවුරමින් කියන කරුණක් තිබේ. මේ ගැන හොයා බලන්න කමිටුවක් පත් කර තිබෙන බවත්, කරුණු සමාලෝචනය කර බලා රටට අහිතකර දේවල් ඇත් නම්, කිසිසේත් ම අත්සන් නොකරන බවටත් හතර අතේ දිවුරයි. ගම්මන්පිල මන්ත්‍රීවරයා කියන්නේ, වෙනම ම කතාවකි. ඇමෙරිකාවෙන් එන සියලු ම දේ නරකයි කියලා ඉවත හෙළන්න තරම් ගෝත්‍රික මානසිකත්වයක් නැති බවයි. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතියේ කරුණු සියයට 70ක් හොඳ යෝජනා බවයි. නීතිපති වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට කියූ කරුණු අනුවත්, ඩලස් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කියූ කරුණු අනුවත් පත් කරන ලද කමිටුවේ වාර්තාව තව ම ලැබී නැත. ඒ අතර, ගම්මන්පිල කියන්නේ, හොඳ යෝජනා සියයට 70ක් තිබෙන බවයි. නරක යෝජනා තිබෙන්නේ සියයට 30ක් බවයි.

හිමිවරුන් කාණ්ඩ තුනක්

හරියට ම තේරුම් ගන්නවා නම්, අපේ රටේ ජාතිය බේරා ගන්න සිංහල බෞද්ධ නායකයෙක් පත් කර ගන්න කියලා සිංහල බෞද්ධ ඡන්දදායකයන්ගෙන් ගෝඨාභය රාජපක්‍ෂට ඡන්දය දී තිබෙන්නේ සියයට 52ක් විතර ය. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ව්‍යාපෘතියට අදාළ කරුණුවලින් සියයට 70ක් හොඳ ඒවා බව ඒ සිංහල බෞද්ධ ඡන්දදායකයන් වෙනුවෙන් මරාගෙන මැරෙන තරමට ගේමක් දුන්නු ගම්මන්පිල මන්ත්‍රීවරයා කියන එකේ තේරුම මොකක් ද? ඩොලර් මිලියන 480 ගන්න ඔන්න මෙන්න කියා ආණ්ඩුව සිටින බවයි. සියයට 30ක් ගැන සෙස්ස පස්සට බලා ගත හැකි ය.

ආණ්ඩුවට මාසයක් පිරෙන අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ආර්ථික අර්බුදය ගැන හෙළි කරන්නේ ආණ්ඩුව බලයට පත් කරන්න වෙහෙසුණු අනෙකුත් හාමුදුරුවරුන් වෙනත් ක්‍රියාකාරකම්වල යෙදී ඉන්න අතර වීමත් විශේෂිත ය. හොඳ ම උදාහරණය උඳුවප් පෝය දින අරලියගහ මන්දිරයේ දී පැවැත් වූ බණයි. ඒ බණ කියුවේ උඩුවේ ධම්මාලෝක භික්‍ෂුවයි. ඒ බණ දේශනයේ දී උඩුවේ ධම්මාලෝක භික්‍ෂුව කියා සිටියේ, අරලියගහ මන්දිරයේ දී බණ කියන්නේ, අවුරුදු පහකට පස්සේ බවයි. ඒ නිසා ම මහින්ද අගමැතිතුමාටත්, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාටත් අවධාරණය කළ බණ පද කීපයක් තිබුණා. දැන් ළඟට විත් ඉන්න කට්ටියගෙන් ප්‍රවේසම් වෙන්න කියලයි. ඒ ගැන නමක් පවා කීමට තරම් මේ භික්‍ෂුව එඩිතර වෙලයි හිටියේ. මිලින්ද මොරගොඩ වගේ අයගෙන් ප්‍රවේසම් වෙන්න කියලා පින්වත් අගමැතිතුමාටත්, අතිගරු ජනාධිපතිතුමාටත් අවවාද කළා.

අරලියගහ මන්දිරයේ දී කළේ ධර්ම දේශනයක් නොවන බවත්, එහි දී බෞද්ධ විද්වත් උපදේශකයන් අන්‍යාගමික කුමන්ත්‍රණකරුවන් බවට ප්‍රකාශ කිරීම කිසිසේත් ම අනුමත නොකරන බවටත් පවසමින්, නායක හිමිවරුන්ට ම මාධ්‍ය නිවේදන නිකුත් කරන්න සිදු වී තිබුණා. මේ වාගේ දේවල් තව ගොඩක් ගෙවී ගිය මාසය තුළ සිදු වී තිබුණා.

ඒ කියන්නේ, රට, ජාතිය බේරා ගන්න සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙක් පත් කර ගන්න පුරෝගාමීව ක්‍රියා කළ හිමිවරුන්ටත් ගෙවී ගිය මාසය තුළ ලොකු අවුලක් ඇති බව පැහැදිලි වී තිබුණු බවයි, එහි තේරුම. උඩුවේ ධම්මාලෝක භික්‍ෂුව එකක් කියද්දී, ඒ ගැන පැහැදිලි කර ඊට විරුද්ධව නිවේදන නිකුත් කරන්න නායක හිමිවරුන්ට සිදු වෙලා. මේ දෙපිරිස ම නොදකින අනතුරක් පෙන්වා දී උත්තර හොයන්නත් ආනන්ද හිමියන්ට සිදු වෙලා. චිත්‍ර ඇඳලා ලස්සන කරන්න බැරි මොකක් දෝ බරපතළ දෙයක් මාසය තුළ සිදු වී, සිදු වෙමින්, ඉදිරියට යන බව මේ හිමිවරුන් කොට්ඨාස තුන දැක් වු ප්‍රතිචාරවලින් පැහැදිලි වී තිබෙනවා නොවේ ද?

ලංකා මාරසිංහ

සබැඳි

Leave a Reply

Your email address will not be published.