සිහිනලන්තයට සවාරියක්…!

“ඇලිස්ගෙ විස්මලන්තයට සාදරයෙන් පිළිගනිමු… සොරි සොරි… චෝරස් නෝ… නෝ… සිරි දූ කව්ස් ඩ්‍රීම්ලන්ඩ්…”
එක සැරේට ම විශාල සද්දයක් එක්ක ඡන්නගෙ දණහිස දිහාට පාත් වෙච්චි යානයකින් බෙල්ල එළියට දැම්මෙ හයේ හතරෙ හාදයෙක්. කකුල් කෙටියෙන් අල්ලලා, ඡන්නව යානය ඇතුළට දා ගත්තු හාදයා යානය ගුවන්ගත කළා.

අටදිශාවෙන් ම යාර ගාණක් දිග පෝලිම්වල ඉන්න ශාන්ත දාන්ත ගෑනු මිනිස්සු. ඡන්න දිහා බලපු අර හාදයා කිව්වෙ, “වෙසක් ද, නත්තල් ද කියල නෑ සෑහෙන කාලෙක ඉඳලා සිහිනලන්තෙ දන්සල් දෙන විදිය තමා ඔය… බතුයි, පොල්සම්බෝලයි, මඤ්ඤොක්කයි නෙමෙයි. එහෙ දෙන්නෙ පෙට්‍රල්, ඩීසල්, ලාම්පුතෙල්, ගෑස්, කිරිපිටි මේ ආදී ඕනෑ ම පාරිභෝගික ද්‍රව්‍යයක් වෙළෙන්දන් විසින් දෙන විදිය” කියලයි.

නිල්පාට, රතුපාට, කොලපාට, දම්පාට ඈ නෙක වර්ණයන්ගෙන් සුසැදි මඩ වගුරක් වගේ පෙනෙන්නේ ‘සිහිනලන්තය’ කියලයි ඒ හාදය තුෂ්ණිම්භූත වෙලා වටපිට බලන ඡන්නට කිව්වේ.
අලියගෙ නැට්ටෙ එල්ලිලා දිව්‍යලෝකෙ යන්න යන අතරමඟ දි නැට්ට අතෑරූණු තරුණ ගොබිලෙක් අලි හොඬයකුත් අරගෙන යනවා. චුට්ටි චුට්ටි ඇච්චො බැච්චො නහුතයක් උන්දැ පස්සෙන් වැටිලා යනවා. ශාන්ත දාන්ත පෙනුමක් මවා ගත්තු තරුණ මවුවරු, පියවරු සෙට් එකකුත් ඒ පස්සෙන් යනවා. ඡන්නගෙ අපබ්‍රංශ මූණ දැකපු හයේ හතරෙ හාදයා කිව්වේ, “ඒ අනාගත ඇමැතිවරයෙක් වෙන්න සිහින දකින සිහින කුමාරයෙක් දරුවන්ගෙ බුද්ධිය වර්ධනය කරනවා” කියලයි.
“හ්ම්…” කියලා අනෙක් පැත්ත බලපු ඡන්න දැක්කෙ, තරුණ ගැටයෙක් ඇතුළට ඔබාගෙන හැල්මෙ දුවන සුදුවෑන් එකක්. ඒ ගැන විස්සෝප වෙලා හැල්මෙ දුවගෙන එන නඩයක්. ඒ ගැන ප්‍රීතිඝෝෂා පවත්වන තව නඩයක්. ඒ පැත්ත, මේ පැත්ත ඒ පැත්ත, මේ පැත්ත හරවන ඡන්නගෙ බෙලිගෙඩිය දිහා බලන් උන්නු හාදයා කිව්වෙ, “නොහික්මුණුකමට කටමැත දොඩන ගැටව් මේච්චල් කරන මෙතඩ් එකක්…” කියලයි. සුදුවෑන් සවාරියෙන් පස්සෙ හුස්ම වැටුණොත්, ඒ ගැටයා පුනරුත්ථාපනය වෙනවා කියලා තමයි, ඒ හාදයා කිව්වෙ. ඒ ගැන සෝක, අසෝක දෙපිලක් ම සිහිනලන්තෙ වැඩවාසය කරනවා කියලත් කිව්වා.
අටදිශාවෙන් ම යාර ගාණක් දිග පෝලිම්වල ඉන්න ශාන්ත දාන්ත ගෑනු මිනිස්සු. ඡන්න දිහා බලපු අර හාදයා කිව්වෙ, “වෙසක් ද, නත්තල් ද කියල නෑ සෑහෙන කාලෙක ඉඳලා සිහිනලන්තෙ දන්සල් දෙන විදිය තමා ඔය… බතුයි, පොල්සම්බෝලයි, මඤ්ඤොක්කයි නෙමෙයි. එහෙ දෙන්නෙ පෙට්‍රල්, ඩීසල්, ලාම්පුතෙල්, ගෑස්, කිරිපිටි මේ ආදී ඕනෑ ම පාරිභෝගික ද්‍රව්‍යයක් වෙළෙන්දන් විසින් දෙන විදිය” කියලයි.
මාස ගාණක් තිස්සෙ හිස්වෙලා තියෙන ගෑස් ටැංකි දෙකයි, කිරිපිටි බෝතලෙයි, පෙට්‍රල් මිල ගාණ දරා ගන්න බැරි හින්ද ම පැත්තකට දාලා තියෙන බයිසිකලෙයි මතක් වුණු ඡන්නට “චඃ” ගෑවුණා.
මල් පිපෙනවා වාගේ මහා සද්දෙට පිපීගෙන පිපීගෙන එන සදිශාව දැකලා වික්ෂිප්ත වුණු ඡන්න දිහා බලලා හයේ හතරෙ හාදයා ඡන්නගෙ කනට කරලා කිව්වෙ, “අවුරුදු දෙකක් තිස්සෙ ඉදි කිරීම් ක්ෂේත්‍රය පිබිදෙනවා. සද්දෙට ම පිබිදිලා පිබිදිලා කොයි තරම් පිබිදිලා ද කියනවා නං සිමෙන්ති කොට්ටයක් හොයා ගන්න නෑ. තියෙන එක දෙකත් දෙන්නෙ දෙගුණයක් මිල කරලා” කියලයි.
ඡන්නගෙ කට කොනට වැටිච්ච ඔච්චං හිනාව දරා ගන්න බැරි වුණු අර හාදයා සද්දෙට කිව්වෙ, “හත්මොළේ සහෝදරයා එහෙම තමයි කියලා ඇත්තෙ…” කියලා.
පිටිපස්ස පැත්තට බෙල්ල හරවපු ඡන්න දැක්කෙ ටි්‍රබල් දාලා එන ෆුට්සයිකල් පෝලිමක්. ඉස්සරහ පොල්ලෙ වාඩි වුණු හාදයගෙ අතෙයි, ලගේජ් එකේ වාඩි වෙලා උන්නු හාදයගෙ අතෙයි ගිනි අවි වාගේ පේන මොකුත් තිබුණා. බයිසිකලේ පාගන හාදයා අයිස් ක්‍රීම් නළාව වාගේ යමක් අඬව අඬවායි බයිසිකලේ පාගන්නෙ. ඡන්න දිහාට හැරුණ අර හාදයා කිව්වෙ, “සිහිනලන්තෙ පරමාදර්ශී මහජන නියෝජිතයන් ගමන් බිමන් යන ක්‍රමය ඒක…” කියලයි. බයිසිකල් පේළියෙ මැද හරියට වෙන්න බයිසිකලේක පොල්ලෙ වාඩි වෙලා දාඩිය පෙරාගෙන හිටි බඩ තඩි හාදයා මහජන නියෝජිතයෙක් කියලත් උන්නැහේ කිව්වා. ඒ දර්ශනේට නං ඡන්නගෙ කට නතර වුණේ කනේ.
“මේ දෑස මගේ පින්වන්තයි” කියලා ඡන්න තාලෙට කියන කොට ම දැක්කෙ පිට්ටනියක් මැද්දෙ උන්නු රූකඩ වෙච්චි ස්ත්‍රී, පුරුෂ සමූහයක්.
“රජ්ජුරුවෝ උඩයි උඩයි… මිටි කොල්ලෝ බිමයි බිමයි… රජ්ජුරුවෝ උඩයි උඩයි… මිටි කොල්ලෝ බිමයි බිමයි” සෙට් එක කෑ ගහනවා. රතු පටි දා ගත්තු එක වල්ලෙ සෙට් එකක් පපුවට අත තියාගෙන දෙසනවා.
“අපෙ අප්පෝ… සිහිනලන්තෙත් සිරිදූව වගේ ම ද?” ඡන්න පපුව බදාගත්තෙ අත් දෙකෙන් ම.
“ඇල්ලුව ඇල්ලුවා… මාළුව ම ඇල්ලුවා.” කෑ ගහගෙන ආව ඡන්නගෙ මායියා. පොන්ඩ් එක මැද්දට පාත් වුණු කපුටෙක්ව.
“ෂො… ෂො… ෂෝ… පොකුණ දිහා බලං සිහින ලෝකෙ සැරිසරපු ඡන්නත් මායියට සෙට් වුණා●

හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගෙ

Leave a Reply

Your email address will not be published.