මගෙන් දැන් දුර ඈත විල්තෙරක කමල් නම් නිල්කමල අකල්හි ම පරවගොස් ඇති බැවින.‍..

මම පසුගිය තෙමසකට වැඩි කාලයක් මුහුණුපොත පැත්ත පළාතක නොපැමිණියෙමි.
මට ඇවැසි වූයේ තවත් ටික කලක් ඒ නිහඬ වතෙහි ම ගැලී ඉන්නට ය.
වෙසෙසි හේතුවක් නිසාමත් නෙවේ.
දරන්නට බැරි විඩාව, අහේතුක ගිලන් බව, හුදෙකලාවේ ඉන්නට ඇති උන්මත්තක ආශය හා හද තවන පුවත් ප්‍රියයන් වෙතින් අසන්නට ලැබීමෙන් ඇතිවන රෝගී සංතාපය ඇතුළු තවත් සංගත-අසංගත කාරණා නිසා ය‍.
ඉදින් මම කණාටු සිසිරය මැදින්, කුඩා බැලිපැටික්කියක සමග ජනශුන්‍ය වනාන්තරවල ඇවිදින්නට යමින්, මා කියන කිසිත් නොතේරෙන ඒ පැටික්කිය සමඟ මෙන් ම වනාන්තරයේ ගස්-ගල්-කඳුවැටි සමඟ ද අතොරක් නැති විකාර කතාලතාවල පැටලෙමින්, හැකිතරම් මනුස්ස සම්මුඛයන්ගෙන් වැළකෙමින් කල්ගෙවමින් සිටියෙමි.
මේ වියෝග කාලය පුරා ඇත්තටම මගේ නැහැපුඩුවලට මරණයේ ඉව දැනෙමින් තිබිණි.
මරණය අත දිගුකර ඇල්ලිය හැකි, අල්ලා රැගෙන ගත තවරාගත හැකි තාර බඳු උකු දියරයක් බව හැඟෙන කාලයක් මම පසුකරමින් සිටියෙමි.
එහෙත් මරණය මට පෙනෙන මානයේ දුරින්, මට සිනාසෙමින් දිගින් දිගටම රැඳීසිටියා මිස සිය උකු තාර බඳුනේ ගත සනහන්නට තවම මට ඉඩ නොදුන්නේ ය.
සරදම්කාරී ලෙස, අවසන මා යළි මනුස්ස වාසයකට කැඳවාලූයේ ද මරණයකි.
ඒ ඉතාම අනපේක්ෂිත මරණයකි. කණ වැකි මොහොතේ හදවත මොහොතකට නතරකළ මරණයකි.
ඒ මරණය කුමක්ද, කාගේද යන්න මේ ටික කියවන ඔබ දැන් දන්නේ ය.
එ බැවින් මම මරණය පිළිබඳ පුවත රැගෙන ආ මරණයේ දූතයෙක් නොවෙමි.
මම හුදෙක් අවමගුල් පෙරහර මගහැරී, කල්වේලා වරදවා ඒ පසුපස සිහි විකල්ව, මරු කියවමින් යන්නන්වාලේ යන උම්මත්තකයෙක්මි.
(දැන් මෙහි ඇවිත් බලන විට එක අනපේක්ෂිත මරණයක් වෙනුවට තවත් මරණ දෙකකි‍. එකිනෙකට වෙනස් විදියෙන් මා තුළ සටහන් වන නික්මීම් එක පෙළට තුනකි‍‍.
එහෙත් මම අනෙක්වා පසුවට තබමි. මා මෙහි ආ කාරණය වෙත තදින් බැඳීසිටින්නට තැත්දරමි.)
කමල් ලියනාරච්චි යනු මට හුදෙක් මිතුරෙක් ම නොවේ.
ඔහු මට සහෝදරයෙකි.
විශ්වාසදායී, කල්පනාකාරී, එඩිතර සටන් සගයෙකි.
බිහිසුණු ම, දුෂ්කර ම කාලවලදීත් ජීවිතය කියා පණගැහෙන දෙයක් ඇති බව, ඊට අරුත් ලැබෙන්නේ සාමූහිකත්වයෙන් බව වදනින් නොව ක්‍රියාවෙන් කියා පෑ එක රෑනේ කුරුල්ලෙකි.
කාලාන්තරයක් තිස්සේ භූත-පිසාච-සොල්මන්-අවතාර විසින් අල්ලාගෙන සිටි පාළු අම්බලමක් ව තිබූ වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය ඒ මළසොහොන් ආත්මයෙන් මුදවා සජීවී, ක්‍රියාශීලී, සටන්කාමී තැනක් කිරීමට දියත්වුණු සටනේ කමල් එක් ප්‍රබල සෙන්පතියෙකි.
ජනමාධ්‍ය මර්දනයට එරෙහිව ඇවිළුණු අතිශය අමාරු සටන්වල ඔහු නොපසුබැස සටන්වැදි පෙරමුණු සටන් සගයෙකි‍.
ජනමාධ්‍ය නිදහස සේම ජනමාධ්‍යයේ වගකීම හා ආචාර ධාර්මිකත්වය ගැන ද තුලනාත්මකව සිතාබලන තියුණු විචාරශීලියෙක් ඔහු තුළ සිටියේ ය. පසුගිය දශකයකට මඳක් වැඩි කාලය පුරා පුවත්පත් ආයතනය ඔස්සේ ඒ විචාරශීලියා හැසිරුණු ආකාරය දුරක සිටින අපට වඩා හොඳින් කියන්නට දන්නෝ කොතෙකුත් ඔබ අතර වෙති.
එහෙත් අතුරුගිරියේ අපේ හුණ්ඩු නිවසේ පැදුරු එලාගෙන නිදාගත් අනන්ත රාත්‍රීන් ද, අවුරුද්දක් පුරා ජීවිත බේරාගනුවස් අප ලැගසිටි, ඇතුළත මල්පාරේ ‘මාධ්‍ය කේන්ද්‍රය’ ලෙසින් හැදින්වුණු සාමූහික නිවස්නයේ එක පොදියට ගුලිවී ගතකළ යුගය ද මතක සිහිනයකට පොදිබැඳ මුල්ලකට දමා, අපට මෙයින් වසර 13කට පෙර ඉතාම හදිසියේ වෙන්වන්නට කරුණු යෙදිණි.
මා මගේ විප්‍රවාසී නොනගතයට ඉඩදී පසුගිය දින කිහිපය ඔහේ බලාසිටියේ, කමල් ගැන මා වසර 13කට එපිට පැරැණි මතක නොකීවාට, ඔහු ගැන උණු උණු මතක කියන්නට අය කොතෙකුත් ඉන්නා බැවිනි.
එහෙත් ඔහු ගේ නිසල සිරුර පස්කන්දකට යටකළ පසු, අර නිහඬබව බිඳ කියන්නට තවමත් කිසිවක් ඉතිරිව ඇති බව මට හැඟේ.
ඔව්, දැනටමත් බොහෝදෙනෙක් කියා ඇති පරිදි, කමල් විසාල මිනිහෙකි. ඇගපතින් ඔහු විසාල ය.
ඒ වගේම අදහස්වලින් ද විසාල ය.
ඒ දෙකටම වඩා වැදගත් දේ නම් ඔහු හදවතින් විසාල මිනිසෙක් වීම යි.
කමල් කිසිවකු හා ගැටුම් ඇතිකර නොගත් බව ද, ඔහුට කිසිවකු හා බරපතල අමනාපකම් නොතිබූ බව ද, පසුගිය දිනවල නිතර කියැවී තිබිණි. එය සැබවකි. එහෙත් මගේ නිරීක්ෂණයට අනුව ඒ, කමල් ඕනෑම කෙනෙක් කියන ඕනෑම දෙයක් අසාගෙන, අනුමත කරගෙන, එහෙයි කියාගෙන සිටි නිසා නොවේ.
අපට ගෝචර ඕනෑම වාද විෂයයක් ගැන ඔහුට තමන්ගේ ම ස්වාධීන මතයක්, දැක්මක් තිබූ අතර, ඕනෑම තැනක, ඕනෑම කෙනෙක් ඉදිරියේ නොපැකිල එය කියාසිටීම ද ඔහුගේ විදිය විය‍.
එහෙත් අප බොහෝදෙනකුගෙන් කමල් වෙනස් වූයේ, කොතරම් බරපතල විසංවාදී අදහසක සිටියත්, එය ඉතාම සංයමයකින්, අනෙකාට ඒත්තු යන පරිදි හා පුද්ගලබද්ධ වනු වෙනුවට විෂයය බද්ධ වෙමින් කියාසිටීමටත්, ඒ වෙනුවෙන් එතරම් ම සංයමයකින් දිගින් දිගටම පෙනීසිටීමටත් තිබූ හැකියාව හේතුවෙනි. ඔහු ගැටුණේ අදහස් සමග මිස මිනිසුන් සමග නොවේ. තමන්ගේ අදහස නිවැරැදි නොවන බව තහවුරු වනවිට එය පිළිගැනීමට ඔහු පැකිළුණු අවස්ථාවක් ද මට මතක නැත.
ලීස්තර, මෝස්තර අඩු, හොඳින් මැදි ලා පාට කමිසත්, ක්‍රීස් තබා ඉස්ත්‍රික්ක කළ කලිසනුත් බැහැරින් පෙනෙන කමල්මය ලකුණු විය. එහෙත් ඒවා මැදියම පසුවන තුරු සහෘදයන් සමග සාදකතා අවුලන, පාන්දර ජාමයේ සුමිතුරු වහලක සෙවණ ලබන, නැතිනම් පයාගල නැවතුම වරද්දානෙ ඉන්ටර්සිටිවල ගාල්ල දක්වාම යන මිනිසකුගේ බාහිර ලකුණුවලට වඩා පැහැදුල් අබතුරක ආත්මීය සංකේත ලෙස මම දැන් දකිමි. ඔහු ඔහුගේ ලීස්තර-මෝස්තර නැති, රැල්ලක්, පොඩිවුණු ලකුණක් නැති ළා පැහැ කමිස මෙන් ම – ක්‍රීස් තියා මැදි කලිසම් මෙන් ම පැහැදිළි මිනිසෙක් නොවුණේද? අප හා සසඳන කල ගුප්ත-අන්ධකාර-කළු කලාප ඔහුගේ අභ්‍යන්තරයේ තිබුණේ ඉතාම අඩුවෙන් නොවන්නේද?
මා කියන්නේ අන්ධකාර කළු කලාප ඇතුළත දරාසිටීම නරක දෙයක් කියා නොවේ. මා අසන්නේ කමල්මය ලකුණ ඒ අන්ධකාර කලාප බෙහෙවින් ම අඩු එකකු වීම නොවේද කියා ය?
මැරුණු මිනිසුන් ගැන ලියන විට ලියැවෙන්නේ මැරුණු මිනිසුන්ගේ කතාව ම නොවේ. ඒ මැරුණු මිනිසා තුළ සිටියාය යි ලියන්නිය විශ්වාස කරන ලියන්නියගේ ම කතාව යි.
මගේ බසේ වදනක් හෝ කිසිදු කිසිදා නෑසූ ගස් ගල් සහිත වනාන්තරවලට, මා ලෝකයේ ඉන්නා ලොකුම වීරයාය යි සිතාගත්තාක් මෙන් ම’දෙස බලාසිටිනා බැලිපැටික්කියකට උන්මත්තකයකු මෙන් කතාකරමින් සිටින මට, මගේම පිළිබිඹුව දෙස ඊයේ පෙරේදා සදහට නිවීගිය කමල්ගේ මිලින දෑසින් බැලූ විට පෙනෙන්නේ කුමක්ද?
ඒ කුමක්දැයි මම මෙහි නොලියමි.
මගේ මව්බිමේ සිටිනා තවත් බොහෝ දෙනකුට මා යළි හමු නොවන්නට ඉඩ ඇති බව ද, මට යළි ඔවුන් දකින්නට නොලැබෙනු ඇති බව ද, මහත්වූ වේදනාවෙන් මුත්, මම දැන් කලෙක සිට පසක්කරගෙන සිටිමි‍.
ඒ සියල්ල හුදු ඊනියා ඉරණම්සහගත ආත්මීය විලාප නොව, විසකුරු දේශපාලන කාරණා විසින් නිර්ණය කරන ලද මනුෂ්‍ය අභිලාෂයන්ට එරෙහි දුෂ්ට ගොඩනැංවීම් බව ද, උත්තුංග මනුස්ස අභිලාෂයන් සුපුෂ්පිත වන්නේ ඒ විසකුරු ගොඩනැංවීම් පරාජය කිරීමෙන් පමණක් බව ද, මා මෙහි අමුතුවෙන් කියන්නට ඇවැසි නැත.
කමල්ලා – අපි ගැන සාමූහික මතකයක් ඇති සියල්ලෝ ඒ ගැන දන්නාහු ය.
ඒ සියල්ල දන්නා අපි, තවමත් අප කියන බස නොතේරෙන වනාන්තරවල ගස්ගල්වලට කතාකරමින් ඒ කතාබහින් ස්වයං මෝහනයකට පත්වෙමින් සිටින්නනෝ නොවන්නමෝ ද?
ඒ අතර කමල්ලා සිය විසල් හදවත් සදහට නිහඬ කරමින් නොකල්හි නික්මයමින් නොසිටින්නාහුද?
මෙතරම් නොකල්හි කමල්ට සදහට සමුදෙන බව කියන්නට මට පුළුවන්කමක් නැත.
‘මචං කමල්, අප නුදුරු දිනෙක යළි මුණගැසෙනු ඇත!’
– සනත් බාලසුරිය

Leave a Reply

Your email address will not be published.