ඔහු අපේ සරසවියට ආවේ ප්‍රේමය සහ විප්ලවය සොයාගෙන!

ඒ තමයි විප්ලවය!
මේ සටහන සුනිල් මාධව ප්‍රේමතිලකගේ මරණය නිසා ඇතිවුන මතකයකය හරහායි.
එවකට මම සෞන්දර්ය අධ්‍යන ආයතනයේ (දැන් සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ) චිත්‍ර අංශයේ පළමු වසරේ හෝ දෙවැනි වසරේ ඉන්න ඇති. සුනිල් මාධව ප්‍රේමතිලකව මම මාධ්‍යවේදියෙක් සහ සටන්කරුවෙක් විදිහට අහලා තිබුණත් රූපයෙන් එච්චර මතකයක් තිබුනේ නැහැ. විශ්වවිද්‍යාලයට ආපු දවසේ සිට ඔහු යනවා එනවා මට පෙනුනත් ඒ සුනිල් මාධව ප්‍රේමතිලක බව මම දැනගෙන හිටියෙ නෑ. මට පෙනී ගියේ ඔහු එන්නේ ගැනු ළමයෙක් හම්බ වෙන්න බවයි. එහෙම ආපු පෙම්වතුන් තව හිටියා. පසුව දැන ගත්තා අපිට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් විදියට හිටිය නමුත් සුනිල්ට වඩා අතිශයින් බාල ඇය ඔහුගේ ප්‍රියම්භිකාව බව. ඒ කාලේ විශ්වවිද්‍යාලයේ අවතැන් වීම ඇතුළු විවිධ ශිෂ්‍ය සටන් තිබුණු කාලයයි. සමහර දවස්වලට සුනිල් ශිෂ්‍ය සටන් වලටත් ඇවිත් සහභාගි වෙනවා මම දැක්කා. ඔහු ඒවාට ලොකු සහයෝගයක් දුන්නා. ඒ නිසා මූලික වශයෙන් ඔහු අපේ සරසවියට ආවේ ප්‍රේමය සහ විප්ලවය සොයාගෙන! එය ඔහුට හරියටම හමුවුණා ද නැද්ද යන්න අපි තාමත් විවාද කරන අතර ප්‍රේමය ගැන නම් දන්නේ ඔහුම පමණයි, විප්ලවය නම් හමුවන්න ඇති බව මගේ අදහසයි.
කොහොම හරි ඊට යම් ආසන්න කාලයක, මගේ තෙවන වසරේ දී විතර, මම ජූරිය නාට්‍යය නිෂ්පාදනය කරාට පසු තමයි ඔහු මායි අතර යම් අවබෝධයක් හා මිත්‍රත්වයක් ගොඩනැගුනේ. සුනිල් එම නාට්‍යයට අතිශයින් අකර්ශනීය වී අලුත් නාට්‍යයක් විදිහට එය ප්‍රචාරය කිරීමට එවකට ඔහුගේ හිරු පුවත්පතින් පමණක් නෙවෙයි තවත් බොහෝ විකල්ප පුවත්පත් වලට හඳුන්වා දෙමින් අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි විවිධාකාර විකල්ප දේශපාලන සහ සංස්කෘතික කණ්ඩායම් වලට ආධාර පිණිස අපේ නාට්‍යයේ දර්ශන සංවිධානය කිරීමට ඔහු මැදිහත් වුනා. ඔව් එහෙම කලේ මා එක්ක තිබුණු කිසිදු පුද්ගලික හිතවත් කමක් නිසා නෙමෙයි නිර්මාණය තුළ ඔහු දැක්ක යම් විශේෂත්වයක් නිසයි. ඒ විදියට ඔහු සහයෝගය දුන්නේ ද මට විතරක් නෙවෙයි.ඒ කාලේ ඔහු මං හමු වෙන හැමවිටම මල්ලි මොනාහරි කෙරෙන්න තියෙනවා නම් කියපන් හරිද කියලා මගේ උරහිසට ගහලා යන්න තරං අමතක කළේ නෑ. එදා ඒ ශක්තිය තමයි අපිට ඕනේ උනේත්.
සුනිල් මාධව ප්‍රේමතිලකල කරපු දේශපාලන සටන් හිතන තරම් පහසුවෙන් අවප්‍රමාණය කරලා කතා කරන්න බැහැ. මම එය මේ මොහොතේ මතක් කළේ සුනිල් යල්පැනගිය සටන්කරුවන් විදිහට සමහරු හිතන නිසයි. එවැනි සටන් කරුවන් මැනීමට බොහෝ අය යොදා ගන්නා ඉතා වැරදි මිනුම් දඬුවක් තමයි කෝ ඒ මහා විප්ලවය සිද්ධ වුණාද කියලා අහන එක. ලෝකෙ කොහෙවත් සිද්ධවෙලා නැති එවැනි විප්ලවයක් පරමාදර්ශය කරගෙන මෙවැනි සටන් කරුවන් මනිනවා මම නිතර දැකලා තියෙනවා. එහෙමනම් බුදුවරුන්ගෙන් සහ දෙවිවරුන් ගෙන් ඇසූ යුතු ප්‍රශ්න ඔවුන්ගෙන් අහනවා විප්ලවය නිවුනට සහ ස්වර්ගය වැනි දේකට සමාන කරලා.
සුනිල් වැනි සටන්කරුවන් දැන් නැති බව ඇත්ත. නිර්මාල් දේවසිරිගේ කියා ඇති පරිදි ‘අවසාන රොමෑන්තික විප්ලවවාදියා’ ලෙස එක්තරා යුගයක් හඳුනාගැනීමට නම් කරන්න පුලුවන් බවත් ඇත්ත. නමුත් ඉන් අදහස් කරන්නේ නැහැ මීට වඩා යහපත් ජීවිතයක් පිළිබඳව ප්‍රාර්ථනා සිහින කවදාවත් මිනිසා වෙතින් යල් පැන යයි කියලා. මේ ප්‍රාර්ථනා සිහින තියෙන තාක් කල් සටන් පවතිනවා. හැබැයි ඉස්සර විදියට නෙමෙයි, වෙන විදිහකට.
සුනිල් මාධව ප්‍රේමතිලකලාගේ සටන් තුළ බොහෝ දේවල සිද්ධ වුණා. පොත් පළ වුණා, කවි සහ නාට්‍ය ආදිය බිහිවුනා, කලාවේ සිට දේශපාලන අසාධාරණය දක්වා කතිකාවන් ඇතිවුණා. ඒ කතිකාමය පරිසරයම බොහෝ නිර්මාණ බිහිවීමට හේතු වුණා. ඒවා අදත් කලා, සංස්කෘතික සහ දේශපාලන උරුමයන් ලෙසට ඉතුරුවෙලා තියෙනවා. ඉතා තක්කඩි කෲර රජයන් සමග අසාධාරණය ට එරෙහිව උරෙනුර ගැටෙමින් දේශපාලන අනාරක්ෂිතභාවය මැද වැඩ කරපු කලාකරුවන් ආදීන්ට ධෛර්යය හා ආරක්ෂාව ලැබුණා. ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටියා. ඒ විදියට ඉතා දුෂ්කර සහ වියලි සමාජ පරිසරයන් තුල ජීවය තබාගන්නට ඒ සටන් හේතු වුණා. මිට වඩා යහපත් ජීවිතයක් පිළිබඳ ප්‍රාර්ථනා සහ සිහින ගැන ජීවය ඒ මොහොතේ අප ළග තබා ගත්තේ එහෙමයි. ඒක ඒ පරිසරයේ දී ජයග්‍රහණයක්.
ඒ තමයි විප්ලවය!!!
– ධනංජය කරුණාරත්න

Leave a Reply

Your email address will not be published.