‘හැඟුම් මුහුළස ලිහුණි’ හි බස හෘදය සංවේදී බවින් පුරවන්නට ලක්මාලි හේවාවසම් සමත්ව සිටී

‘හැඟුම් මුහුළස ලිහුණි’- ලක්මාලි හේවාවසම්
දශක තුනකට ආසන්න කාලයක් අපට විවිධ පුවත්පත් පිටු අතර හමුවන ලක්මාලි හේවාවසම් කවි එකතුවකින් හමුවන්නේ පළමු වතාවටය. ඒ ඉවසීම සහ අභ්‍යාසය පිලිබඳ කතාවකි. අවසන ඇය තම පළමු කවි එකතුව පාඨකයා හට පිරිනමන්නීය. ඒ එකතුවෙහි එන කවි ලක්මාලි නම් කිවිඳියගේ කවියෙහි ගමන් සළකුණු සටහන් කරනා සාක්ෂි පෙලකි. ඇය සිය කෘතිය අරඹන්නේ පිය උපහාරයකිනි. එය තමන්ගෙන් වියෝව ගිය පියකු වෙනුවෙන් ජීවිත කාලය පුරා සංවේගී සිතුවිළි දරනා දරැවන්ගේ පොදු හැඟුම් පුද්ගලික අත්දැකීමක් හරහා කියාපාන්නට තැත් දැරීමකි. ඇගේ ඒ කවියද අනෙක් කවි මෙන්ම ජන කවියද එය ඉක්මවා යන විවිධ කාව්යා ආකෘතීන්ද සිහි කැඳවයි. ඇගේ කවිය විටෙක යශෝදරාවත සිහිගන්වන්නකි.
දියණියකට තම පියා හැඟෙන ආකාරය මෙහි මුල් කවෙන් මනාව නිරූපිතය. එය භාවමය නිමේෂයන් මුදා හැරීමකි.
හීනෙන් ඇවිත් හිස අත ගා යන්න ඇතී
පාරෙන් ඉද්දමල් කඩලා දෙන්න ඇතී
යානෙන් නැගිටලා නොකියම යන්න ඇතී
නාඬන් කියන්නටඅමතක වෙන්න ඇතී
ලක්මාලී සිය කවිකාර සැරිය තුළ බස හැසිරවීම මනාව පුහුණු කර තිබේ. ඇගේ බස හෘදය සංවේදී බවින් පුරවන්නට ඇය සමත්ව සිටී. ඇගේ කවිය තුළ දැනෙනා සංවේදී බව සියුම් රිදුමක් දනවන්නට සමත් වෙයි. සුන්දර සේ පෙනෙන කුටුම්භයක් තුළ යටින් ඇවිලෙන වේදනාවේ කම්පිත ස්වරයන් ඇය වදනට නගන්නේ මෙලෙසිනි.
කිඳුරු දා වත සේම මනකල් පුරාවතකට පේ වුණා
අඳුරැ මහ රෑ තාරකාවක් විලස හිත ළඟ දැල්වුණා
කවුරු දන්නෙදහිතක බිම්කඩ වැට ඉනිත් අහකට වුණා
ඉවුරු බිඳගෙන අරුම ගඟුලක වැටී හදවත පා වුණා
ඇය කුටුම්භයෙහි දෙදරා යාම සිත්තම් කරන්නේ ව්‍යංගාර්ථවත් බසකිනි. තිර යයි පෙනෙනා දේ නොතිර බවත් බැඳුම ලෙස පෙනෙනා දේ සැනෙන් බිඳුම බවට පත්වන බවත් ඇය පවසන ආකාරය කදිමය.
පබලු මුතු පොට බඳුය බැඳුමත්තදින් ඇද බැලුවොත් බිඳේ
සඳලු තලයක වුණත් බිඳුනොත් කැබැලිතිය වීදුරු බඳේ
ඇගේ බොහෝ කවි තුළින් වෑහෙන්නේ කතකගේ හදවතෙහි රළ නගනා විවිධ සිතුවිළිය. විටෙක එය විරහව කෙරේ ඇදී යයි. විටෙක එය පතිනියක ලෙස ඇය දරනා භූමිකාවෙහි විවිධ කෝණයන් කෙරෙහි යොමු වෙයි. මේ අතර එන අපූරු කවියකි විජ්ජාකාර සොඳුරිය. එය සැබැවින්ම කතක සතු සැඟවුණු බලය ගැන කියවීමකි.
ඔවුහු රෝස මල් පුබුදාලති
මැදියම් රැයෙහි
කඩුපුල් පොකුරු ගෙන එති
ගිනි මද්දහනෙහි
ඇය කත සතු හැකියාවන් විස්තර කරන ආකාරය කදිමය. රෝස මල් ඇහැරෙනයේ උදයෙහිය. එහෙත් කාන්තාව යනු රැයෙහි රෝස පුබුදාලන්නට සමත් එකියකි. එසේම රැයෙහි පිපෙනා කඩුපුල් ඇය අත පිබිදෙන්නේ මද්දහනේදීය. ඉදින් මේ කත කවර සමත්කම් දරන්නියකද?
ඔවුහු හිමසෙලින් ලාවා මවති
යමහලින් හිම පියලි ගෙන එති
බිඳෙන වෙණ තත් ගැහැණු හදවත් යනුද ඇගේ කවි අතර කැපී පෙනෙන තවත් කවියකි. එය කතකගේ අපේක්ෂා සහ පුරුෂ ලෝකය අතර වෙනස කියවන්නට තැත් දැරීමකි. පෙම සහ රැවටීම? ඇය එන්නී මනරම් ඇරයුමක් බැඳීමෙනි එහෙත් ඒ බැඳුමම බිඳුමට මග සදයි.
විළඳ පෙන්වා ඈත දුර සිට
සුවඳ මේ යයි වැනුම් කවි කර
ළඟට පියඹා ආ කෙවිළියට
විළඳ දිලිසෙන මිරිඟු තැටියක
ඇය පෙම්වතුන් හට කාන්තාවන්ගේ ඇතුළු හද විවර කර දක්වනුයේ මේ අයුරිනි.
කොවුල කවි ගී ගයන්නට පෙර
බලන් එ අසන සිත කෙලෙස වෙද
පේමයෙන් හිස්වුන හදක වෙණ
වයන සඳ තව තව බිඳිය හැක
කෙසේ වෙතත් මිතුරු සඳ නමින් එන කවිය හුදු සරල කවියක නැතිනම් පකාශණයක සීමාවන් ඉක්මවා යාමට අසමත් වෙයි. එහිදී කිවිඳිය තම කවිය වඩා පුළුල් අරුතැති පෙදෙසකට ගෙන යන්නට තැත් දැරුවේ නම් මෙය සාර්ථක කවියක් බවට පත් කරගත හැකිව තිබිණි. එහෙත් එසේ නොවී එය හුදු පුද්ගලික අදහස් පල කිරීමක්ව නතර වෙයි.
කෝවිඩ් වසංගතය ලෝකය මත කඩා පැනනේ සියළු මිනිස් සම්බන්ධතාවන්ට අභියෝග කරමිනි. සමීප වීම වෙනුවට ඈත් වීම යෝජනා කළ එය මිනිසා මුකවාඩමක සිර කර දැමීය. ජීවිතය යනු දැන් පෙරටත් වඩා හුදෙකලාවකි. ලක්මාලි මේ කටුක වර්තමානය විමසයි.
විදා දෙනෙත මුකවාඩම් බැඳ සිටිමී
එදා විලස හිනැහෙන උන් නොම දකිමී
බදා වැළඳ සිප ගත් නුඹ දැක තැවෙමී
මෙදා පාර මීටරයක් දුර සිටිමී
මේ අපේ වර්තමාන ඛේදයයි. අපි එකිනෙකාගෙන් ඈත් වෙමින් ආරක්ෂිත කුටි තනමින් සිටිමු. ඒ අතර ජීවිතය අතැඟිලි අතරින් රූරා හැලෙයි. ලක්මාලිගේ කවියෙහි වැදගත්කම ඇය මේ තත්වයට දක්වන විරෝධයයි. ඇය ජීවිතයට අභියෝග කරන්නීය. අද සැබැවින්ම ඇවැසිව ඇත්තේ පලා යාමක් නොව හැරී මුහුණ දීමක්ම පමණි. එය සෑම කලාපයකටම එකසේ අදාලය.
අතින් නාල්ලා පෙම් කළ අතීතෙට
ඉතින් යමුද යළි හිනැහී සැනසෙන්ට
කලින් යන්ට ඇත්නම් බැහැ නවතින්ට
තදින් හාදු දෙමි එකටම මිය යන්ට
විවාහය යනු දරුවන් ලැබීමෙන් සංතෘප්ත විය යුතුම දිවියක් බව බොහෝ දෙනා අදහති. එසේම දරුවන් නොමැති කතක හට උරුම වන්නේද ගැහැට සහ අවමන් මය. කවර තත්වයක් යටතේ වුව කුස පිළිසිඳගත් කලලය අහිමිවීමෙහි වරදද බොහෝ විට පැටවෙනුයේ කාන්තාවගේ හදටමය. අතිශය නූතන සේ පෙනෙන බාහිර කටුවක් තුළ අන්ත සම්පදායික ජීවිත ගෙවනා මිනිසුන් බහුල රටක තම කුස ඔත් දරුවා අහිමිවූ මවකගේ ඛේදය ලක්මාලි දරු නොලදිමි නම් කවියෙහි නිමිත්ත කර ගනියි. ඒ කවිය නිර්මාණයේදී ඇය මනා ලෙස අපේ පුරාණෝක්තීන් ද සහයට කැඳවයි.
ලක්මාලි ගේ කවි අපේ කිවිඳියන් අතරෙහි ඇගේ නමද කැපී පෙනෙනා ලෙස සටහන් කරයි. නූතන කවියත් අපේ පැරණි කාව්යේ සම්පදායනුත් මුහු කර ඇය නිමවන කවි බස මෙන්ම ඒ කවි වල නිමිතිද ලක්මාලි යනු කවිය අත නොහැර සිටිය යුතු තැනැත්තියක බව සිහිපත් කරයි.
– චූලානන්ද සමරනායක

Leave a Reply

Your email address will not be published.