‘ලිලිත් සහ ලිලී මල්‘ මැද ස්ත්‍රීත්වය

ලෝක සාහිත්‍යය තුළ මෑතක් වන තුරුම අණසක පැතිර තිබුණේ ලේඛකයන්ගේ ය. අතීතයේ ස්ත්‍රියකට ලේඛිකාවක් වීම කෙතරම් අසීරු වී තිබිණි දැයි අමුතුවෙන් මතක් කළ යුතු නැත. වර්ජිනියා වුල්ෆ් වැන්නියක් සටන් කළේ පුරුෂයන්ගෙන් පිරි සාහිත්‍ය ධාරාවේ ස්ත්‍රී නාමයක් තැබීම උදෙසා ය. එකල බොහෝ ප්‍රකාශන සමාගම්වල සිටි සංස්කාරකවරු කාන්තාවන්ගේ කෘති නොකියවාම බැහැර කර ඇත්තේ ඔවුන් ස්ත්‍රීන් වීම නිසාම ය. එවැනි දශක ගණනාවකින් පසුව අද අප සිටින්නේ ලේඛිකාවන් බොහෝ සම්මාන හිමි කර ගන්නා තැනක වුව ද, තවමත් ගැටලු නැතිවාම නොවේ.
ඉහත කී කාරණාව නිසා අතීතයේ බොහෝ ප්‍රබන්ධවල ස්ත්‍රී චරිත නිර්මිත වූයේ පුරුෂයන් අතිනි. එනිසා ම සැබෑ ස්ත්‍රී චරිත ඉන් ප්‍රකට වූයේ ද යන්න ගැන බොහෝ විවාද පැවැතිණි. මෙවැනි විවේචන රාශියක් පවතින යුගයක ලෝක සාහිත්‍ය වපසරියට මාග්‍රට් ඇට්වුඩ් නම් ලේඛිකාවගේ ආගමනය සිදුවන්නේ අදට ද ඇයගේ නම සමඟින් කියැවෙන The Handmaidzs Tale නම් කෘතිය සමඟිනි. මාග්‍රට් ඇට්වුඩ් ලෝක සාහිත්‍යයේ දිදුලන නාමයක් බවට පත් වන්නේ ඇගේ නවකතාවල ස්ත්‍රී චරිත නිරූපණය ප්‍රබල හේතුවක් කර ගනිමිනි. ලංකාව දෙසට හැරීබැලීමේ දී ඉහත කී ගැටලු ලංකාවේ ලේඛිකාවන්ට ද තිබුණු බව සහ අදට ද පවතින බව රහසක් නොවේ ය. කෙසේ වුව ඊවා රණවීර, කැත්ලීන් ජයවර්ධන, සුනේත්‍රා රාජකරුණානායක ආදී විවිධ ලේඛිකාවන් සාහිත්‍ය මඟ බොහෝ දුර පැමිණ ඇති බව නොරහසකි. කෙසේ වුව ද, ගුස්ටාව් ෆ්ලෝබෙයාගේ ‘මැඩම් බොවාරි’ වැනි නවකතාවක ස්ත්‍රී චරිත නිරූපණය වඩා සාර්ථක බව විචාරක අදහසයි. මෙම ලිපියෙන් කතා කරන්නට උත්සාහ කරන්නේ ලේඛකයෙකු – පිරිමියෙකු – විසින් ගොඩනැඟූ ස්ත්‍රී චරිතවල ඇති අපූර්ව සොබාවයන් ගැන ය. මෙම කාරණය සඳහා ප්‍රස්තුත කර ගන්නා කෘතිය වන්නේ ගිහාන් සචින්තගේ ‘ලිලිත් සහ ලිලී මල්’ කෙටිකතා සංග්‍රහයයි. ගිහාන් සචින්ත මෙම කෙටිකතා සංග්‍රහය ජනගත කරන්නේ 2021 වසරේ දී ය.
සාර්ථක ස්ත්‍රී චරිතයක් ගොඩනඟන්නේ කෙසේ ද යන්න ගැන ලෝක සාහිත්‍යයේ විවිධ සංවාද පවතී. සාර්ථක හෝ අසාර්ථකභාවය කෙසේ වුව ද, ස්ත්‍රී චරිත නිරූපණය යනු පහසු කටයුත්තක් නොවේ. විවාහ වීමට සුදුසු මනාලයකු සොයා ගැනීම ලෝකයේ ඇති ලොකුම ප්‍රශ්නය බවට පත් වූ කුමාරිකාවන් සිටි ඩිස්නි චිත්‍රපට සේ ම,“ මගේ කාර් එකේ රෝදෙ මාරු කර ගන්න මට පුළුවන්, කරුණාකරලා මට කුමාරිකාවක් කියන්න එපා යැ”යි කියන කාන්තා චරිත දක්වා ස්ත්‍රී චරිතවල විකාශනය අද වන විට සිදුව ඇත. කෙසේ වුව ද, ප්‍රබලතම කාරණය වන්නේ, සාර්ථක ස්ත්‍රී චරිතයක් නම්, එම චරිතය කතාව තුළ සෙසු පිරිමි චරිත සේම තීරණ ගත යුතු අතර, එකී තීරණ කතාවෙහි අවසානයට බලපෑම් කළ යුතු ය යන්න ය.
ගිහාන්ගේ කෙටිකතා සංග්‍රහය තුළ කෙටිකතා පහක් අන්තර්ගත වන අතර ඒ සෑම කතාවක ම ස්ත්‍රී චරිත නිරූපණය වෙනස් සූක්ෂ්මතාවයන්ගෙන් යුක්ත වෙයි. මෙම සටහන උදෙසා පළමුව යොදා ගැනෙන්නේ එහි පළමු කෙටිකතාවයි. එය මෙම කෘතිය ද නම් කර ඇති ‘ලිලිත් සහ ලිලී මල්’ නමින් එන පළමු කෙටිකතාවයි. ලිලිත් සහ ලිලී මල් යනු එකිනෙකට පෑහෙන කාරණා නම් නොවේ. කෙසේ වුව ද, අධියථාර්ථීය (Imaginary Juxtaposition) සංකේත භාවිතයක් සිහි කරන මෙම ලිලිත් සහ ලිලී මල් යන ද්විත්වය ම ස්ත්‍රිය නියෝජනය කරයි. ලිලිත් යනු දෙවියන් වහන්සේට විරුද්ධ වූ නිසා නිරයට පළවා හැර යකින්නක ලෙස අර්ථදැක්වූ කාන්තාවකි. ලිලී මල් යනු කන්‍යා මරියතුමිය නියෝජනය කරන පාරිශුද්ධත්වය නියෝජනය කරන්නකි. ලිලී මල් ලෝකයට පහළ වූයේ සියුස් දෙවියන්ගේ බිරිඳ වූ හේරාගේ කිරි බිඳුවකින් ය යන්න තවත් කතාවකින් කියැවෙයි. කතාවේ නාමකායෙන් කතාව තුළ බලපවත්වන පුරුෂාර්ථ සමාජයක ස්ත්‍රිය පිළිබඳ මේ ද්විත්ව කතිකාව – දේවතාවීත්වය සහ යක්ෂණීත්වය – සංකේතවත් කරන බව මගේ හැඟීමයි. භාරතයේ ලක්ෂ්මී දේවිය සශ්‍රීකත්වය සංකේතවත් කරද්දී, මූ දේවිය විනාශය සංකේතවත් කරන්නේ අහම්බයකින් නොවේ.
කතාව ආරම්භයේදීම මෙවැනි වැකියක් කියවන්නට ලැබෙයි:
“මා පත්ව සිටි සදාකාලික හුදකලාවේ ගෙහෙන්නාවෙන් ගලවා ගනු ලබන්නී ඈ ය. ඉදින් ඒ ගැහැනිය ලිලිත් නම් ලද්දී ය. මම ඇගේ සොහොන් කොත අබියස නිසොල්මනේ ධ්‍යානගත වෙමි.”
කතාවෙහි කතා නායකයා හුදෙකලාවෙන් ගලවා ගන්නේ ස්ත්‍රියකි. එසේ නම්, මේ කතාවට උපත ලබා දී ඇත්තේ ස්ත්‍රියකි. එකී ස්ත්‍රිය මෙකී කතාවේ ක්‍රියාත්මක වන්නේ අප ඉහළින් පැවසූ කතාවෙහි තීරණ ගන්නා, ඒ තීරණ මඟින් සමස්තයට බලපෑම් කරන චරිතයක් ලෙසිනි.
කතානායකයා සහ පෙම්වතිය අතර සංවාදයේ දී ඇය කියන මේ වාක්‍ය වැදගත් ය.
“ලිලී මල්, ඊයා… පාරිශුද්ධයි. මට එපා. රෝස නම් විතරක් හා…”
මෙකී වාක්‍ය තුළින් මතු වන්නේ පුරුෂාර්ථ සමාජයක ස්ත්‍රිය පාරිශුද්ධත්වයේ සළුව තුළ දැවටීමට එරෙහිව ඇයගේ ඇති විරුද්ධත්වයයි. ඇය හරියටම “මගේ කාර් එකේ රෝදෙ මාරු කර ගන්න මට පුළුවන්, කරුණාකරලා මට කුමාරිකාවක් කියන්න එපා යැ”යි කියන කාන්තා චරිතයකට සමපාත වෙයි.
මෙකී කාරණය වටහා ගන්නට තව තවත් ගැඹුරට මෙම කතාව විමසා බැලිය යුතු ය. ඒ සඳහා ඉඩ ලබා ගන්නට ඔබ සමඟ මේ වැකිය බෙදා ගනිමි.
“පල්ලියට, තොටිල්ලට හා කුස්සියට කාන්තාව තල්ලු කරන්න අර්බුද, යුද්ධ, වසංගත ආදී සෑම මොහොතක්ම මේ ක්‍රමය විසින් නරුම ලෙස යොදා ගන්නවා. කාන්තා නිදහස එකවර සහතික වෙන්නේ නැහැ. සිවිල් නිදහස හා මානව ගරුත්වය පිළිබඳ විෂයපථය පුළුල් කරන වෙනත් අත්පත් කර ගැනීම් වගේ අප ඒවා රැක බලා ගන්න වුවමනායි. අද වෙන කොට අපි හැමෝම රණශූරයෝ.” – ඔල්ගා තොකර්චුක්
කාන්තාව යනු පුරුෂයකු සේ ම හැඟීම් දැනීම් ඇති, වේදනාව දැනෙන තවත් ජීවියකු මිස අතිවිශේෂ හෝ අතිඅසාමාන්‍ය ජීවියකු නොවේ. කාන්තා චරිත නිරූපණයේ දී මෙන්ම සාහිත්‍යය තුළ ද අප වටහාගත යුත්තේ, මෙකී කාරණයයි. කාන්තාව වෙනුවෙන් සටන් කළ යුත්තේ කාන්තාව පමණක් නොවේ. ස්ත්‍රිය පිළිබඳ කතිකාව තවත් පුළුල් කළ යුතු සමාජයක ජීවත්වන අප සාහිත්‍යය තුළ ද ඒ කතිකාව ඉදිරියට ගෙන ආ යුතු ය. ‘ලිලිත් සහ ලිලී මල්’ හි ස්ත්‍රී චරිත නිරූපණය ද අපට වැදගත් වන්නේ එකී අරමුණෙනි.
මතු සම්බන්ධයි.
– රශ්මික මණ්ඩාවල

Leave a Reply

Your email address will not be published.