අධියථාර්ථවාදී චිත්‍ර කලාවේ පියා සල්වදෝර් ඩාලි

Read Time:11 Minute, 47 Second

ස්පාඤ්ඤ ජාතික චිත්‍ර ශිල්පී, සල්වදෝර් ඩාලි අප අතරින් වෙන් වී ජනවාරි 23 වැනි දිනට වසර 33කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙම ලිපිය සැකැසෙන්නේ මෙරට ස්පාඤ්ඤ භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති සම්මානනීය ලේඛිකා ඉන්ද්‍රානි රත්නසේකර මහත්මිය ලියූ ලිපියක් අනුසාරයෙන් ය.
සල්වදෝර් ඩාලි 1904 මැයි මස 11 වැනිදා ස්පාඤ්ඤයේ, පිගුඑඅරා නම් කුඩා ග්‍රාමයේ දී උපත ලබන්නේ ය. නීතිඥයකු වූ ඩාලිගේ පියා කුචි (Cuci) නම් වූ අතර, මව ෆෙලිපා (Felipa) නම් වූවා ය. මධ්‍යම පාන්තික පවුලක දෙවැනි දරුවා වූ ඩාලි උපදින විට ඔහුගේ වැඩිමහල් සොහොයුරා මිය ගොස් සිටි අතර, ඩාලිගේ උපතින් වසර හතරකට පසු එක ම නැඟණිය ඇනා (Ana) උපත ලැබී ය. පියා සිය දරුවන් දෙදෙනාට දැඩි විනය නීති පනවා තිබූ අතර, ඒ ගැන මවගේ දැඩ අප්‍රසාදයක් ද විය. පසු කාලයක දි ඇනා ‘මගේ ඩාලි අයියා‘ නමින් ග්‍රන්ථයක් ද සම්පාදනය කළ අතර, තමා කුඩා කල ඩාලි අයියාගේ කාමරය චිත්‍රාගාරයක ස්වරූපයක් ගත් බව ඇය එම ග්‍රන්ථයෙහි සඳහන් කර ඇත.
ඩාලි තමාට උරුම වූ දීර්ඝ පෙළපත් නාමය (Salvador Domingo Felipe Jacinto Dalí I Domènech) පිළිබඳව මහත් රුචිකත්වයකින් හා අභිමානයකින් කතා කළේ ය.
“මගේ නමත්, ඇඳුමත් ඇතුළුව මා ආදරය කළ සෑම දෙයක් ම මට උරුම වූයේ අරාබි මුතුන්මිත්තන්ගෙනි”
ඩාලි මූලික අධ්‍යාපනය ලැබුවේ නිවස අසල පිහිටි ජාතික පාසලකිනි. පසුව ඩාලි උසස් අධ්‍යාපනය සඳහා ‘ඇකඩමියා ඩි බෙල්ලාස් ආර්ට්ස්’ (Acadamia de Bellas Artes) ආයතනයට ඇතුළත් වී ඇත. එහි දී ඔහුට බුද්ධිමත් කලාකරුවන් රැසකගේ ඇසුර ලැබීමට හැකි වී ඇත. ඒ අය අතර ගාර්සියා ලෝර්කා, ලුවිස් බුන්දුඑල්, පෙපින් බෙයියෝ රෆාඑල් අල්බෙර්නි මේ අතර ප්‍රධාන වෙති.
1917දි අධියථාර්ථවාදී කලාව ගැන විචාරයක් කරන ප්‍රංශ ජාතික කවියකු වූ ගුවාලෝම් ඇපොලිනොයා කියනුයේ, අධියථාර්ථවාදී කලාව පුළුල් වශයෙන් ව්‍යාප්ත වූයේ චිත්‍ර කලාව තුළ බව ය. ගැඹුරු සිතුවිලි අධියථාර්ථවාදී ශිල්පීන් තුළ තිබිණි. තාත්විකත්වයේ තර්ක විරහිත බව උඩ මොවුහු තර්ක ගොඩනැඟූහ.
එමෙන් ම සිග්මන් ප්‍රොයිඩ්ගේ ඇතැම් අදහස්ද අධියථාර්ථවාදී කලාකරුවෝ තම නිර්මාණ සඳහා ප්‍රයෝජනයට ගත්හ. අධියථාර්ථවාදීහු සිහින ආකෘති ලෙස කලා කෘති නිර්මාණය කළහ. අධියථාර්ථවාදී සිතුවම් කලාව පැමිණීම නිසා ස්වාභාවිකවාදය මුළුගැන්විණි. ස්වාභාවික වස්තු නිරූපණාත්මකව තම නිර්මාණ සඳහා යොදා ගන්නා ලදී.
ඉහත කී කාරණා සියල්ල ම ඩාලිගේ චිත්‍ර කලාව තුළ ගැබ් වි තිබේ. ඉන්ද්‍රානි රත්නසේකර මහත්මිය පවසන ආකාරයට “ඩාලිගේ චිත්‍ර කලාව දර්ශනය, විද්‍යාව, කලාව යන ශක්ති යටතේ හැඩගැසිණි. දාර්ශනිකයකු වූ සිග්මන් ප්‍රොයිඩ්ගේ ලේඛන අධ්‍යයනය කිරීමෙන් සිහිය, සිහින මනස ආදිය පිළිබඳ සැබෑ දර්ශනයක් ඔහු තුළ හැදී තිබිණි. ඒ සිහින ජන විඥානය ප්‍රබෝධවත් කරන විලාසයට දියුණු කර ගැනීමට ඩාලි හොඳින් දැනසිටියේ ය. ප්‍රංශ අධියථාර්ථවාදය හා බැඳුණු මහා කලාකරුවන්ගේ ඇසුර මඟින් තුරුණු වියේ සිට ම කලාව පිළිබඳ පුළුල් අවබෝධයක් ඔහුට තිබිණි.
“ඩාලිගේ සිතුවම් ජ්‍යාමිතික රූපවලට අනුව නිර්මාණය වූ අරුමපුදුම විස්මයාකාර ප්‍රතිරූප විය. ඇතැම් විට සිය තෙලිතුඩට ආරූඪ කර ගන්නා ලද අවලක්‍ෂණථ විරූපී චරිත විවේචකයෝ පවා කෝපගැන්වූහ. ඒ නිසා ම එතෙක් බිහි නොවූ සියුම් කලා සිතුවම් ඔහු අතින් නිම විය. වැහැරුණු හැඩතල, දෙපැත්තට ඇඳි ප්‍රතිරූපවලින් ඔහු අපූරු විනිශ්චයක් මැවී ය. ශෘංගාරය, හාස්‍යය, සංකේතාත්මක ද්‍රව්‍ය ඩාලිගේ සමස්ත නිර්මාණවල කැපීපෙනිණි.
“ඔහුගේ උසස්තම සිතුවම් නිර්මාණ එකතුව ‘පර්සිස්ටන්ස් ඔෆ් මෙමරි’ (Persisitance of Memory) නමින් ලොව ඉතා ප්‍රසිද්ධියට පත් වී තිබේ. එම සිතුවම් අතර පාන් කූඩය ද්‍රවයක් මෙන් ගලා යන ලෙස ඇඳි හෝරා යතුරු, විවිධ මෝස්තරවල (Christian Dior) හා සුවඳ විලවුන් බෝතල්, සයුරු දර්ශන වඩාත් ජනප්‍රිය විය.” යනුවෙන් ඩාලි ගැන විග්‍රහයක යෙදෙන රත්නසේකර මහත්මිය වැඩි දුරටත් පවසන්නී ය.
එයට අමතරව ඔහු විසින් අඳින ලද පොකිරිස්සකු සහ ටෙලිෆෝනයක් එකට ගැළපූ චිත්‍රය විවේචකයන් අතර මහත් ආන්දෝලනයක් ගෙන දුන් අපූරු නිර්මාණ විය.
‘වණ වූ සිරුරකින් ලාච්චු කිහිපයක් එළියට එන නිරුවත් ගැහැනිය’, ‘ඒකාන්තයෙන් ම යුද්ධය පිළිබඳ අසුභ නිමිත්ත’, ‘හේමන්ත සෘතුවේ මිනීමස් කෑම’, ‘නින්ද‘, ‘සිහියේ පැවැත්ම’ සහ ‘හිස පිපිරීම’ යන කලා කෘති ඩාලි අතින් නිර්මාණය වූ විශේෂ ගණයේ නිර්මාණ වේ.
ඩාලිගේ රේඛාව ක්‍ෂණිකත්වය මත ගෙනහැර පෑවැකි. මහත සහ සිහින් ඉරි කුරුටු සහන් ලෙස ඇතැම් විටත්, ඇතැම් විට රූ සටහන් අර්ධ ලෙසත්, ආවේශකාරී ඉක්මන් බවකින් ඇඳී තිබේ. රේඛාවේ රිද්මය නිදහස් හැඩතලවලට ගොඩනඟා ගැනීමට ඩාලි අතිදක්‍ෂයකු වි ඇත.
ඔහු විසින් අඳින ලද අලංකාර මුහුදු දර්ශන, ක්‍රිස්තු ප්‍රතිමා ආදී සිතුවම් ලොව බෙහෝ රටවල කෞතුකාගාරවල මහජන ප්‍රදර්ශනය සඳහා තබනු ලැබ තිබේ.
‘ද රෝයල් හාට්’ (The Royal Heart) නම් රන් ආභරණය ඩාලිගේ දෑතින් නිර්මාණය වුණු එකක් වන අතර, එය ඩාලි කෞතුකාගාරයේ අදටත් දක්නට තිබේ. තව දුරටත් ඩාලි ගැන පවසනවා නම්, ලෝකයේ රටවල් දෙකක අධියථාර්ථවාදී මෝස්තරවලින් අලංකෘත කෞතුකාගාර දෙකකට හිමිකම් කියන එක ම ගෘහනිර්මාණ ශිල්පියා වන්නේ ඩාලි ය. මෙම කෞතුකාගාර වනුයේ, ෆ්ලොරිඩා හි ‘සැල්වදෝර් ඩාලි මියුසියම්’ (Salvador Dali Museum, Florida) සහ ස්පාඤ්ඤයේ ‘තියටර්-මියුසියම් ඩාලි’ (Dali Theatre- Museum, Spain) වේ.
මහා නාට්‍යවේදී ගාර්සියා ලෝකාර්ගේ සියලුම නාට්‍යවල වේදිකා සැකැසුම් සහ සැරැසිලි සැකැසුණේ ද ඩාලි අතිනි. ඔපෙරා විලාසිතා ද, වෙළෙඳ දැන්වීම් හා ලාංඡන නිර්මාණයට ද ඩාලි අතිදක්‍ෂයකු බව මනාව ඔප්පු කර ඇත්තේ, ඔහු ඒ වෙනුවෙන් කළ නිර්මාණ සමුච්චයෙනි.
ඩාලිගේ චිත්‍ර කලාව හා මෙම වෙනත් කලා තුළ ප්‍රබල වෙනසක් දැක්වීමට බොහොමයක් ම හේතු වූයේ, පැබ්ලෝ පිකාසෝ සමඟ සමීපව ඇසුරු කිරීමෙන් අනතුරුවයි. එවකට ප්‍රංශයේ අධියථාර්ථවාදී නායකයා වූ ආන්ද්‍රෝ බ්‍රොනොක් හමුවීම ද ඩාලිගේ නිර්මාණ සැබෑ වෙනසකට පත් මට හේතු විය.
ඩාලි 1929 වර්ෂයේ දී සිනමාවට ද සම්බන්ධ වූ අතර, මහත් අභිරුචියෙන් ඔහු ඇතැම් චිත්‍රපට ජවනිකා ද චිත්‍රයට නඟා ඇත.
1934දී ගාලා නම් තරුණියක සමඟ විවාහ ගිවිස ගත් ඩාලි ඇය සමඟ වෘත්තීයමය චිත්‍ර දැක්මක් ඇමෙරිකාවේ දි පවත්වා ඇත.
ඩාලි විසින් කෘති කිහිපයක් ද සම්පාදනය කරනු ලැබ ඇත. මේ ප්‍රකාශන අතර ‘ඩයරි ඔෆ් ද ජීනියස්’ (Diary of the Genius) අධියථාර්ථවාදී සිතුවම් අධ්‍යයනය සඳහා වෙන් කළ කෘතියකි. අධියථාර්ථවාදී සිනමාව ගැන ලියූ කෘතිය වන්නේ Bababuo නම් කෘතියයි. ඩාලිගේ ජනප්‍රිය වු නවකතාව ලෙස ‘හිඩ්න් ෆේසස්’ (Hidden Faces) කෘතිය ගත හැකි ය. ඔහුගේ ස්වයංලිඛිත චරිතාපදානය ද ‘ද සීක්‍රට් ලයිෆ් ඔෆ් සල්වදෝර් ඩාලි’ (The Secret Life of Salvador Dali) නමින් ප්‍රකාශයට පත් විය. එයට අමතරව සල්වදෝර් ඩාලිගේ චිත්‍ර හඳුනා ගැනීම සඳහා ලියූ ‘පර්සිස්ටන්ස් ඔෆ් මෙමරි රෙවලූෂන්’ (Persistence of Memory Revolution) යන කෘතිය ඩාලිගේ චිත්‍ර කලාව අධ්‍යයනය සඳහා පිටස්තරයකුට මහඟු අත්වැලක් සපයයි.
1980දී ඩාලිට බෙහෙතක් විෂ වීමෙන් ඔහුගේ දකුණු අත වෙව්ලන්නට විය. එතැන් සිට ඔහුගේ කලා කටයුතු සම්පූර්ණයෙන් ම ඇනහිටියේ ය. 1982දී ස්පාඤ්ඤ රජතුමා වූ ජුආන් කාර්ලෝස් (Juan Carlos) ඩාලිගේ අධියථාර්ථවාදී මෙහෙය අගයමින් ‘පුබොල් ප්‍රදේශයේ වංශාධිපති’ (Marquis de Pubol) නම්බුනාමය පිරිනැමූ මොහොතේ පෙරළා ඔහු රජු වෙත කෘතඥතාව පළ කර ඇත්තේ, අවසන් වරට තම වෙව්ලන සුරතින් ඇඳි චිත්‍රයක් රජුට පරිත්‍යාග කරමින් ය.
විවිධ ක්‍ෂේත්‍ර රැසක් නියෝජනය කරමින්, දක්‍ෂකම් රැසක් ලොවට පෙන් වූ මෙම අගනා කලාකරුවා වු සල්වදෝර් ඩාලි ස්පාඤ්ඤ රජය විසින් ‘ග්‍රෑන්ඩ් ක්‍රොස් ඔෆ් ක්වීන් ඉසබෙලා’ (Grand Cross of Queen Isabella) යන කලාකරුවකුට පුදන විශිෂ්ට සම්මානයෙන් පුදන ලදී.
1982දී සිය බිරිඳ මිය ගිය සොවින් ඩාලි දිවි තොර කර ගැනිීමට පවා තැත්කොට ඇත. රත්නසේකර මහත්මිය පවසන ආකාරයට එක්තරා දිනයක ඩාලිගේ නිඳන කාමරයේ ඇති වූ හදිසි ගින්නකින් ඔහු බේරී ඇත්තේ, ඉතා පුදුමාකාර ලෙස ය. පසු කාලයක දී ඔහුගේ ආරක්‍ෂකයෝ ව්‍යාජ චිත්‍රවලට ඩාලිගේ අත්සන බලෙන් යොදවාගෙන ඒවා වැඩි මිල ගණන්වලට අලෙවි කොට ඇති බව ද වාර්තා වේ.
සල්වදෝර් ඩාලි නම් මේ අපූර්ව ගණයේ අධියථාර්ථවාදී චිත්‍ර ශිල්පියා 1989 ජනවාරි මස 23 වැනිදා තමාගේ අදහස් සහ සිහින ඇතුළත් ‘ක්‍රිස්ටානා’ (Tristana) චිත්‍රපටය නරඹමින් සිටිය දී, මෙලොවින් සමුගත්තේ ය.
– අලව්වේ චන්දන රණවීර

giraffe


 

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

7 thoughts on “අධියථාර්ථවාදී චිත්‍ර කලාවේ පියා සල්වදෝර් ඩාලි

Leave a Reply

Your email address will not be published.

Previous post මකුලොලුව මෙහෙවර
Next post ඉතිහාසගත අඳුර ප්‍රබන්ධයේ ආලෝකයෙන් විනිවිදින ‘ප්‍රේමානිශංස’