ආයිබොවන්ඩ ජනක..,

මේ දවස්වල තමුන්නැහැ සුපර් ස්ටාර් කෙනෙක් වෙලා අපේ ටැලිවිසොන් පෙට්ටිවල බැබළෙන හැටි දැක්කහම සියලු දුක් කරදර අමතක වෙලා අපේ පපු කූඩුවලින් තන්තෝසෙ පිටාර ගලනවා. මහාජන උපෝගිතා කොමිසොම ද මොකක් ද කියන එකේ මහදැනමුත්තා හැටියට ඔහේ කියන, කොරන හරුප ගැන අපිට ඒ තරං දැනුන් තේරුං නැති එක හැබෑව. ඒ වුනාට ආයිබොවන්ඩ මක්ක උනත් අර අසමජ්ජාති විදුලි මණ්ඩලේ උන්ව ආණ්ඩුමට්ටු කොරන්ඩ මුන්නැහැට ඇහැක් වෙච්ච එක නං මාරම මාරයි. හැබෑටම ආයිබොවන්ඩ ඒකලාට තියෙන ගාය මොකක් ද දෙයියනේ කියල අපි ලයිට්ටෙකක් දෙකක් දාගෙන රාත්තිරියට අපේ සෑර් ටොපටම අද්දියක්සනය කොරන  ටැලිවිසොන් ජෝක්ස් ටිකක් නැරඹුවහම.
ඒක නෙමේ ජනක මහත්තයෝ… තමුන්නැහැත් කමිසෙට උඩින් දාන අර බොස්තොරොක්කෙ කරන්ට් වදින්නෙ නැති එකක් වෙන්ඩැති නේ ද? එහෙම නැත්තන් ඒක වෙඩි නොවදින ජැකට්ටුවක් වෙන්ඩෝනෑ අනිවාරියෙන්ම. අනේ සබාපතිතුමෝ තමුන්නැහැට නං නාත, පත්තිනි, ඥානක්කා ඇතු`ඵ සියලු දේවතාවුන්ගේ පිහිට-ආරක්සාව ලැබෙන්ඩ ඕනා. රටම අන්දකාරෙ ගිල්ලන්ඩ කුමන්තරණේ කොරන ඉලැක්ටි්‍රසිටියෙ හොර තක්කඩියන්ට ඔහේ ඇට්ටි හැලෙන්ඩ දෙන හැටි බලන් ඉන්න කොට අපේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙනවා. බැරි වෙලාවත් අර යක්කු තමුන්නැහැගෙ වයර් එකක් ෂෝට් කොරල මොකක් හරි අකරතැබ්බයක් කළොත් එහෙම අපිට සදහටම  ඉන්ඩ වෙන්නෙ කරුවලේ තමා ඉතිං. ඔය ඉලැක්ටි්‍රක්කාරයොත් හැම තිස්සෙම අපේ සෑර්ට කරදර කොරන ඉස්කෝල ගුරාලා, ගොයිරාලලා වගේ කිසිම හිතක් පපුවක් නැති ත්‍රස්ත කල්ලියක් තේරුණැයි?
අපි හිතාන උන්නේ ඉන්දියාවෙන් ඩීසල් අරං ආපු සුවර්ණ පුස්ප නැව් රාජයා පිළිගන්ඩ ඔහෙත් යයි කියලයි. බලන්ඩ එපායැ රෝහිතයයි, ගම්මනයයි ගෝපාල් කොමසාරිස්ට ගොට්ට අල්ලපු ලස්සන. මහජන උපයෝගෙ කෙරුමා හැටියට නිල බලයෙන්ම තමුන්නැහැටත් එතෙන්ට නියමෙට ජැක් වෙන්න තිබුණ නෙ. අපරාදේ මීට පස්සෙ එහෙම චෑන්ස් අතාරින්න එපා ලොක්කා. අපි එහෙම කියන්නෙ ඔහෙල වගේ ජනහිතකාමී, කාර්යසූර වියත් මහත්තැන්ලට රට, ජාතිය. ආගම වෙනුවෙන් මෙහෙම මෙහෙවරක් කොරන්ඩ ආයෙත් වරමක් ලැබෙයි ද කියලා බය හිතෙන හන්දයි.
මේ දවස්වල අපේ සෑර්රුයි, ඔහෙලයි එකතු වෙලා කොරන ජනතා සේවය ගැන අපේ පපු කැනතුවල බුර බුරා නැගෙන ළෙන්ගතුකොම පොරකාස කොරගන්ඩ ඇහැක් කොරමයක් නැතුවයි අපි විස්සෝපෙන් ඉන්නේ. තමුන්නැහැ ඉතිං අපේම කෙනෙක් වගේ හන්දයි මේ ටික කියන්නෙ ආයිබොවන්ඩ. අපේ ලොකු සෑර්ටත් කොරන්ඩ බැරි කෙළියක් නෙ අම්මපා ජීවිතේ පවා පරදුවට තියල ඔහේ ඉස්ට-සිද්ද කොරන්නෙ. තමුන්නැහැගෙ හිතේ කරුණාවටයි, ඇඟේ හයියටයි ඔහොම කොළාට පොඩ්ඩක් වැරදුනොත් කාරිය බෙල්ලම ගහලා යන්ඩත් බැරි නැති බව අමතක කරන්ඩෙපා. දැක්ක නේද හොඳට ලාබත් ලබපු ලුනු සංස්තාවෙයි, කිරිමන්ඩලෙයි හිටපු සබාපතිලට පැදුරුකොට්ටත් අකුළන් යන්ඩ වුණ හැටි.
ඒක හංදා යෑස් සර් බාසාවෙන් ෂේප් නොවී වැඩි පණ්ඩිතකං පෙන්නන්ඩ ගියොත් නං ඉතිං අපේ සෑර්ට මළ පනිනවා ෂුවර්. එහෙම වුණොත් කොරාපු හොඳ පස්සෙන් එනවාය කියපු හිවල්හාමිට සිද්ද වෙච්ච විපතටත් අන්ත එකක් තමා ඔහේටත් ආයිබොවන්ඩ බුක්ති විඳින්ඩ සිද්ද වෙන්නෙ. පරිස්සමින් අඩිය තියන්නෙ කොමසාරිස්තුමෝ. අසූචි, කුණු බිත්තර වගේ බාන්ඩ පාලනේ කොරන්ඩ ඔහේගෙ මහජන උපයෝගිතා කොමිසමට බලතල නැහැ නෙ●

විශ්ව මිත්‍ර

Leave a Reply

Your email address will not be published.