මකුලොලුව මෙහෙවර

ඩබ්ලිව්. බී. මකුලොලුව මහතාගේ ශත සාංවත්සරික උපන්දිනය 2022 පෙබරවාරි 17 දිනට යෙදී ඇත. සැබෑ දේශමාමකත්වයක් පිළිබඳ පූර්ණ අත්පොතක් බඳු ඔහුගේ දිවිසැරිය නුවණැසින් විමසීම සකලාංගයන්ගෙන්ම විනාෂයේ මුව දොරට පැමිණ ඇති අද දවසේ ඉතා වැදගත් යයි මම සිතමි. අම්මාගේ හඬින්ම නෙලුම් කවි අසන්නට පුලුවන් වූ , ගෙයි ඉදිරිපිට රජමහා වෙහෙරේ වාර්ෂික සූවිසි විවරණ පුජාවේ නර්තන ගායන ලීලා දවස් හතක් පුරා වාර්ෂිකව රසවිඳි මට ජන සංගීතයේ සම්භාව්‍ය මුහුණුවර මුණ ගැසෙන්නේ ගුවන්විදුලියේ මියැසිය හා සී.ද එස්.කුලතිලක වැනි බහුශ්‍රෘතයන්ගේ වැඩ සටහන් ඔස්සේය. පසුකාලීනව මකුලොලුව ශූරීන්ගේ දෙපානෝ යූ ටියුබ් පිටපතක් බැලූවිට එහි ගැබ් වූ සංගීත හා නර්තන සංකලනයෙන් පමණක් නොව එහි අන්තර්ගතය හෙබියාවූ මානව සංහිඳියාවෙන් මම විශ්මයට පත්වීමි. පළමුවරට මකුලොලුව ශූරීන්ගේ දිවිසැරිය හා මෙහෙවර පිළිබඳ මා දැන ගත්තේ මගේ දීර්ඝකාලීන කොළඹ නවාතැන වූ පියසේන ගුණතිලක නිවසට පැමිණි සෝමබන්ධු රවිබන්ධු විද්‍යාපති පියපුතුන්, චිත්‍රසේන, චන්ද්‍ර ගුණසේකර, පියසේන ද කොස්තා, උපාලි වනසිංහ , දයා රණවීර , දයානන්ද ගුණවර්ධන ආදී මහා මිනිසුන් ඇසුරෙනි. එදා මං ඒ හෘදයංගම සම්භාෂණ අසා සිටි ශ්‍රාවකයෙකු පමණක් වීමි. සැබැවින්ම මගේ ළමා වියේ ජන ගී හා ජන රංගය පිළිබඳ අත්දැකීම නව ඉසව්වක් වෙත මගේ රසඥතාවය නංවාලීමට මෙම සම්භාෂණ බෙහෙවින් වැදගත් විය.
මකුලොලුව මෙහෙවර පසුකාලීනව නව පරම්පරාවන්ට නොපැවරීම අපේ සංස්කෘතික අබ්බගාත බවේ එක් හේතු කාරකයකි. මකුලොලුව මෙහෙවරෙහි දැවැන්ත සහායකයෙකු වූ රෝහණ බැද්දගේ වියත්මග රැස්වීමක තම අගනා ගීතයක් විරුද්ධ දේශපාලන චරිතවලට එරෙහි වචන එකතු කොට හාස්‍යය සඳහා ගයද්දී මට සිතුනේ පිළිසරණක් නැති මකුලොලුව මෙහෙවර රජ ඇඳුම් පිටින්ම අසරණව සිටින අයුරකි.
ප්‍රබල කලාත්මක දැනුම පිටුපස ප්‍රබල පෞරුෂයක් තිබුණහොත් පමණක් ඔහු කරන කාර්්‍යය සාර්ථක ඉමක් කරා ගෙන ගිය හැකිය. අනෙකුත් ජන සංගීත පර්යේෂකයන් අබිබවා මකුලොලුව මෙහෙවර කැපී පෙනෙන්නේ එහෙයිනි. ඔහු ජන සංගීතය විෂයෙහි පමණක් නොව අනෙකුන් කලාවන් පිළිබඳ බහු පාර්ශ්වීය දැනුමකින් හෙබියේ විය. ඔහු ඉංග්‍රීසි ඇතුලු ඉන්දියානු භාෂා කිහිපයක් දැන සිටියේය. රාගධාරි සංගීතය රබීන්ද්‍ර සංගීතය, කථකලි හා මනිපුරි නර්ථනය හා එස්රාජ් හා සිතාර් වාදනය එතුමන් ශාන්ති නිකේතනයෙන් උගත්තේය. ඒ රංගම ගුණමලා හා නිත්තවෙල ගුණයාගෙන් උගත් සිංහල පාරම්පරික නර්තනයට අමතරවය.
ඔහු විසින් පරිපාලකයෙකු ලෙස ජන සංගීතය හා ජන නර්තනය මෙරටෙහි ව්‍යාප්ත කිරීමට දරන ලද වෙහෙස සුළුපටු නොවේ. එදා මෙදා තුර ජන ගි ය පිළබඳ ව ලියවුණු විශිෂ්ටම හා පුරෝගාමී පර්යේෂණ කෘතිය මකුලොලුව මහතා විසින් ලියන ලද ‘හෙළ ගී මග’ යයි මම විශ්වාෂ කරමි.
මකුලොලුව මහතාගේ ජන්ම ශත සංවත්සරය එළඹෙන්නේ ජාතික යයි කියන සෑම දෙයමත්, විශේෂයෙන් එහි අශ්පර්ෂණීය උරුමයන් විකාරයට පත් කිරීම මගිනුත් විනාෂ වූ අවධියකය. දේශීයත්වයට හා ජාතිකත්වයට දරා ගත නොහැකි තරම් ‘ජාතික චින්තනය’ වැනි න්‍යායන් ගොඩ නැගීම මගින් එයට උරුම සරලත්වය පිටමං කෙරිණි. මකුලොලුව, සරච්චන්ද්‍ර දයානන්ද ගුණවර්ධන ආදීන් විසින් මහජන සම්ප්‍රදාය තුල තිබුණු යම් දෙයක් කලාත්මක හා සංස්කෘතික අරුතකින් මතු කොට ජන ගීය, ජන සංගීතය ,ජන කලාවන් ආදි වශයෙන් පොදු කලාත්මක නිර්මාණ වේදය තුලට ඇතුලත් කෙරිණි. ඒ සරල එහෙත් ජනවිඥානය අරා සිටි ජන කලාවන්ට ජාතිවාදයේ කටුවක් සවි කිරීම මගින් ඒ කටුව තුල හිරවී හුස්ම පොදක් නැතිව ඒවා මියෑදෙමින් තිබේ. එයට හුස්ම පොදක් දිය හැකි මකුලොලුව වැනි වෙදදුරන් අද නැත.
අද අපේ ගම්වල ජන කලාවන්ට අයත් කිසිවක් සජීවීව නැත. ගුවන් විදුලිලිය වැනි තැන්වලවත් ඒ ගැන උනන්දුවක් නැත. ජාතික උරු මයන් රකිනවා යැයි කියන ඇත්තෝ රජගෙදර අවට සැරිසරති.
– චන්ද්‍රරත්න බණ්ඩාර

Leave a Reply

Your email address will not be published.