ලොහාන්ට මොකද වුණේ? – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක් !

රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී එහි සිටි රැඳවියන් පිරිසකට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය 15දා කැඳවිණි. මේ පෙත්සම විභාගයට ගැනීම සඳහා දැනටමත් අධිකරණය මගින් නොතීසි නිකුත් කර තිබෙන අතර, මේ නඩුවට පාදක වන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත මීට පෙර නියෝගයක් ද නිකුත් කර තිබිණි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් එම පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමක් සිදුකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ විමර්ශනයේ වත්මන් ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කළේය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.