හැටන් නැෂනල් ශූරියෝ නෙට්බෝල් කිරුළ දිනති

ඩයලොග් අනුග්‍රහය ඇතිව පැවති ජාතික නෙට්බෝල් ශූරතාවලියෙදි නාවික හමුදාව දෙවන තැනට ඇද දමමින් හැටන් නැෂනල් ක්‍රීඩිකාවෝ ශූරියෝ වූහ. මෑත කාලයේ සෙලාන් බැංකුවට සහ හැටන් නැෂනල් බැංකුවට වැඩි අවස්ථා ගණනාවකදී ජාතික නෙට්බෝල් ශූරතාවලියේ ශූරතාවය සහ අනුශූරතාවය හිමිවීම සාමාන්‍ය තත්ත්වයක් වුව ද, මෙවර තරග කාල සටහනට අනුව සෙලාන් බැංකු කණ්ඩායම සහ හැටන් නැෂනල් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයේදී මුණ ගැසිණි.                    

එහිදී සිය සුපුරුදු ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් දෙන්නට සෙලාන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. නමුත් ලකුණු 37 – 31 ලෙස හැටන් නැෂනල් ක්‍රීඩිකාවෝ තරගය ජයගත් බැවින් සෙලාන් කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිස තරගාවලියේ තෙවන ස්ථානයට හෝ තරග වදින්නට අවස්ථාව අහිමි විය. අවසාන තරගයේදී සෙලාන් කණ්ඩායම පරාජය කළාට වඩා පහසුවෙන් නාවික හමුදාව පරාජය කළ හැටන් නැෂනල් ක්‍රීඩිකාවෝ අවසන් ලකුණු සටහන ලකුණු 61 – 48 ක්ව තිබියදී තරගය නිමා කළහ. නමුත් ජාතික කණ්ඩායමේ තමන්ට පැවරෙන කුමන හෝ වගකීමකට උපරිම සාධාරණය ලබා දෙන්නට උත්සාහ කරන ක්‍රීඩිකාවක් ලෙස ප්‍රකට, මෙවර තරගාවලියේ දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව වූ දුලංගි වන්නිතිලක වැනි ක්‍රීඩිකාවන්ගේ මැදිහත්වීම නිසා හැටන් නැෂනල් ක්‍රීඩිකාවන් යම් නොසිතූ පීඩනයකටද අවසාන තරගයේදී හසු වූ බව පෙනිණි. මේ තත්ත්වයට සාපේක්ෂව අවසාන තරගයේ පළමු කාර්තුව අවසන් වූයේ හැටන් නැෂනල් කණ්ඩායම ලකුණු 13 – 14 ක් ලෙස නාවික හමුදාවට වඩා ලකුණකින් පසුපසින් සිටිමින්ය. දෙවන කාර්තුව ජය ගත්තද එයද ලකුණු 15 – 12 ක් වූ අතර නමුත් අවසන් කාර්තු දෙකේදී පළපුරුද්ද විසින් උරුමකර දුන් තරගයේ රැඳී සිටිමින් දරා ගැනීමේ හා තරගය මානසික ඒකාග්‍රතාවය සුරැක ගනිමින් පවත්වා ගැනීමේ හැකියාව ප්‍රකට කරමින් තෙවන හා සිව්වන කාර්තුවලදී හැටන් නැෂනල් ක්‍රීඩිකාවෝ තරගයේ ජය තමන් දෙසට හරවා ගත්හ.     

වරාය අධිකාරි කණ්ඩායමේ පළපුරුද්ද  අභියෝගයට ලක් කරමින් හපන්කම් පෑ කුරුණෑගල ක්‍රීඩිකාවන් සියුම් වුවද තෙවැනි තැන දිනා ගන්නට පෑ හැකියාව අතිවිශිෂ්ටය. ලකුණු 34 – 33 ක් ලෙස ඔව්හු වරාය ක්‍රීඩිකාවෝ පරාජය කළහ. ඒ වෙනුවෙන් ආරක්ෂක පෙළ ශක්තිමත් කළ සෙත්මි ධනෝෂි තරගාවලියේ හොඳම රකින්නිය ලෙස ඇගයීමට පාත්‍රවීමද කුරුණෑගල කණ්ඩායම ලැබූ ජයකි. හැටන් නැෂනල් කණ්ඩායමේ ජාතික ශූරතාවය වෙනුවෙන් ලබාගත් ලකුණු සඳහා නිවැරදිව කළ විදීම් අනුව දර්ශිකා අබේවික්‍රම දක්ෂතම විදින්නිය වූවාය. ගයන්ජලී අමරවංශගේ ක්‍රීඩා විලාශය හැටන් නැෂනල් ජයට ඉවහල් වූ පරාසයේ පුළුල් බව සලකා, ඇය මෙවර ජාතික ශූරතාවයේ නෙට්බෝල් රැජිණ ලෙස අභිෂේක ගැන්වූවාය.                         

අයහපත් කාලගුණ තත්ත්වය මත මෙවර ජාතික නෙට්බෝල් ශූරතාවලිය පවත්වන්නට නියමිතව සිටි අනුරාධපුරයෙන් මහනුවරට පැමිණි අතර ඒ අනුව ජාතික නෙට්බෝල් ශූරතාවලිය මෙවර පැවත්වුණේ මහනුවර සහ දිගන කේන්ද්‍ර කර ගනිමින්ය. අනුරාධපුරයෙන් හදිසියේ ජාතික නෙට්බෝලයේ අවශ්‍යතාවයක් ලෙස සලකා මහනුවරට සපැමිණි ජාතික ශූරතාවලිය සංවිධානය මහනුවර, මාතලේ සහ නුවරඑළිය නෙට්බෝල් සංගම් මත කඩා පාත් වූ අභියෝගයක් මෙන්ම ආශිර්වාදයක් ද විය.                    

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉනික්බිති ජගත් ⁣ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් ක්‍රීඩාව වන නෙට්බෝල් ජාතික තරගාවලිය සුපිරිම පහසුකම්වලින් තෘප්තිමත් කිරීමට අපොහොසත් වුව ද, ගෘහස්ත ක්‍රීඩා පිටිවලට රැගෙන එන්නට හැකිවීම සාධනීය තත්ත්වයකි. යම් මට්ටමක ජාත්‍යන්තර වටිනාකමක් සහිත ආසියාවේ ඉහළම නෙට්බෝල් ක්‍රීඩිකාවන් පිරිසක් සිටින රටක් හැටියට නිරන්තරයෙන් පත්වන ඕනෑම පරිපාලනයක් ජාතික ශූරතාවය ගෘහස්ථ පිටියකට රැගෙන යායුතු බවට සංස්කෘතිකමය බලපෑමක් ඇති කිරීමට නෙට්බෝල් පරිපාලනයේ සුක්කානම දරන්නිය ලෙස ලක්ෂ්මි වික්ටෝරියා ලබා දුන් නායකත්වය ද මේ මොහොතේදී අගය කළ යුතුය. එවැනි යහපත් රැළිමත ලංකාවේ නෙට්බෝල් ඉහළ රැඳෙන අවස්ථාවන් පිළිබඳව යම් ඉදිකිරීම් මීට ඉහතද අප දැක ඇත. එහෙත් ඒවා රැළි බසින අයුරෙන්ම බැස ඇතැම් අවස්ථාවන් හී දී සේදී ගොස් ලංකාව දරා සිටින ආසියානු නෙට්බෝල් ආධිපත්‍යයද බරපතළ ආකාරයෙන් විනාශ වෙනු අප දැක ඇත. ඒ නිසා තරගාවලියේ යහපත් ලක්ෂණ නිවැරදිව අවබෝධ කර ගනිමින් එය ලාංකේය නෙට්බෝල් පරිපාලන සංස්කෘතියට අදාළ ස්ථීර වැඩ පිළිවෙළක් කර ගැනීමට බලයේ සිටින සහ ඊට ඉව අල්ලන පාර්ශ්වයන් සිත් හි දරාගත යුතුය. එමෙන්ම සංවිධානය සම්බන්ධයෙන් ස්වයං විවේචනයක යෙදෙමින් අයහපත් දේ බැහැර කිරීමට සහ හඳුනා ගැනීමද පරිපාලනය විසින් සිදුකළ යුතුය. එයද ලංකාවේ නෙට්බෝල් ක්‍රීඩාවේ හෙටට හිතසුව පිණිස වනු ඇත.

නිශ්මං රණසිංහ

සබැඳි

Leave a Reply

Your email address will not be published.