මම මේ දේ කරන්නේ මගේ පුතා වෙනුවෙන්

Fight Cancer Team හි

ඵම්.එස්.එච්. මොහොමඞ්

පිළිකා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන මෙරට එකම ජාතික රෝහල වන්නේ මහරගම අපේක්ෂා රෝහලයි. වසරකදී ලක්ෂයක් ඉක්මවා විවිධ වර්ගයේ පිළිකා රෝගීන් සිටින රටක මේ රෝහලෙහි ඇත්තේ දිනකට රෝගීන් තුන් දහසකට පමණ ප්‍රතිකාර පහසුම් සැපයීමේ හැකියාවකි. ඒ අතර මූලික අත්‍යවශ්‍ය පරීක්ෂණ උපකරණ හිඟයකින් රෝහල පීඩා විදියි. රෝහල සතු නොවූ පෙට් ස්කෑනර් යන්ත්‍රයක අවශ්‍යතාව දුටු පුද්ගලයෙකු ඒ සඳහා ක්‍රියාත්මක වූයේ සිය දහ අට හැවිරිදි පුත් පිළිකා රෝගයෙන් ජීවිතය හැර යාමේ වේදනාව හේතුවෙනි. ඒ පියා ගේ නම එම්.එස්.එච්. මොහොමඞ්ය. ඔහුට අහිමි වූ දහ අට හැවිරිදි පුතා මොහොමඞ් හුමේනිය.  

හු සහ කණ්ඩායම හඳුන්වනු ලබන්නේ Fight Cancer Team නමිනි. පසුගියදා මොහොමඞ් ප්‍රමුඛ මේ කණ්ඩායමට එරෙහිව මූල්‍ය සැකයකින් යුතුව චෝදනා එල්ල විය. එය එල්ල කරනු ලැබුයේ මහරගම අපේක්ෂා රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක විසිනි. වෛද්‍ය වසන්ත දිසානායක වෙතින් මේ චෝදනා පිළිබඳව දැන ගැනීමට අවශ්‍ය වුවත් පත්‍රය මුද්‍රණයට යන අවස්ථාව වනතුරු ඔහු සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහයන් සාර්ථක නොවීය. ඔහු සම්බන්ධකර ගැනීමට ඔහුගේ මුහුණු පොතෙහි මේ ලියුම්කරු විසින් සටහනක් තැබුවද එයටද පිළිතුරක් නොවිය. අවසානයේ අප විසින් අදාළ චෝදනා සම්බන්ධව ත්‍සටයඑ ක්‍්බජැර ඔැ්ප හි එම්.එස්.එච්. මොහොමඞ් වෙත අපේ ප්‍රශ්න ඉදිරිපත් කළෙමු.

ඔබ පිළිබඳව සහ ඔබ ඇතුළු කණ්ඩායමක විසින් පවත්වා ගෙන යන Fight Cancer Team වෙත බරපතළ ගනයේ චෝදනා එල්ල වෙනවා. ඒ තමයි ඔබ කණ්ඩායම, විශේෂයෙන් ඔබ පුද්ගලයෙක් විදිහට එක්තරා ආකාරයකට මුදල් වංචාවක් සිදුකරන බවට. ඒ චෝදනාව එල්ල කර තිබෙන්නේ මහරගම අපේක්ෂා රෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයා විසින්. එනිසාම එය බරපතළ චෝදනාවක්?

මට අවස්ථාවක් දෙන්න අපේ අරමුණෙ ඉතිහාස කතාව කියන්න.

මට පුතෙක් හිටියා. එයා එයාගේ ජීවිතයේ හොඳම කාලේදී අපිව අත්හැරලා ගියා. එයා අපෙන් යනකොට එයාට වයස අවුරුදු 18යි. පුතා නැතිවුණේ පිළිකා රෝගයකින්. මම ව්‍යාපාරිකයෙක්. මගේ පුතාගේ ජීවිතය බේරගන්න මම කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. හැම හොඳ ප්‍රතිකාරයකටම වගේ හැම හොඳ වෛද්‍යවරුන්ට පුතාව පෙන්නුවා. අපි පවුලක් විදිහට පුතාගේ රෝගය එක්ක සටන් කළා. අවසානයේ පුතා අපිව අත්හැරලා ගියා.

මම මගේ පුතත් එක්ක මහරගම අපේක්ෂා රෝහලේ ලබාදෙන ප්‍රතිකාර පිළිබඳව අත්දැක්කා. ඒ වගේම දවසකට අඩුම තරමින් ප්‍රතිකාර ගන්න නේවාසික රෝගීන් තුන්දාහකගේ ජීවිත පිළිබඳව දැක්කා. අපි සාමාන්‍යයෙන් කියන දෙවිවරු වගේ වෛද්‍යවරු දැක්කා. ඒ එක පැත්තක්.

අනෙක් පැත්ත තමයි ලංකාවේ තියෙන පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන එකම රෝහලේ තියෙන අඩුපාඩු. පුතෙක් අහිමි වුණු තාත්තා කෙනෙක් විදිහට ඒ අඩුපාඩු අවම කරන්න මට ඕන වුණා. අපිව අත්හැරලා යන්න කලින් මගේ පුතා මට කිව්වා “තාත්තේ අපි හොස්පිට්ල් එකට පෙට් ස්කෑනර් එකක් අරන්දෙමු” කියලා.

මගේ පුතා සනීප කරගන්න මම මගේ පුතාව අරගෙන විදේශ වලටත් ගියා. මම දැක්කා ඒ රටවල රෝහල්වල තියෙන නූතන තාක්ෂණික උපකරණ. ඒවා මේ රෝගීන්ගේ රෝග නිශ්චයට වගේම රෝගයට එරෙහිව ප්‍රතිකාරයන්ටත් මොන තරම් වැදගත්ද කියලා මම දෑහින් දැක්කා. ඒත් ඒ එකක්වත් මහරගම අපේක්ෂා රෝහලේ නැහැ. අපිට තේරුණු හැටියට ඒ කිසිම තාක්ෂණික උපකරණයක් අඩුම තරමින් තව අවුරුදු 25කට වත් මහරගමට එන්නේ නැති බව අපි දැක්කා.

ඒ නිසාම දරුවෙකු අහිමි වීමෙන් තාත්තා කෙනෙකුට දැනෙන දුක වේදනාව තනිකම වෙනුවට මම හිතුවා මගේ පුතා වගේ රෝගීව ඉන්න ලක්ෂ ගණනක පිළිකා රෝගීන් වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මොකක්ද කියලා.

සමහර අය කරනවා වගේ මගේ පුතාගේ උපන් දිනය දවසට හෝ එයා අපිව දාලා ගිය දවස සිහිවෙන්න මුළු අපේක්ෂා රෝහලේම නේවාසිකව ඉන්න රෝගීන්ට දානයක් දෙන්න අපිට පුළුවන්. එහෙමත් නැත්නම් පුතාගේ නමින් රෝහල් කාමරයක් නම් කරලා ඒක ටයිල් කරලා සකස් කරලා දෙන්න අපිට පුළුවන්කම තිබුණා. ඒත් අපි හිතුවේ වෙන දෙයක්.

අපි පවුලක් විදිහට වින්ඳ අපහසුකම් වෙනත් දරුවෙකුට වෙනත් පවුලකට වෙනත් රෝගියෙකුට අත් නොවෙන්න අපිට කළ හැකි දේ අපි කල්පනා කළා. ඒ නිසයි අපි අපේක්ෂා රෝහලට පෙට් ස්කෑනර් යන්ත්‍රයක් අරන් දෙන අරමුදල ගැන හිතුවේ.

■  ඇයි පළමු පියවරේදී පෙට් ස්කෑනර් යන්ත්‍රයක්ම අරන් දෙන්න හිතුවේ?

මගේ පුතා පිළිකාවෙන් අවුරුදු පහක් රෝගීව හිටියා. මම අවුරුදු දෙකක් පුතාට විදේශවල ප්‍රතිකාර කළා. අවුරුදු තුනක් අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර කළා. ඒ නිසාම මම මේ තැන් වල වෙනස දැක්කා. පරීක්ෂණ උපකරණ සහ පරීක්ෂණ අතින් ගත්තොත් විදේශයන්ට සාපේක්ෂව අපි ඉන්නේ ගල් අඟුරු යුගයේ. අපි 2015 මහරගමට යනකොට ඒකේ පෙට් මැෂින් එකක් තිබුණේ නැහැ. තියෙන ක්‍ඔ ස්කෑනර් එක අවුරුදු විස්සක් පරණයි. අදටත් මහරගම ඵඍෂ එකක් නැහැ. ජෙනටික්ස් ලැබ් එකක් නැහැ.

රෝගියෙකුට කරන්ට් අල්ලන්න මාස තුනක් හතරක් පෝලිමේ ඉන්න වෙනවා. හෝමෝ තෙරපි යන්ත්‍රයක් නැහැ. නැති දේවල් ලිස්ට් එක බොහෝම දිගයි. ඒ වගේම ඒවා සාමාන්‍යයෙන් පිළිකා රෝහලකට අවශ්‍ය මූලික දේවල්.

හැබැයි මේ අඩුපාඩු අතරේ ඉතාමත් දක්ෂ වෛද්‍යවරු තුන්සීයක් විතර රෝහලේ සේවය කරනවා. රෝගීන්ට අවශ්‍ය කරන ඖෂධ බොහොමයක් නොමිලේම ලැබෙනවා.

මේ අවශ්‍යතා ලේඛනය බොහෝම දිගයි. පුතාට ප්‍රතිකාර කරද්දී මම පුතාගේ පෙට් ස්කෑනින් රිපෝර්ට් එක ගත්තේ පිටත පෞද්ගලික රෝහල් වලින්. එක පාරක් රිපෝර්ට් එකක් ගන්න යන වියදම එක් ලක්ෂ හැත්තාදහයි. පුතාට ඒ වගේ පෙට් රිපෝර්ට් හතක් ගන්න වුණා. ඒ නිසා සාමාන්‍ය පවුලක පිළිකා රෝගියෙකුට වෙන්නේ මොකක්ද කියලා මට තේරුණා. එකම ඉරණමක් විතරයි ඒ අයට තෝරා ගන්න තිබුණේ. ඒ තමන්ගේ රෝගියාව තමන්ට සල්ලි නැතිනිසා පරීක්ෂණයක් කරගන්න බැරුව මැරෙන්න අත්හරින එක. මම මගේ ඇස් දෙකින් දැක්ක මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙන හැටි.

මේ දේවලුත් මගේ පුතාගේ ඉල්ලීමත් නිසයි අපි පෙට් ස්කෑනර් එකක් ලබා දෙන්න තීරණය කළේ. ඒක ටිකක් ලොකු අභියෝගයක්. ඒත් සමූහයක් විදිහට අපි ඒ අභියෝගය ජය ගත්තා. අපි මාස තුනක් ඇතුළත ඒ මුදල එකතු කළා.

අපි මේ පෙට් එක භාවිතය පුරුදු කරන්න වෛද්‍යවරු නම දෙනෙක් ඇමරිකාවට යැව්වා.

මම ඔබට කියන්නම් මේකේ තියෙන වේදනාත්මක කතාව. අදටත් අපි පරිත්‍යාග කරපු මේ මැෂින් එකෙන් ප්‍රයෝජනය ගන්නේ සතියට එක දවසයි. වෛද්‍යවරු නව දෙනෙක් පුහුණු කරලා තිබුණත් සිකුරාදා විතරයි මේ මැෂින් එකෙන් රිපෝර්ට් ගන්නේ. අනෙක් දවස් වල වැඩ කරන්නේ නැහැ. පොරොත්තු ලේඛනයේ ඉන්න අය නිසා අනෙක් අය වෙනදා වගේම පිටත පෞද්ගලික රෝහල්වලින් අර මුදලම ගෙවලා පෙට් ස්කෑනින් රිපෝර්ට් ගන්නවා. ඒ නිසා මිනිස්සු මැරිලා යනවා.

■  ඒත්, පෙට් ස්කෑනර් කියන්නේ ප්‍රතිකාරයක් නෙමෙයි නේ?

හරියට හරි. මේක හරියට උණ කටුවක් වගෙයි. මොකද මේකෙන් කරන්නේ රෝගය හඳුනා ගැනීමයි පසු විපරම් නිරීක්ෂණයයි. ඒ දෙකම නොවන තැනකදී රෝගියෙකුට මරණය හැර වෙන මොකක්ද ඉතුරු වෙන්නේ?

රෝගීන්ගේ පෙට් රිපෝර්ට් එකක් ගෙන්න කිව්වහම ඒ මුදල හොයන්න තමන්ගේ කනකර, තමන්ගේ ත්‍රි වීල් එක, තමන්ගේ ඉඩම කඩම උකස් තියන මිනිස්සු මම මහරගමදී දැක්කා.

■  ඉතින් ඇයි මේ දුන්න පෙට් ස්කෑනර් එකෙන් නිසි ප්‍රයෝජන ගන්නේ නැත්තේ?

දැන් වෛද්‍ය සේවය කියන්නේ මාෆියාවක්. ඒක ලොකු වෙ‍‍ළෙඳ ඒකාධිකාරියක්. සමහර විට – මම ඒ වචනය අවධාරණය කරනවා – සමහරවිට පිටතින් ස්කෑන් රිපෝර්ට් එකක් ගනිද්දී ඒ සඳහා නිර්දේශ කරන වෛද්‍යවරයාට හෝ වෛද්‍යවරියට කිසියම් කොමිස් මුදලක් ලැබෙනවා ඇති. සමහර දේ මම ඇස් පනාපිට දැක්කා. සමහර දේ මට දැනුණා. තවත් දේ හැඟුණා. මගේ චෝදනාව හෝ දොස් පැවරීම සමස්ත වෛද්‍යවරුන්ට නෙමෙයි සමහර දෙනෙකුට විතරයි.

■  හොඳයි දැන් ඔබට එල්ල වන චෝදනා ගැන උත්තර දෙන්න..?

මම මේ කිසිම දෙයක් නොකර පැත්තකට වෙලා මගේ ව්‍යාපාර කරගෙන මගේ පුතා වෙනුවෙන් ආගමික කටයුත්තක් කරලා හිත හදාගෙන ඉන්න තිබුණ තාත්තා කෙනෙක්. ඒත් මගේ පුතා අපිව අත්හැරලා ගියේ සල්ලි වලට වඩා වෙනස් දෙයක් තියෙනවා කියලා අපේ ජිවිත වලට කියා දීලා. මට හැඟුණ විදිහට ‘පුරවැසි වගකීම’ කියන්නේ මගේ පුතා මට පෙන්නපු ඒ වෙනස් දේ.

■  ඔබ ඇතුළු Fight Cancer Team විසින් අරමුදල් එකතු කරන ලංකා බැංකුවේ මහරගම ශාඛාවේ අංක 71275069 කියන ගිණුම මොකක් ද?

ඔබට ඔය ගිණුම් අංකය විතරක් කවුරු හරි දෙන්න ඇති. මම ඔය ගිණුමේ ඉතුරු විස්තරයත් කියන්නම්.

අපි කණ්ඩායමක්. අපි 1,500ක් විතර Fight Cancer Team එකේ ඉන්නවා. ඒ අය අතරින් සියයට 75ක් සිංහල බෞද්ධ. ඉතුරු සියයට 25 අනෙක් සියලුම ආගම්වලට සහ ජාතිවලට අයිතියි අය. අපිට රටවල් හයක ශාඛා තියෙනවා.

ඔබ ප්‍රශ්න කරන ගිණුම ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට(NHDF) අයත් ගිණුමක්. එය අයිති සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි ක්‍රියාත්මක කරන මේ ව්‍යාපෘති දෙකට අදාළව ලක්ෂ දෙකකට වැඩි දෙනෙක් මුදල් තැම්පත් කරලා තියෙනවා. ඒ අය අතර සියලුම ආගමිකයන් සියලුම ජාතීන් ඉන්නවා.

■  කවුද මේ ගිණුමේ අත්සන්කරුවෝ?

මට තියෙන ප්‍රශ්නය තමයි ඇයි ඔබට වගේම රටටත් මේ ගිණුම ගැන කියන අය ඔය ඔබ මගෙන් අහපු තොරතුරු නොකියන්නේ කියන එක.

මේ ගිණුමේ බලධාරීන් තුන් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී. අනෙක් කෙනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්. තුන්වෙනියා අධ්‍යක්ෂ සේවා.

■  එම්.එස්.එච් මොහොමඞ් කියන ඔබට මේ ගිණුම හා සම්බන්ධ හිමිකම මොකක්ද?

කිසිම හිමිකමක් නැහැ. කිසිම අයිතියකුත් නැහැ. අඩුම තරමේ මට ඔය ගිණුමේ බැලන්ස් එකවත් බලන්න බැහැ.

■  ඔබ කියන ‘පුරවැසි වගකීම’ වෙනුවෙන් වැඩ කරද්දී මොකටද මේ තරම් පරිස්සම් වුණේ?

ඒකත් වගකීමේම කොටසක්. අපි උත්සහගත්තේ මේ ව්‍යාපෘතියට තමන්ගේ මුදල් පරිත්‍යාග කරන අයගේ විශ්වාසය රකින්න. මොහොමඞ් කියන මගේ නමට හරි අපේ කණ්ඩායමේ කාගේ හරි නමට හරි ගිණුමක් ඇරලා සල්ලි දාන්න කියනවට වඩා අපිට ඕනේ වුණේ මේ ව්‍යාපෘතිය වඩාත් විශ්වසනීයත්වයකින් පවත්වන්න.

■  එහෙම නම් ඔබට සහ ඔබ කණ්ඩායමට තිබුණ නේ මහරගම අපේක්ෂා රෝහලේ ගිණුමටම මේ මුදල් බැර කරන්න කියලා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලන්න?

ඒක පොදු ගිණුමක්. ඒ ගිණුම නිශ්චිතව මේ අරමුණ වෙනුවෙන් පවත්වාගෙන යන ගිණුමක් නෙමෙයි. අපේ ඉලක්කය වුණ උපකරණ ගැනීම වෙනුවට රෝහල් අධ්‍යක්ෂවරයාට රෝහලේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් වුණත් ඒ මුදල් යොදවන්න පුළුවන්. ඒ නිසයි අපිට පාලනය කරන්න බැරි ඒ වගේම වෙනත් කටයුත්තකට යොදවන්න බැරි ගිණුමක් මේ කාරණය වෙනුවෙන් ආරම්භ කළේ.

■  කොහොමද අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිනම සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් එක වරම මේ ගිණුමේ තැන්පත් වුණේ?

ඔබ මොන අර්ථයෙන් ඔය ප්‍රශ්නය නැගුවත් ඔය චෝදනාව නගන මම දන්නා එකම එක පුද්ගලයා ඔය චෝදනාව නගන්නේ Fight Cancer Team එකේ යම් ආකාරයකට මූලිකත්වය අරගෙන වැඩ කරන මගේ නම එම්.එස්.එච්. මොහොමඞ් නිසයි. තේරෙන භාෂාවෙන් කිව්වොත් මම මුස්ලිම් ජාතිකයෙක් වීම නිසයි. ඔහු මේ අවුළුවන්න උත්සාහ කරන්නේ ජාතිවාදය. ඒ නිසයි බැලූ බැල්මට ඕනෑම කෙනෙකුට සැකයක් ඇතිවෙන දිනයක් වන අප්‍රේල්  22 වන දින තැන්පතු ගැන කියන්නේ.

ඇත්තටම අප්‍රේල් 22වන දින ඔය කියන ගිණුමට අටදහස් හයසිය හතලිස් අට(8648) දෙනෙකු මුදල් තැන්පත් කරලා තිබුණා. ඒ මුදල රුපියල් දෙකෝටි නම ලක්ෂ තිස්පන්දහස් හයසිය අනු හතරයි ශත හැත්තෑ පහයි (20,935,694.75).

අප්‍රේල් 22 මේ කියන මුදල ගිණුමට එන්නේ දවස් හතරක බැංකු නිවාඩුවකින් පස්සේ. අප්‍රේල් 19 සිකුරාදා දවසක්. එදා මහ සිකුරාදා දවස නිසා බැංකු නිවාඩු. 20 සෙනසුරාදා දවසක් බැංකු නිවාඩු. 21 ඉරිදා බැංකු නිවාඩු. ඊට පස්සේ 22 ගිණුමට මේ කියන මුදල එනවා. ඒ කියන්නේ දවස් හතරක මුදල්. 19 සිට 21 දක්වා සතයක්වත් මේ ගිණුමට තැන්පත් වෙලා නැහැ. සාමාන්‍යයෙන් මේ ගිණුමට දවසකට 1,500ත් 2,000ත් අතර දෙනෙක් මුදල් තැන්පත් කරනවා. ඒ අනුව බලද්දී මේ තැන්පතු සංඛ්‍යාව සාමාන්‍ය ප්‍රමාණයක්.

■  ඔබ කොහොමද ඔබේ නොවන බව කියන ගිණුමක ගණන් හිලව් හරි ශතයට කියන්නේ?

ඒකත් ප්‍රශ්නයක් තමයි නේද? ගිණුම අපේ නොවුණට ගිණුමේ විස්තර ඒ රෝහල් ගණකාධිකාරිවරිය අපිට දෙනවා. ඒකට හේතුව තමයි මේ ගිණුමට මුදල් තැන්පත් කරන්න අපි විසින් වැඩ කිරීම. අපි තමයි මේ ගිණුමේ අරමුණ වෙනුවෙන් වැඩ කරලා මේ ගිණුමට පරිත්‍යාගශීලීන්ගේ මුදල් තැන්පත් කරවා ගන්නේ.

■  ඔබේ කියන විදිහට මේ තරම් ‘සුපිරිසිදු ව්‍යාපෘතියකට’ ඇයි හිටිහැටියේම රෝහලේ අධ්‍යක්ෂවරයා මෙලෙස බරපතළ ලෙස චෝදනා නගන්නේ?

මම හිතන්නේ ඒකට උත්තර දෙන්න ඕනේ මමවත් අපේ Fight Cancer Team එකවත් නෙමෙයි, එතුමාගේ හෘදය සාක්ෂිය. අපි සම්බන්ධ මේ කියන චෝදනා සම්බන්ධව පරීක්ෂණයක් කරන ඕනෑම කණ්ඩායමකට අපි ලෑස්තියි ඒ සඳහා සහය දෙන්න. ඒ අතර අපි මේ වැඬේ කරගෙන යනවා. ඔය කියන අධ්‍යක්ෂ වෛද්‍යවරයා මට ‘තම්බියා’, ‘හම්බයා’, ‘ඌරා’, ‘සූකරයා’, ‘හරක් මරණ එකා’…. ආදී වශයෙන් බොහෝ අපහාසාත්මක චෝදනා නගලා තිබුණා. අප්‍රේල් 22 තැන්පත් මුදල් ප්‍රමාණය ගැන කියමින් වහෙන් ඔරෝ කියලා තිබුණේ මොකක්ද කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. ඒත් ඔබ විශ්වාස කරන්න මාවත් අපේ Fight Cancer Team එකත් ආරක්ෂා කරමින් අපිට සහාය දුන්න අය 99.99%ක් ම සිංහල බෞද්ධයෝ. ඔබ බලන්න මේ සම්බන්ධව ෆේස් බුක් සටහන්. කිසිවෙක් මේ කියන චෝදනා ගැන විශ්වාස කරන්නේ නැහැ. හැමෝම හිටියේ අපේ පැත්තේ.

මේ නිසාම අපිට අලුත් ධෛර්යක් ආවා. දැන් අපේ ඉලක්කය මගේ පුතාගේ ජීවිතය බේරගන්න බැරි වුණු මහරගම අපේක්ෂා රෝහල 2025 දී දකුණු ආසියාවේ පිළිකාව සම්බන්ධව සේවා සපයන දියුණුම රෝහල බවට පත් කරන එක.

■ සංවාද සටහන

  සිසිර යාපා

සබැඳි

Leave a Reply

Your email address will not be published.