ආයුබොවන්ඩ වෙල්ලස්ස ජනතාවනි..,

තමුන්නැහැලා අවුරුදු ගණනාවක ඉඳන් අල්ලන හෙයියන්මාරුව දැන් බොහොම තීරණාත්මක ඉසව්වකට ඇවිත් තියෙන හැටි අපි රූප පෙට්ටියෙන් දකිනවා. අර අපේ රත්න ශ්‍රී මහත්තයා ලියාපු බිම්බරක් සෙනග ඇවිදින් සිංදුව කපුගේ උන්නැහැ ගාම්බීර සද්දෙන් ගායනා කොරන හැම වෙලාවකම අපේ ඇස්ගෙඩි හමුවේ වීරෝදාර වෙල්ලස්ස ජනතාව ජීවිත පරදුවට තියලා තමන්නේ උරුමය වෙනුවෙන් එදා-මෙදා කොරපු මහා හටන් ඔක්කොම මැවිල පේනවා.
තමුන්නැහැලගෙ මුතුන් මිත්තො අනාගත පරම්පරාව වෙනුවෙන් වෙස්ලස්ස ස්වර්ණ බූමිය රැක ගත්තෙ ජීවිත දහස් ගණනක් පූජා කරලයි. මව්බිම සුදු අධිරාජ්ජවාදින්ගෙන් නිදහස් කොරගන්න අපේ පුරාණ හටන්කාමියො කොරපු මහා අරගලයට පන පෙව්වෙ කිවුලේගෙදර මොහොට්ටාලල. බූටෑවේ රාලලා, කොහුතුඩුවේ රටේ රාලලා වගේ හැබෑ දේසප්‍රේමියො. හටන මර්දනය කොරන්න සුදු අදිරාජ්ජවාදියො එවපු  කැප්පෙටිපොල නිලමෙත් සටනේ හැබෑ වටිනාකම තේරුන් අරන් කැරැල්ලට එකතු වුණ බව මුන්නැහැලා අහල ඇතිනෙ.
අන්න ඒ වගේ ලක් මැණියන්ගෙ හැබෑ දූපුත්තු තමා තමුන්නැහැලගෙ පරපුරේ පුරෝගාමියො. ලක්සයක් වෙල් යායවල් පිරුණු ඔය රත්තරන් පොළව අයිති තමුන්නැහැලටයි. පරදේසක්කාරයන්ගෙ බයිනෙත්තුවලට පපුව දීලා ඔය සාරබූමිය ලක්මැණියන්ගෙ පරම අයිතියක් බව ඉර නොබහින අදිරාජ්ජෙටම ඇහෙන්ඩ ඉහළම හඬින් කියා හිටියෙ ඒ උත්තමයො. වෙල්ලස්ස කියන්නෙ මවුබිම වෙනුවෙන් ජීවිත දානය කොරපු ජනවිරුවන්නෙ රුධිරයෙන් තෙත් වුණ අරගල බූමියක්. අදටත් ඔය පොළව සාරවත් කරන්නේ පරදේසක්කාරයන්ගේ හිතක් පපුවක් නැති වෙඩි උණ්ඩ හමුවේ අබීතව හටන් වැදී ඇද වැටුණු දේසප්‍රේමී රණකාමීන්ගේ ඇටකටුවලින් බව අමතක කරන්න එපා මිත්‍රවරුනි.
රොබට් නොක්ස් උන්නැහැ වෙල්ලස්සේ පලබර ගහකොළ හා මනරම් පරිසරය දැකපු වෙලාවෙ ඔය රන්බිමට නම තිබ්බෙ සියලු සම්පත්වලින් පිරුණ ආදම්ගේ උයන කියල බව තමුන්නැහැලත් අහල ඇතිනෙ. ආදි වාසීන්ගේ නිජබිමක් වෙන නිල්ගල රක්ෂිතය අයිතිත් වෙල්ලස්සේ බූමියටම නේද? අපේ මවුබිම සතු ජයිව කලාප හතරෙන් එකක් වෙන ඌව පතන බිම රටට සදහටම අහිමි වෙන්න යන මේ මොහොතේ අපේ මුතුන් මිත්තන් ගිය මාවත හැර වෙනත් මාවතක් තෝරාගන්න අපිට ඉතුරු වෙලා නැති බව සත්තයි. අපේ මුණුබුරු- මිනිබිරියන් වෙනුවෙන් සුරැකිය යුතු පුරා විද්‍යා වස්තු, අලි නිජබිම් වගේම රටේ සරුසාර බිම් ටික ඩැහැගන්නයි එදා වගේම අදත් පරදේසක්කාරයෝ මාන බලන්නෙ.  පරදේසක්කාරයන්ගෙන් රට-ජාතිය බේරා ගන්ඩය කියල අපේ මනාප ටික ගසාකාලා බලේට ආපු පරගැති බඩගෝස්තරවාදියෝ රැලම එකතුවෙලා මවුබිම කීතු කීතුවලට කඩලා වෙන්දේසියෙ දාන්ඩයි දැන් කුමන්තරනේ කොරන්නෙ.
වෙල්ලස්සේ ආදරණීය ජනතාවනි, චීන, ඉන්දියන්, ඇමරිකන් නැත්නං සිංගප්පූරු මුදලාලිලාට අපේ මවුබිමේ බිම් අඟලක්වත් අල්ලාගන්ඩ ඉඩ නොදෙමු. අපේ බිම්කඩවල්වල පරම අයිතිය අපටමයි. රතු ඉන්දියානු ආදිවාසි නායක සියැටල් ඇමෙරිකන් ජනපතියාට කිව්වා වගේ අපි හැමෝමත් එකට අත්වැල් බැූඳගෙන එකා වගේ හඬනගමු. ආදරණීය ජනතාවනි, වෙල්ලස්ස බූමියේ විතරක් නොව දකුණේ දෙවුන්දර තුඩුවේ හිට උතුරේ පේදුරුතුඩුව දක්වා තියෙන ලක් බුමියේ හැම බිම් අඟලකම සුද්ද අයිතිකාරයෝ අපි වෙමු. ලක්බිමේ හැම ගංගාවකම ගලා යන්නේ අපේ මුතුන් මිත්තන්ගේ රුධිරයයි. හැම හුළං පොදකම දැවටී තියෙන්නේ ඔවුන්ගේ ජීවන හුස්මයි. මේ ලක්බිම විකුණන්න තොපිට කිසිම අයිතියක් නැතුවා සේම ඒක මිල දී ගන්නත් කිසිම පරදේසක්කාරයෙකුට ඉඩ දෙන්නේ නැත. අපි සටන් බිමේ සිට එක හඬින් කියා සිටිමු●

විශ්වමිත්‍ර

සබැඳි

Leave a Reply

Your email address will not be published.