‘තෙත් ඉමක පිපුණ කවි’ – රේණුකා තලතා කුමාරි ගුණසේකර

දයාසේන ගුණසිංහයන් වරෙක කියා සිටියේ කවිය පළමුව හදවතටද දෙවනුව බුද්ධියටද අමතන බවයි. කවිය වනාහී හෘදය ගෝචර මෙන්ම බුද්ධි ගෝචර නිර්මාණයකි. කවියෙහි ඉතිහාසය මෙන්ම කවියට නිර්වචන සැපයීමේ ඉතිහාසයද දීර්ඝයත එහෙත් අදටත් කවියට නිශ්චිත නිර්වචනයක් ඇත්තේ නැත. විවිධ නිර්වචන අතරින් කවිය ඉදිරියට ගලා යයි. විවිධ රසිකයෝ එසේ ගලා යන කවියෙන් තමන් රිසි පරිද සිහිලස ලබති. එසේම කවි කිවිඳියෝද මේ අනේකවිධ නිර්වචන මැද සිරව නොසිට තම කවියෙහි රුව ගුණ වඩවති. විවිධ නිර්මාණ අභ්යායසයන්හී නිතර රේණුකා තලතා කුමාරි ගුණසේකර අපට මෙසේ පවසා සිටින්නීය.
ලියන්නට
ඉඩ දෙන්න
මට
මගේ
කවිය
මගේ
රි
ද්



ඇය තම කවියට බාහිර අණ විධාන පනවනු නොඉවසයි. ඒ වෙනුවට ඇය ඉල්ලා සිටින්නේ තමන්ගේ කවිය තමන්ට අභිමත පරිදි නිමවන්නට ඉඩ දෙන ලෙසටය. මෙය කෙසේවත් විචාරකයා හට සීමා පැනවීමක් ලෙස නොසැලකිය යුතුය. ඒ සියල්ලටම වඩා ඇය පවසන්නේ නිර්මාණකකාරියක ලෙස තමන් අත්විඳින නිදහස ගැනය. සැබැවි, කවියෙහි සීමා තීරණය කළ යුත්තේ එය නිමවන්නාමය.
තලතාගේ තෙත් ඉමක පිපුණ කවි මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්වෙවයි. ඒ බෙදුමද තලතාගේමය. ඇය පළමු කොටස නම් කරනුයේ තෙත් ඉමේ පිපුණ පොඩි කවි යනුවෙනි. ඒ කොටසෙහි එන කාව්යම නිර්මාණ සංක්ෂිප්ත ගුණයෙන් යුත් කෙටි කවි ය.
අගුලු ලූ
උයනෙහි
තවමත්
පැද්දෙයි
ඔන්චිල්ලාවක්
දරුවෙකු මේ දැන්
අතැරගිය
උයනක් යනුම සීමා බාධකවලින් තොර නිදහස් කලාපයකි. උයන යන්නෙහි හැඟවුමම විවේකය, වින්දනය සහ නිදහසය. එහෙත් එවන් උයන්හිද අගුලු ඇත. ලංකාවේද පසුගිය කාලයේ ඇති කළ උයන් වෙත යන පිරිස් හට පැනවුනු විවිධ සීමා ගැන අපි නොයෙක්වර දුටිමු. මිනිසා වෙනුවෙන් යයි කියනා බොහෝ නිර්මාණ සැබැවින්ම ගත් කළ මිනිසාට අහිමිය. දරුවනට එය අදාල නැත. සමහර විට ඔන්චිල්ලාව පදිමින් සිටි දරුවා ඔහුගේ අභිමතයෙන් තොරව වැසීමේ නීතිය යටතේ උයනින් පිටුවහල් කළාද විය හැකිය. ඉදින් අගුලු ලූ උයනේ පැද්දෙන ඔන්චිල්ලාව යනු රසිකයා හට සිය නැණ පමණින් විඳින්නට සහ වෙනත් පරිකල්පන ලෝකයන්ට පිවිසෙන්නට මග සදනා කවියක් බව කිව යුතුය.
ආරියවංශ රණවීර වරෙක මෙසේ ලිවීය.
සුදු සුදු නැපී
ඇස හැපි හැපී
දරුවකු ඇතී
බව පවසතී.
මේ වෙනම විවරණ අනවැසි කවියකි. ඒ කවිය මගින් නිමවන හැඟුම් ලෝකය බෙහෙවින් පුළුල් ය.
තලතාද අපට මෙසේ කියන්නීය.
නිදන බිළිඳුගෙ
තොල් මතින්
බේරී ඇවිත්
කිරි බිඳිත්තක්
කෙටි කවිය යනු නිර්මාණකරුවාගේ පරිණත බව මෙන්ම නිර්මාණ රස විඳින්නාගේද පරිණතබව උරගා බලන්නකි. ඒ කවි විඳීම යනුම වෙනස් ආලෝක දහරාවන් හී පහස ලැබීමකි. වෙනස් සිතුවිළි කලාපයන්ට පිවිසීමකි. කෙටි කවිය බොහෝ දේ සඟවමින් එතරම්ම දේ පිට කරයි.
කඳු පාර අයිනේ
වැතිරී ඉන්න
හැටි
මේ
පොඩි
මල
තලතා සිය කෙටි කවි වලට මාතෘකා සපයන්නීය. එහෙත් මම ඒ නොතකා හැරියෙමි. ඒ කවියෙහි මාතෘකාවට සිත යෙදවූ සැණින් රසිකයාගේ පරිකල්පනයට සීමාවක් වැටෙන හෙයිනි. එවිට අපට කවිය කියවන්නට වෙන්නේ ඇගේ නෙතිනි. එහෙයින් ඇගේ මේ කවිවලට මාතෘකා අනවැසි යයි මම සිතමි.
ඇය ස්මරණ නමින් කෙටි කවියක් රචනා කරයි.
කොහේ හිටියත්
කකුලෙ පැටලෙන
නිදාගත්තොත්
හීනෙටත්
එන
…………………….
කටු ගාල
මෙහි එන කටුගාල යන යෙදුමෙහි අර්ථ කලාපයට ස්මරණ නමින් නමක් සපයා සීමාවක් පැනවෙයි. එවිට අප යා යුත්තේ ඇගේ ඇඟිල්ල දෙස බලාගෙනය. එහෙත් අප ඇගේ ඇඟිල්ල මග හරින්නේ නම් අපට මේ කවිය විවිධාකාරයෙන් අරුත් සපයා විඳින්නට හැකිය.
ගැහැණියක යනුවෙන් සම්මත අච්චුවකි. ඒ අච්චුවෙන් පිට ගැහැණියක සිටීම යනු අපරාධයක් වන තරමට ඇතැම් සමාජ සම්මතයන් දැඩි ය. යම් කතක ඒ අච්චුවෙන් පිට අඩියක් තබන්නේ නම් එ සැණින් ඇය ගැහැණියක නොවන්නියක බවට පත්වෙයි. ගෑනියෙක් නේද ඔච්චර හයියෙන් කියවන්න එපා, ගෑණියෙක් නේද ඔහොම අඳින්න එපා, ගෑනියෙක් නේද ඔහොම හිනාවෙන්න එපා. මේ ආදී වශයෙන් කතක හමුවේ ඇති එපා ලැයිස්තුව දිගුය. තලතා සිය දිගු කවියෙහිදී මේ අච්චුව ප්රආශ්ණ කරයි
ගැහැණියක් නම්
ළයාන්විත ලු
මිහිරිලු
සුගායනීය ලු
ළදල්ලක් සේ
සැලෙනවලු

නැවෙනවලු
කෝමළ ලු ඇගේ ස්වරය
සුකොමළ ලු ඇගේ සිනහව
මෙහි ‘ලු’ යන්න මතුකරන උපහාසාත්මක බව කවියට එළියකි. එහෙත් සැබෑ ගැහැණිය යනු මේ සම්මත මායිම්කී කොටු කරන්නට බැරි එසේ කොටුව ඉන්නට බැරි ජීවියකු බව ඇය කියන්නීය. ජීවිතයම බොක්සිං වළල්ලක තරගයක් බවට පත් සමාජයක ගැහැණිය කෙසේ නම් අර සම්මත රාමු තුළ බිත්ති සැරසිල්ලක් වන්නද?
දුවනවා තමයි මං
රූං ගාලා
හන්දියට කඩපිලට
පාසලට
වාඩියට
රැය ද දහවල නොතකා
හැමදාස නයිට් වැඩ කරන
හිමි නිතර නැති ගෙදර
සියලු භූතයින්ගෙන්
පෙරේතයින්ගෙන්
කළු කුමාරයින්ගෙන්
ගැල වී
රැකවල් කරන්නී මා, නිවස……
තලතා සිය දිගු කවියෙහිදී පවත්නා සමාජ වියවුල වඩාත් ස්පර්ශ කරන්නීය. එහිදී ඇය අපේ ජීවිත විපරීතව යන ආකාරය කවියට කැටි කරගන්නීය.
පද්මිණී දැන් කවි ලියන්නෑලු
ලියනකොට දිගටම බිල්පත්
ගෙවනකොට දිගටම බිල්පත්
අමතක වෙනව ඇති මනරම්
කවි පද
වෙහෙසටම නින්ද යනව ඇති
රෑට
මනරම් නැතුව ඇති දැන්
හීන වුනත් දකින

කිවිඳිය ජීවිතයෙහි නිමක් නැති අර්බුදයන් දකින්නීය. එහෙත් ඒ හමුවෙහි උකටලීව හිඳිනට ඇගේ අපේක්ෂාවක් නැති. ඇගේ කවියෙහි අරමුණ වඩා සුපසන් අරමුණක් කරා යළි නැගීමය. ඇය කුහුඹුවනි ඉතිකින් නම් යන කවියෙහි පල කරනුයේ ඒ අපේක්ෂාවයි. සැබැවි, අප ජීවත් වන්නේ නම් අපට වෙනස් ලෝකයක් කරා වන අපේක්ෂාව නොනසා පවත්වා ගැනීම මෙන්ම ඒ වෙනුවෙන් වැඩ කිරීමද ඇවැසිම ය.
– චූලානන්ද සමරනායක

සබැඳි

Leave a Reply

Your email address will not be published.