සිනමාවට ඉතිං මම පන හරි දෙනවා – පිච්චර් නොබැලුවෝතින් මගෙ ඇග දනවා

ලංකාදීප කන්තෝරුව ඉදිරිපිට
එහි ඇති සියඹලා ගහ ළග සෙවන යට
දැක්කා හාදයෙක් මම කාලයක සිට
මිනිහා පිචර් පිස්සෙක් විය සිරාවට
ෂෙල්ටන් පෙරේරා උප්පැන්නයේ නම
එනමුත් “කලූ” කියලයි ඇමතුවේ සැම
පෙන්නා රිදී තිරයට පවතිනා පෙම
ඉන්නේ පදික සිනමා පෙට්ටියේ තම
සිනමා අතීතය මතකෙන් කියත හැකී
ඒවයි නොයෙක් සැමරුම් පන වගේ රැකී
ඉස්සර අසුන් හා සෙල්ලං දාපු ජොකී
හුණුපිටියේ හරස් පාරෙදි නිතර දකී
විස්තර කියා හැමටම මේ ගැන අහන
ඉන්නේ කරන් පේමන්ට් එක රජදහන
පුදුමයි පිචර් ගැන ඇති ගතිගුණ කහන
තියනව අදත් විජයට ජෝතිට පහන
හිතුනා පොර එක්ක කයියක් ගහන්නට
මේ පිස්සුවේ විස්තර තව අහන්නට
ඔහු ළග නැති නිසා කිසිවක් වහන්නට
ගත්තා ටිකෙන් ටික වගතුග ලිහන්නට
පික්චර් බලන්නට එක්කං ගියෙ මාව
මාමා කෙනෙකි ළග නෑදෑයෙක් වූව
මුදලුත් දිදී ඔහු මට අත හිත පෑව
පිස්සුව හැදුණෙ බලලා රන්මුතුදූව
බී.එස්.ලගෙ කොමික් දුටුවිට නැත සෝකා
ෆයිටර් රොබින් හිටියත් කට්ටිය නේකා
සන්ධ්‍යා තිරයෙ විහිදෙව්වනෙ රන් රේඛා
නළුවා මගේ නම් සක්විති ෆොන්සේකා
ඉස්සර ගාමිණි එක ගෙදරම වාගේ
බැලුවා චිත්‍රපටි එන එන කොයි කාගේ
ෂෝ එකකින් තවත් එකකට දිව් වේගේ
සුව වී නොමැත තාමත් සිනමා රෝගේ
අස්සයො නිසයි දන්නේ මාවම පැත්ත
බොරුවක් නොවෙයි ඒකයි සහතික ඇත්ත
හඳයා චිත්‍රපටියේ හැදු තොටවත්ත
ඉන්නේ අස්සයත් මගෙනුයි අරගත්ත
තියෙනව පිචර් ගැන මෙහි එක එක ඒවා
කට්ටිය ඇවිත් බැලුවත් සතුටකි මේවා
සමහර නළුවො ඇවිදින් මම හමුවූවා
රන්ජන් රාමනායක එහෙමත් ආවා
කුලියක් කරන් මම දුප්පත් ලෙස කනවා
ජීවිතයට මගේ තව ඕනද මොනවා
සිනමාවට ඉතිං මම පන හරි දෙනවා
පිච්චර් නොබැලුවෝතින් මගෙ ඇග දනවා

– ප්‍රියන්ත කොඩිප්පිලි

සබැඳි

Leave a Reply

Your email address will not be published.