බැසිල් විතරයි !

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට ආණ්ඩුවේ සියලු තීරණාත්මක තීන්දු ගැනීමේ බලය පැවරීමත්, ඒ සම්බන්ධයෙන් ඉන්දියාව සමග කටයුතු කිරීමේ වගකීම පැවරීමත් ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි කතාබහට ලක් වී තිබේ.
අත්‍යවශ්‍ය ආනයන පිළිබඳ තීරණ ගැනීමේ බලය ද සම්පූර්ණයෙන්ම ඇමැතිවරයාට පැවරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත. එසේම ඉන්ධන සම්බන්ධයෙන් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සමග සාකච්ඡා පැවැත්වීම සහ ඊට අදාළ තීරණ ගැනීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය ගැනීම සහ ආර්ථික මෙහෙයුම් කටයුතු පිළිබඳ අවසාන තීරණ ගැනීමේ බලය පැවරීම ඇතුළු රටේ තීරණාත්මක කටයුතු සියල්ලේ අවසාන තීරකයා බවට මුදල් ඇමැතිවරයා පත්කර තිබේ.
පසුගිය 09දා අනුරාධපුර, සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රැළිය ආරම්භයේදී ද බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා විශේෂයෙන් හඳුන්වාදීමක් සිදු කෙරිණි. පොදුජන පෙරමුණේ ජයග්‍රහණ සියල්ලේ නියමුවා ඇමැතිවරයා බව එහිදී දිගින්-දිගටම හුවාදැක්වීමට ද කටයුතු කෙරිණි. බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ සමීපතමයන් ලෙස සැලකෙන නිමල් ලන්සා, සනත් නිශාන්ත වැනි ඇමැතිවරුන් වරින්-වර ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් යම් යම් විවේචන ඉදිරිපත් කිරීම ද බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපෘතියේ කොටසක් බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වී ඇති විවේචන සමනය කිරීමේ වගකීම ද බැසිල් රාජපක්ෂ ඇමැතිවරයාට බාර දී තිබෙන බව සඳහන් කරන අදාළ ආරංචි මාර්ග, ඉදිරියේදී ඇමැතිවරයාගේ සමීපතමයන් පිරිසක් මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමා හමුවීමට ද නියමිත ය.

සබැඳි

Leave a Reply

Your email address will not be published.