ඩොන්බාස්ලා නිසා තුන්වන ලෝක යුද්ධය ඇවිලෙයිද?

යුක්‍රේනය මුල් කරගෙන අද යුරෝපයේ ඇති වෙලා තිබෙන යුද උණුසුමේ සැබෑ ස්වරූපය ගැන දැන ගන්න බොහෝ අය කැමතියි. ඒත් ඒ ගැන සිංහලෙන් ලියවෙන ලිපි අඩුයි. අපේ රටෙත් යක්ඛ පුත්තුනම් හිතන් ඉන්නේ පූටින් මහත්තයා හෙට අනිද්දාම යුක්‍රේනයට ගහල දායි කියලා. එහෙම වෙලා ඇමෙරිකාව හොම්බෙන් යන හැටි දකින්නත් සමහරු කැමතියි. නමුත් එහෙම යුද්ධයක් ඇති වුණොත් ඇත්තටම වදින්නේ අපේ බඩට. යුරෝපයේ ස්ථාවර භාවය නැති වුණොත් අපේ ප්‍රධානම වෙළඳපොළ නැති වෙනවා. ඒ කොහාම වුණත් යුක්‍රේනය මුල් කරගෙන ඇමෙරිකාවයි රුසියාවයි ඇත්තටම යුද ප්‍රකාශ කරගනියිද කියල සොයා බලමු.
රුසියාව ගැන බොහෝ දේවල් අපි දන්නවා. ඒත් යුක්‍රේනය ගැන දන්නවා අඩුයි. යුක්‍රේනය කියන්නේ රුසියාවත් යුරෝපා සංගමයත් අතර පිහිටි විශාල රටක්. ‍රුසියාව මේ තරම් යුක්‍රේනයට අත පොවන්නේ හේතු දෙකක් නිසා. එකක් තමයි උපාය මාර්ගික වැදගත්කම. අනික යුක්‍රේනය සමඟ තිබෙන දේශසීමා අර්බුදය.
කළු මුහුදේ තිබෙන යුක්‍රේනයට අයත් ක්‍රිමියානු අර්ධද්වීපය 2014 දී පුටින් විසින් රුසියාවට ඈඳාගත්තා. ඒ වෙලාවෙත් බටහිර රටවල් පූටින්ට ගේම අදින්න ආවා. ඒත් උන්නැහේ ඒවා පයිසෙකට මායිම් කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි. නැගෙනහිර යුක්‍රේනයේ රුසියාවට මායිම් වෙලා තිබෙන ඩොන්ට්ස්ක් සහ ලුහාන්ස්ක් කියන පළාත් දෙකත් අවුරුදු 8ක් තිස්සේ අනියම් විදියට පාලනය කරන්නේ රුසියාව. මේ පළාත් දෙක එකට ගත්තාම ඩොන්බාස් ප්‍රාන්තය ලෙස හඳුන්වනවා. මේ ප්‍රදේශයේ වැඩි භූමි ප්‍රමාණයක් පාලනය කරන්නේ යුක්‍රේන ආණ්ඩුව නෙවෙයි. රුසියානු ආධාර ලබන කැරළිකරුවන්. මේ ඩොන්බාස් කලාපයේ හා ක්‍රිමියානු අර්ධද්වීපයේ ජීවත්වන බහුතරය රුසියානු භාෂාව කතා කරන රුසියානු සම්භවයක් සහිත අය. ඒ නිසා ඔවුන්ගේ වැඩි නැඹුරුව තියෙන්නේ රුසියාවත් එක්ක ඉන්න.

ක්‍රිමියා අර්ධද්වීපය 2014 දී රුසියානු හමුදා විසින් අල්ලා ගත් අතර ලුහාන්ස්ක් හා ඩොන්ට්ස්ක් (ඩොන්බාස් කලාපය) රුසියානු හිතවාදී කැරළිකරුවන් විසින් පාලනය කරනු ලබයි.
 
යුක්‍රේනය බොහෝ කාලයක් සෝවියට් දේශයට අයත් සමූහාණ්ඩුවක් විදියට මොස්කව්හි කොමියුනිස්ට් පාලනය යටතේ පැවතුණා. 1991දී සෝවියට් සංගමයේ බිඳ වැටීමත් එක්ක සෝවියට් සමූහාණ්ඩු 15 ම සී සී කඩ වෙන් වී ගියා. යුක්‍රේනයත් ඒ අනුව ස්වාධීන රටක් බවට පත්වුණා. එහෙම වෙන් වීමත් එක්ක යුක්‍රේන මනාලියට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ඇඹලයන්ගේ ඇල්ම බැල්ම වැටුණා. ඒත් රුසියාව සමඟ තිබුණු සමාජ, සංස්කෘතික බැඳීම් වලින් ලේසියෙන් ගැලවෙන්න යුක්‍රේනයට පුළුවන් වුණේ නැහැ.
සෝවියට් දේශය වසර 11 ක් පාලනය කළ
යුක්‍රේන කොමියුනිස්ට් පක්ෂ නායකයා වූ
නිකිතා කෲෂෙෆ් හා
ඉන් පසුව එරට වසර 18 ක් පාලනය කළ
යුක්‍රේන ජාතික ලියනොඩ් බ්‍රෙෂ්නෙව්
ඒ වගේම සෝවියට් යුගයේදී වඩාත්ම කාර්මීකරණයට ලක් වූ සමූහාණ්ඩුව තමයි යුක්‍රේනය. රතු හමුදාවට අවශ්‍ය බොහෝ අවි ආයුධ නිෂ්පාදනය කළේ යුක්‍රේන කම්හල් වල. සෝවියට් කොමියුනිස්ට් පාලනයේ වගකිව යුතු නායකනුත් බොහොමයක් යුක්‍රේනයෙන් බිහිවුණා. ජෝශප් ස්ටාලින්ට පසුව වැඩිම කළක් (අවුරුදු 18ක් ) සෝවියට් දේශය පාලනය කළේ ලියනොඩ් බ්‍රෙෂ්නෙව්. ඔහු යුක්‍රේන ජාතිකයෙක්. ඒ වගේම ගොර්බචොව්ට කළින් සෝවියට් නායකයා වූ කොන්ස්තන්තීන් චෙර්නෙන්කෝ යුක්‍රේන ජාතිකයෙක්. ඒ වගේම ස්ටාලින්ගෙන් පස්සෙ සෝවියට් නායකයා වූ නිකිතා කෲෂෙෆ් ආවෙත් යුක්‍රේනයෙන්. කෲෂෙෆ් සෝවියට් නායකයා වෙන්න කළින් යුක්‍රේන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා විදියට කටයුතු කළා. ඔහු රුසියානුවෙක් වුණත් ඉපදුනේ යුක්‍රේනය අසළ ගම්මානයක. කෲෂෙෆ් යුක්‍රේනයට කොයිතරම් ආදරේද කියනවානම් එතෙක් රුසියාවට අයත්ව තිබුණ ක්‍රිමියානු අර්ධද්වීපය යුක්‍රේනයට පැවරුවේ උන්නැහේ තමයි. ඒ වගේම ගොර්බචොව් මහත්තයාගෙත් මවත් යුක්‍රේන ජාතිකයෙක්. කොටින්ම කිව්වොත් සෝවියට් යුගයේදී සමහර විට රුසියාවටත් වඩා ප්‍රබල භූමිකාවක් යුක්‍රේනය විසින් රඟ දක්වපු බව කියන්න පුළුවන්.
සෝවියට් දේශය ලෝක ගෝලයෙන් අතුරුදන් වීමත් එක්ක ඒ පැරණි රතු අධිරාජ්‍යයාගේ අනුප්‍රාප්තිකයාගේ චරිතය නිරායාසයෙන්ම රුසියාවට හිමිවුණා. යුක්‍රේනයේ ජනතාව හිටියේ අන්ද මන්ද වෙලා. ගොර්බචොව්ගෙන් රුසියානු බලය උදුරාගත්තේ බොරිස් යෙල්ට්සින්. යෙල්ට්සින්ගෙ යුගයේදී රුසියාවත් එක්ක බටහිරට තිබුණ බල අරගලය සමනය වුණා. ඔහු උග්‍ර කොමියුනිස්ට් විරෝධියෙක්. 1991 දී දශක හතක සීතල යුද්ධයත් නිමා වුණා. පැරණි සෝවියට් සමුහාණ්ඩු සියල්ලටම අලුත් රටවල් විදියට අලුතින් නැඟී සිටින්නට සිදුවුණා.
මුල් යුගයේදී යුක්‍රේනය තුළ රුසියානු හිතවාදීන් හා බටහිරවාදීන් විදියට කැපී පෙනෙන වෙනසක් තිබුණෙ නෑ. රතු යකඩ තිරයෙන් වැසී තිබුණු නැගෙනහිර යුරෝපය පුරාම ධනවාදයේ හා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ නැවුම් ආශ්වාදය පැතිරෙමින් තිබුණා. හැමෝටම උවමනා වුණේ වෙනසක්.
නමුත් වසර 2000 දී කවුරුත් නොහිතපු වෙලාවක රුසියාව පූටින්ගේ භාරයට පත්කරපු යෙල්ට්සින් යන්න ගියා. පැරණි කොමියුනිස්ට් අධිරාජ්‍යයේ KGB බුද්ධි නිලධාරියකු වූ පූටින් රුසියානු ජාතිකවාදය මතින් පූටින් මහා බලයක් ගොඩ නඟා ගත්තා. බටහිරට අභියෝග කළ හැකි ලෙස රුසියාව නැවතත් යුදමය වශයෙන් බලගන්වන්න පූටින්ට හැකිවුණා.
සෝවියට් දේශයෙන් කැඩී ගිය ලිතුවේනියාව,ලැට්වියාව,එස්තෝනියාව වගේ බෝල්ටික් රාජ්‍යත් බෙලරුසියාවත් තියෙන්නේ යුරෝපා මායිමේ. ඒත් රුසියාවට වගේම ඇමෙරිකාවටත් උපායමාර්ගික ලෙස වඩා වැදගත් වුණේ යුක්‍රේනය. ඒ නිසා බටහිර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යුක්‍රේනය තුළ ස්ථාපිත කරන්න ඇමෙරිකානු කඳවුරට තිබුණේ පුදුම කළබලයක්. නමුත් මේ අලුත් රටට සම්පූර්ණයෙන් රුසියානු ආභාෂයෙන් මිදෙන්නෙ බැරිවුණා. රටක් හෝ ජනකොටසක් යටත් කරගන්න ඔබට පුළුවන්. ඒත් සංස්කෘතියක් පරාජය කරන්න බැහැ. එක රැයකින් සියල්ල වෙනස් කරන්න බැහැ. සංස්කෘතියක් විකසනය වෙන්න වසර සියදහස් ගණනක් ගතවෙනවා. මේවා අපිටත් හොඳ පාඩම්.
යුක්‍රේනයේ නැගෙනහිර කොටසේ ජීවත් වන්නේ රුසියානු සම්භවය සහිත ජනකොටස්. රුසියානු හා යුක්‍රේන ජනතාව වෙන්කර හඳුනාගන්න බැරිතරම් සම්මිශ්‍රණය වෙලා ඉන්නේ. පැරණි සෝවියට් පාලනය විසින් ස්ථාපිත කරපු දියුණු මාර්ග පද්ධතියක් හා දුම්රිය මාර්ග පද්ධතියක් මොස්කව් හා කීව් නගර අතර තිබෙනවා. කීව් ඉඳන් මොස්කව් වලට කෝච්චියේ ගියොත් පැය 2යි. ඒ නිසා කීව් නගරයේ තිබෙන යුක්‍රේන ආණ්ඩුව කොයිතරම් බටහිරට සමීප වෙන්න හැදුවත් නැගෙනහිර කලාපයේ තවමත් ඉන්නේ රුසියාවට ලැදි මිනිස්සු. ඒ නිසා යුක්‍රේන ආණ්ඩුව උඩ පනින්න ගත්තොත් පූටින්ට කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඒ පොඩි පොඩි වැඩ වලට තමයි ඩොන්බාස් බෙදුම්වාදීන් ඉන්නේ. නැගෙනහිර ඩොන්බාස් ප්‍රාන්තයේ ඉන්න මේ බෙදුම්වාදී කණ්ඩායම් තනිකරම පූටින්ගේ නිර්මාණ. යුක්‍රේන බෙදුම්වාදීන් ලොව වෙනත් කිසිම කැරළි කණ්ඩායමකටත් වඩා ප්‍රබල හා ආරක්ෂිත පසුබිමක සිටින්නේ රුසියානු හමුදා ශක්තියෙන් පන්නරය ලබන නිසයි. යුක්‍රේන ආණ්ඩුව ඩොන්බාස් බෙදුම්වාදීන් හමුවේ හරිම අසරණයි. පැරණි මහ බලවතුන් දෙදෙනාගේ ෆුට්බෝලයක් වූ වෙනත් රටක් ලොව නොමැති තරම්.
වර්තමාන අර්බුදය තේරුම් ගන්නනම් 2010 ඉඳන් යුක්‍රේනයේ දේශපාලනය ගැන අදහසක් තිබීම ප්‍රමාණවත්. ඒ කාලය වන විට යුක්‍රේනයේ දේශපාලන පක්ෂ ප්‍රධාන වශයෙන් කඳවුරු තුනකට අයිති වුණා. 2010 ඉඳන් මේ දක්වා යුක්‍රේනයේ ජනාධිපතිවරු තුන් දෙනෙක් හිටියා. මේ තුන් දෙනාගේ Political ideology එක එකිනෙකාට වෙනස්.
එක් කඳවුරක් තනිකර රුසියානු වාදි, පැරණි සෝවියට් සංස්කෘතිය අගයන පිරිසගෙන් සමන්විතයි. ඔවුන් තනි යුරෝපයක් සඳහා වන යුරෝපා සංගමයට විරුද්ධයි. ඒ වගේම ලිබරල් ලක්ෂණ අඩුයි.
දෙවැනි කඳවුර බටහිරවාදී රුසියානු විරෝධී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන්ගෙන් සමන්විතයි. ඔවුන් යුරෝපා සංගමයට හා නේටෝවට (NATO) පක්ෂයි.
ප්‍රධාන වශයෙන් පවතින මේ කඳවුරු දෙකට අමතරව මධ්‍යස්ථ මතධාරී කලාපීය හා දේශීය මතවාදයෙන් පෝෂණය වූ නව කඳවුරක් දැන් ඉස්මතුවෙලා තිබෙනවා.
වික්ටර් යැන්කොවිච් 2010 දී ජනාධිපති ලෙස පත්වෙන්නේ විශාල ජනතා ආකර්ෂණයක් එක්ක.පැරණි කොමියුනිස්ට් කාරයෙක් වු ඔහු තනිකර රුසියානු හිතවාදියෙක් වුණා. කලින් තිබ්බ ආණ්ඩුව අච්චාරුවක් වූ නිසා මිනිස්සු යැන්කොවිච්ව ගෙනාවෙ වැඩකරන විරුවා කියල හිතාගෙන. ඔහු ආපු ගමන්ම රුසියාවත් එක්ක ඓතිහාසික ගිවිසුමක් අස්සන් කළා. ගිවිසුමට අනුව රුසියාවෙන් යුක්‍රේනයට ලබාදෙන ස්වාභාවික ගෑස් මිල 30%කින් අඩුවෙනවා. ඊට හිලව්වට යුක්‍රේනය විසින් කළු මුහුදේ තිබෙන රුසියානු නාවික හමුදා කඳවුර තවත් අවුරුදු 25කට රුසියාවට බදු දිය ටුතු වුණා. සෙවස්ටපෝල් නම් මේ නාවුක කඳවුර පිහිටියේ ක්‍රිමියානු අර්ධද්වීපයේ. මෙය රුසියාවට උපායමාර්ගික ලෙස හරිම වැදගත්.
1991 සෝවියට් දේශයෙන් වෙන් වුණාට පසුව යුක්‍රේනයට රුසියාව සමඟ විසඳාගැනීමට ප්‍රශ්න රාශියක් ඉතිරි වුණා. වඩා වැදගත්ම ගැටළුව වුණේ එතෙක් කළු මුහුදේ ස්ථාපිත කර තිබු සෝවියට් නාවික බලය බෙදාගන්නා ආකාරය ගැන. ඒ අනුව යුක්‍රේනය විසින් කළු මුහුදේ තිබෙන වරායවල් රුසියාවට භාවිතා කිරීමට ඉඩ දීමට ගිවිසුම් ගත වුණා. සෙමස්ටපෝල් නාවික කඳවුරත් ඒ අනුව රුසියාව විසින් බදු ගත්තා. නමුත් යුක්‍රේනයටත් මේ කඳවුර වැදගත් නිසා ඔවුන් සිටියේ මේ බදුකාලය හමාර වෙනකම්. එහෙම තත්ත්වයකු තුළ තමයි යැන්කොවිච් විසින් සෙමස්ටපෝල් කඳවුර තවත් අවුරුදු 25කට බදු දෙන්නේ.මේ ගිවිසුම අස්සන් කිරීම නිසා යුක්‍රේන ජනතාව ජනාධිපතිවරයාගෙන් ඈත්වුණා. රුසියාවේ ලාභ ගෑස් වලට කෑදරකමේ ක්‍රිමියානු අර්ධද්වීපයේ රුසියාවට ඕනෑ සෙල්ලමක් දාන්න ඉඩ දීම ගැන බහුතර යුක්‍රේනියානුවන් පරල වුණා
ඒ වෙන විට තනි ලෝක බලවතා ලෙස ඉස්මතුවෙලා හිටපු ඇමෙරිකාවත් යුක්‍රේනයේ සිදුවන දේ ගැන ඇහැ ගහගෙනයි හිටියේ. යුක්‍රේනය සෝවියට් සංගමයෙන් ඉවත් වූ වහාම ඇමෙරිකාව එය ස්වාධීන රටක් විදියට පිළිගත්තා. ඒ වෙනකොටත් පැරණි සෝවියට් දේශයට අයත් න්‍යෂ්ටික අවි වලින් සෑහෙන ප්‍රමාණයක් තිබුණේ යුක්‍රේනය තුළ. ඒ නිසා කල් නොයවා ගනුදෙනු විසඳාගන්න ඇමෙරිකාවට උවමනා වුණා. ඒ වෙනකොට ඇමෙරිකාවේ ජනාධිපති වුණේ බිල් ක්ලින්ටන්. රුසියාව තිබුණේ යෙල්ට්සින්ගේ පාලනය යටතේ. යෙල්ට්සින් කියන්නේ සුපිරි ධනවාදියෙක්. අඩියක් පුඩියක් ගහලා සැපේ ඉන්න තමයි උන්නැහේට වුවමනා වෙලා තිබුණේ. මේ දෙගොල්ලො ඒ දිනවල හරි හරියට නෑදෑ ගමන් ගියා. කොහොම හරි යුක්‍රේනයේ තිබුණ සෝවියට් න්‍යෂ්ටික අවි විනාශ කරන්න රුසියාවත් යුක්‍රේනයත් එකඟ කරවා ගන්න ක්ලින්ටන් මහත්තයට පුළුවන් වුණා. ඒ 1994 දී. කලාපයේ සුරක්ෂිතභාවය කියන පොත පෙරළලා ක්ලින්ටන්ලා එහෙම අඩව් අල්ලන කාලෙ පූටින් මහත්තයා බලයට එන්න හිතලවත් නෑ.
කොහොමත් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය නිසා යුක්‍රේනය ඒ වන විටත් හොඳම පරිප්පුවක් කාලයි තිබුණා. ඒ 1986දී සිදුවූ චර්නොබිල් න්‍යෂ්ටික අනතුර නිසා. චර්නොබිල් නගරය පිහිටියේ උතුරුදිග යුක්‍රේනයේ. අනතුර වෙලාවෙ වාද බේද ඉවත දමා ඇමෙරිකාවත් සෝවියට් දේශයේ පිළිසරණයට ආවා. ඒ නිසා පශ්චාත් සෝවියට් සමයේ න්‍යෂ්ටික අවි ගැන කතාකරන්න ආපු ඇමෙරිකාව ගැන ඒ තරම් අමුත්තක් යුක්‍රේනයට දැණුනෙ නෑ. කොහොම හරි යුක්‍රේනය එක්ක න්‍යෂ්ටික අවිහරණ ගිවිසුමක් අස්සන් කරන්නත් 1997දි ඇමෙරිකාවට පුළුවන් වුණා.
ඒත් එක්කම යුක්‍රේනය කෙමෙන් කෙමෙන් බටහිරටම ඇදී ගියා. නේටෝ- යුක්‍රේන සම්බන්ධතා වර්ධනය වුණා. ඇමෙරිකාවේ සහයෝගයට ඉරාකයට හමුදා යවන්නත් යුක්‍රේනය කටයුතු කළා.
යැන්කොවිච්ගේ පැමිණීමත් එක්ක යුක්‍රේනය ආපසු රුසියාව පැත්තට නැඹුරු වුණා. රුසියානු සහන නිසා ආර්ථිකය ඉදිරියට ගන්නත් යැන්කොවිච්ට හැකි වුණා. කොහොම නමුත් ඒ අස්සේ යැන්කොවිච් තවත් දෙයක් කළා. ඒ තමන්ට කැමති කාලයක් ජනාධිපති ධූරයේ ඉන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කරගන්න එක. ඒ වෙනකොට රුසියාවෙ පූටින් මහත්තයාත් ඒ විදියටම ව්‍යවස්ථාව වෙනස් කරන් තිබ්බේ. ඒ නිසා යැන්කොවිච් රුසියානු ක්‍රමය අනුගමනය කරන බවට ජනතා විරෝධයක් මතුවුණා. ඒත් එක්කම පවුලේ අයට තනතරු දීමත් මහජන මුදල් මංකොල්ලයත් නිසා මිනිස්සුන්ට යැන්කොවිච් එපා වුණා.
ජනතාවගේ හිත දිනාගන්න යැන්කොවිච් අංශක180කින් ආපසු හැරුණා. ඔහු යුරෝපා සංගමය එක්ක ගිවිසුම් ගත වෙන බව ජනතාවට පොරොන්දු වුණා. ඒ වන විට මිනිස්සුන්ටත් උවමනා වෙලා තිබුණේ යුරෝපයේ වගේ නිදහස් ,අළුත් සංස්කෘතියක්. ඔවුන්ට පැරණි සෝවියට් ක්‍රම වලින් ඈත් වෙන්න උවමනා වෙලා තිබුණා. ආර්ථික පැත්තෙන් ටිකක් පසුබෑවත් නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජයකට යන ගමන ආපසු හරවන්න ජනතාව අකමැති වුණා. ඒත් යැන්කොවිච් කළේ දේශපාලන කපටි කමක්. ඔහුට ඇත්ත උවමනාවක් තිබුණෙ නෑ යුරෝපා ක්‍රමයට අනුගත වෙන්න. අන්තිම මොහොතේ ගිවිසුම අස්සන් කිරීම තහනම් කෙරුණා.
මිනිස්සු පාරට බැස්සා. සිවිල් නීති කඩ කළා. රටපුරාම කළකෝලාහල ඇතිවුණා. විරෝධතා කරුවන් වඩාත් සංවිධානය වී Euromaiden නමු ව්‍යාපාරයක් ආරම්භ කළා. ඔවුන් රජයේ ගොඩනැගිලි පවා අත්පත් කරගත්තා.අවසානයේ ජනාධිපතිවරයාට බලය අතහරින්න වුණා. ඔහු ක්‍රිමියාව හරහා රුසියාවට පළා ගියා.
ඒ වන විට යුක්‍රේනයේ විපක්ෂ නායකත්වය ඉසිළුවේ පෙත්‍රෝ පොරසෙන්කෝ. ඔහු එරට ධන කුවේරයෙක්. Euromaiden ව්‍යාපාරය පිටුපස සිටියේත් පොරසෙන්කෝ බව පසුව හෙළිවුණා. කොහොම නමුත් පොරසෙන්කෝ යුක්‍රේන ජනාධිපති ධූරයට පත්වුණා. ඔහු දැඩි රුසියානු විරෝධියෙක් වගේම බටහිරවාදියෙක්.
ඒත් එක්කම පූටින් ක්‍රියාත්මක වුණා. ඔහු ලෙහෙසියෙන්ම ක්‍රිමියානු අර්ධද්වීපයට හමුදා යවා එහි පාර්ලිමේන්තුව අල්ලා ගත්තා. ඉන්පසුව රුසියානු හිතවාදී පාලනයක් ක්‍රිමියාවේ ස්ථාපිත කළා. නේටෝ රටවල් හා ඇමෙරිකාව මොන තර්ජන කළත් පූටින් ඒවා පයිසෙකට මායිම් කළේ නැහැ.ඒ වගේම නැගෙනහිර යුක්‍රේනයේ සිටින රුසියානු ජාතිකයන් වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රසිද්ධියේම කිව්වා. රුසියානු හිතවාදී දේශපාලන කණ්ඩායම් වලට අවිආයුධ යැව්වා. ක්‍රිමියාවට අමතරව ඩොන්බාස් ප්‍රාන්තයත් මේ අනුව යුක්‍රේනයේ පාලනයෙන් ගිලිහුණා. අදටත් ඩොන්බාස්හි වැඩි කොටසක් පාලනය කරන්නේ බෙදුම්වාදීන්.
රුසියානු සහාය ලබන ඩොන්බාස් බෙදුම්වාදීන් තමයි දැනට ලෝකයේ සිටින ප්‍රබලම කැරළි කරුවන්. ඩොන්බාස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක් තිබෙනවා.මේ දෙකම අල්ලාගෙන සිටින්නේ ඔවුන්. වරක් යුක්‍රේනය උඩින් පියාසර කරද්දී මැලේසියන් ගුවන් සේවයට අයත් MH17 මඟී ගුවන් යානය කඩාගෙන වැටුණා. ගමන් ගත් මඟීන් සියළු දෙනාම මියගියා. එය අනතුරට පත්වුණේ ඩොන්බාස් කැරළිකරුවන් විසින් වැරදීමකින් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් බවට පසුව හෙළිවුණා. තමන්ගේ මිනිස්සුන්ට කරපු අපරාධයට දඩුවම් පමුණුවන්න මැදිහත් වෙන්න කියලා මැලේසියාව ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියා. නමුත් පූටින්ගේ සෙවැනැල්ල නිසා ඩොන්බාස්ලාට අත තියන්නවත් බටහිර බලවතුන්ට බැරිවුණා.

ඩොන්බාස් බෙදුම්වාදීන්ගේ මිසයිල ප්‍රහාරයකින් විනාශයට පත් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 මගී ගුවන් යානය
යුක්‍රේන හමුදාවට නැති නවීන ගුවන් ප්‍රහාරක මිසයිල පවා ඩොන්බාස් කැරළි කරුවන් සතුව තිබුණා. කැරළිකරුවන් හිතේ හැටියට යුක්‍රේන ගුවන් හමුදා යානා බිම දැම්මේ ඒ ගැම්ම නිසයි. මේ දරුණු ගැටුම් වලින් යුරෝපාකරයම හෙල්ලී ගියා. ඒ නිසාම ප්‍රංශ හා ජර්මානු නායකයන් ද ප්‍රශ්නයට මැදිහත් වුණා. ගැටුම් අවසන් කිරීමට 2014 ජූලි මාසයේදී බෙලොරුසියාවේ මින්ස්ක් නුවරදී රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමක් අස්සන් කළේ ඒ අනුවයි. Minsk Agreement යනුවෙන් හැඳින්වෙන්නේ මේ ගිවිසුමයි.නමුත් ගිවිසුම අස්සන් කර දින කිහිපයක් යද්දීම නැවතත් ගැටුම් වාර්තා වුණා. ඒ නිසා 2015 ජනවාරි මාසයේදී රුසියාව, යුක්‍රේනය, ප්‍රංශය හා ජර්මනිය යන රටවල් 4 නායකයන් ආපසු මින්ස්ක් නුවරට රැස්වෙලා අළුත් ගිවිසුමක් අස්සන් කළා. මේ ගිවිසුම හැඳින්වෙන්නේ Minsk 2 යනුවෙන්. නමුත් ඒ ගිවිසුමත් ගඟට කැපූ ඉන්නක් වගේ වුණා.
ගිවිසුම් අසාර්ථක වෙන්න හේතු කිහිපයක් තිබුණා. යුක්‍රේනයට සටන් නවත්වා ගන්න (Cease-fire) වගේම යුක්‍රේන භූමියෙන් රුසියානු බරඅවි ඉවත්කර ගන්නත් උවමනා වුණා. ඒ වගේම සටන් පවතින ප්‍රදේශ වල සම්පූර්ණයෙන් රජයේ පාලනය ස්ථාපිත කරන්නත් උවමනා වුණා.
රුසියාව පැත්තෙන් ගත්තොත් ඔවුන්ට උවමනා වුණේ ඩොන්බාස් ස්වාධීන රාජ්‍යයක් ලෙස පවතිනවා දකින්න. මොකද පූටින් දන්නවා ඩොන්බාස් ප්‍රාන්තයේ බහුතරය රුසියාවට පක්ෂපාතී බව. එහෙම වුණාම රුසියාවට පුළුවන් ඩොන්බාස් හරහා කරන හමුදා ක්‍රියාන්විත මඟින් රුසියානු බලප්‍රදේශය තව තවත් ව්‍යාප්ත කරගන්න.
යුක්‍රේනය කිසිසේත්ම මේකට කැමති වුණේ නැහැ. මේ ගැටුම් වලට කළින් ඩොන්බාස් වඩාත් කාර්මීකරණය වූ සමෘද්ධිමත් කලාපයක් ලෙස පැවතුණා. එවැනිම කාර්මික ජනපදයක් වූ ක්‍රිමියානු අර්ධද්වීපයත් ඒ වනවිට යුක්‍රේනයට අහිමිව තිබුණා. පොදුවේ මේ කාර්මික කලාප වලින් යුක්‍රේනයේ ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයුණා.
රුසියාව කිසිසේත්ම ක්‍රිමියාව හා ඩොන්බාස් අත නො හරින බව දැන් පැහැදිලියි. කවදා හෝ යුක්‍රේනය ස්ථාවර රාජ්‍යයක් වුවහොත් ඔවුන් තමන්ගේ බලපරාක්‍රමය පාවිච්චි කර යුරෝපා සංගමයට තමන්ගේ අභිලාෂයන් ඉදිරිපත් කරන බව රුසියාව දන්නවා. යුක්‍රේනයේ ගැටුම් පවතින තාක් යුරෝපා සංගමය යුක්‍රේනය සමඟ ඇතිකරගන්නා සහයෝගිතා ගිවිසුම් සාර්ථක නොවෙන බවත් රුසියාව දන්නවා. මේ අනුව ඩොන්බාස්හි ස්වාධීනත්වය ගැන එකඟතාවයකට එන්න මේ රටවල් දෙකට මේ කපේදිනම් බැරිවෙයි. ඒ අනුව Minsk 2 ගිවිසුම අනුව සිදුවූ එකම වැදගත් දේ සිරකරුවන් හුවමාරුව විතරයි.
දැන් වර්තමාන යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ යුගයට එමු. සෙලෙන්සි කියන්නේ වෘත්තිමය දේශපාලඥයෙක් නෙවෙයි. උන්නැහේ විකට නළුවෙක්. සමහර රටවල් වලනම් ජනාධිපතිවරු විකටයන් බවට පත්වෙනවා. ඒත් සෙල්න්ස්කි කළේ ටෙලිනාට්‍යයක ජනාධිපතිවරයෙකුගේ චරිතයක් නිරූපනය කිරීම. මේ විකට ජනාධිපති රටේ සියළුම දූෂිතයන්ට එරෙහිව නැඟී සිටිනවා. ටෙලි නාට්‍යයක හරි දූෂිතයන්ට දඩුවම් දෙනවට මිනිස්සු ආසයි. යුක්‍රේනයේ මිනිස්සුත් ටෙලි නාට්‍යය විස්වාස කරලා 2019 මැතිවරණයෙන් සෙලෙන්ස්කිව ඇත්තටම ජනාධිපති පුටුවේ ඉන්ඳවනවා.
ව්ලොදිමීර් සෙලෙන්ස්කි

හැබැයි සෙලෙන්ස්කි කළින් ජනාධිපති වරු වගේ කොලේ ඉරාගෙන ඇඟේ හලාගත්තෙනම් නැහැ. ඔහු මධ්‍යස්ථව හිතන නායකයෙක්. තමන්ගේ රට පැරණි මහ බලවතුන් දෙදෙනාගේ බලය උරගා බලන සටන් බිමක්( Battlefield)වී ඇති බව උන්නැහේ දන්නවා. ඔහු බොහෝ කල්පනාකාරීව තමයි මේ අවුල විසඳගන්න හදන්නේ. ඔහු අලුත්ම ගිවිසුමකට එකඟවුණා. මේ ගිවිසුම හඳුන්වන්නේ Steinmeire Formula නමින්. හිටපු ජර්මානු ජනාධ්පති ප්‍රෑන්ක් වෝල්ටර් ස්ටෙන්මයර් තමයි Minsk ගිවිසුම් වලට විකල්පයක් විදියට මේ සාම සැලැස්ම යෝජනා කළේ.
Steinmeire Formula අනුව ඩොන්බාස් පළාතට ස්වයං පාලනයක් ලබාදීමට යුක්‍රේනය එකඟයි. නමුත් ඒ එහි පවත්වන ජනමත විචාරණයකින් පසුවයි. එහි ප්‍රථිපලය කුමක් වුවත් යුරෝපා සංගමයත් එය පිළිගත යුතුයි. හැබැයි ඒ සඳහා යුක්‍රේනය කොන්දේසි ඉදිරිපත් කරනවා. ඒක තමයි ඩොන්බාස් තුළ සම්පූර්ණ සටන් විරාමයක් පැවතිය යුතු බව.ඒ වගේම සියළුම රුසියානු හමුදා හා අවිආයුධ ඉවත් කර ගත යුතු බව. මූලිකව ගත්තොත් මේ ජනමත විචාරණයට කළින් නැගෙනහිර දේශසීමාවේ සම්පූර්ණ පාලනය තමන් සතුකර ගන්න යුක්‍රේනයට අවශ්‍යයි. යුක්‍රේන පාලනය යටතේ මේ ජනමත විචාරණය පැවැත්වුවොත් තමන්ට වාසි සහගත විදියට වැඩේ ගොඩදාගන්න පුළුවන් කියල සෙලෙන්ස්කි හිතනවා.
නමුත් රුසියාව කියන්නේ මැතිවරණය හා ස්වයං පාලන තීරණය පළමුව ගමු කියලා. ඉතුරු හරිය ඊට පස්සෙ බලාගමු කියලා. නමුත් යුක්‍රේනය ඒ අවදානම ගන්න කැමති නෑ. බැරි වෙලාවත් ඩොන්බාස් වෙත ස්වයං පාලන බලතල හිමිවුණොත් ඒ ප්‍රාන්තයේ සිට මුළු යුක්‍රේනයම අස්ථාවර කරන්න පුළුවන් බව සෙලෙන්ස්කි දන්නවා. රුසියාව ඩොන්බාස් කැරළිකරුවන් හරහා සමස්ත යුරෝපයටම දැනට කරන බලපෑම ස්වයං පාලනයක් යටතේ ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්.
ඒ අනුව Steinmeire Formula සැලැස්මත් අසාර්ථකයි. යුක්‍රේනය දැන්
තියෙන්නේ ගිණිගොඩක් උඩ. ඔවුන්ට කවදාවත් බැහැ ඩොන්බාස් වලට අතදාන්න ආවොත් බලාගෙනයි කියල රුසියාවට කියන්න. ඒ වගේම යුක්‍රේනයට ඩොන්බාස් අතහරින්නත් බැහැ. සෙලෙන්ස්කි දැන් පැටළිලා ඉන්නේ පඹගාලක. ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී උගුලක. යුක්‍රේනය කරන ඉල්ලීම් හීන් කෙඳිරිල්ලක් විතරයි. රුසියානු බලපෑමෙන් මිදෙන්න ඔවුන් නේටෝවේ සහාය බලාපොරොත්තු වෙන්නේ ඒ නිසයි.
නමුත් නේටෝව තවමත් යුක්‍රේනය වෙනුවෙන් ගේමට බැහැල නෑ. ඒත් පෝලන්තයටත්, එස්තෝනියා, ලිතුවේනියා, ලැට්වියා යන බෝල්ටික් රටවල් වලටත් තමන්ගෙ හමුදා යවන්න නේටෝව කටයුතු කළා. ඒ රටවල් සියල්ල නේටෝවට අයිති නිසා ඒවා රුසියානු බලපෑමෙන් මුදවා ගන්න නේටෝ සංවිධානයට වගකීමක් පැවරෙනවා. නමුත් යුක්‍රේනය කියන්නේ තවම NATO partner country එකක් විතරයි. තවම ඔවුන්ට NATO සාමාජිකත්වය ලබා දී නැහැ.

දෙසැම්බර් මාසයේ දිනයෙක ධවල මන්දිරයේ සිට යුක්රේන ජනාධිපතිවරයා අමතන ඇමෙරිකානු ජනාධිපති බයිඩන් මහතා Photo : Doug Mills/The New York Times
ඒත් ඇමෙරිකාවේ උවමනාව මත තවත් NATO රටවල් 7ක් සමඟ එකතු වී මහා පරිමාණයේ ගුවන් හමුදා අභ්‍යාසයක් කරන්න යුක්‍රේනය කටයුතු කළා. ඒ අභ්‍යාසය පැවතියේ 2018 දී බටහිර යුක්‍රේනය තුළ. ඒ අභ්‍යාසය පූටින්ට එතරම් දිරවලා ගියේ නැහැ. පැරණි සෝවියට් සංගමයට අයත් රටවල් වල සිදුකරන ඕනෑම ඇමෙරිකානු හමුදා මැදිහත්වීමක් පූටින් මහත්තයාට වහකදුරු වගේ. කොහොම නමුත් ඒ වගේ හමුදා අභ්‍යාස වලින් එහාට ගිහින් NATO සාමාජිත්වය නැති යුක්‍රේනයට කෙළින්ම අතදාන්න ඇමෙරිකාවටත් බැහැ. කොහොමත් ඒකට යුරෝපයේ NATO රටවල් කැමතිත් නැහැ. ඒ නිසා යුක්‍රේනය රුසියාවට එරෙහිව යනවානම් අනිවාර්යයෙන් NATO හමුදා බලය ඔවුන්ට උවමනා බව පැහැදිලියි.
දැන් ප්‍රශ්නය ඇයි යුක්‍රේනයට තවම NATO සාමාජිකත්වය ලබා දී නැත්තේ කියන එක. දැන් තියෙන දේශපාලන වාතාවරණය උඩ බහුතර යුක්‍රේනුවානුවන් යුරෝපයත් එක්ක එකතුවෙන්න කැමතියි. ඇමෙරිකාව හරි යුරෝපය හරි දෙන ඕනෑම උදව්වක් ගන්නත් යුක්‍රේන වැසියන් සැදී පැහැදී ඉන්නවා. ඇයි එහෙනම් යුක්‍රේනයට තවම NATO සාමාජිකත්වය හෝ අඩු ගණනේ යුරෝපා සංගම් සාමාජිකත්වයවත් නැත්තේ. යුරෝපා සංගමය සමඟ වෙළඳ ගිවිසුම් අස්සන් කළත් යුක්‍රේනය තමන්ගෙ ගොඩට ගන්න යුරෝපා සංගමය මැළි වෙන්නේ ඇයි?

ඇත්තටම ඒකට මූලික හේතුව රුසියාවම තමයි. සීතල යුද්ධය හමාරයි කිව්වට ඒක අදාල වෙන්නෙ ඇමෙරිකාව හෝ රුසියාව වේදිකාවට ගොඩ වෙනකම් විතරයි. යුක්‍රේනයට NATO සාමාජිකත්වය ලබා දුන්නොත් අනිවාර්යයෙන් තමන්ගේ හමුදා යුක්‍රේන දේශසීමාවේ රුසියාවට එරෙහිව රඳවන්න නේටෝවට සිදුවෙනවා. යුරෝපා සංගමයත් ඇමෙරිකාවත් කිසිදිනෙක බළලාගේ කරේ ගෙජ්ජි එල්ලන්න යන්නෙ නෑ. දෙවන ලෝක යුද්ධයෙන් පසුව මහා බලවතුන් විශේෂයෙන් න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධ ඇති වෙනවාට කවුරුත් කැමති නැහැ. විශේෂයෙන් යුරොපාකාරයේ ස්ථාවරත්වයේ ආර්ථික වාසිය ගන්න ප්‍රංශය,ජර්මනිය හා ඉතාලිය වගේ යුරෝපා නායකයන් කැමති වෙන්නෙ නැහැ.
අනිත් කාරණය යුරෝපා සංගමයේ සාමාජිකත්වය. යුක්‍රේනයට ඒක ලබා දුන්නොත් විශාල සංක්‍රමණික ප්‍රශ්ණයක් යුරෝපයේ ඇතිවෙනවා. මිනිස්සු කැමතියි සම්පත් අඩු තැනකින් සම්පත් බහුල තැනකට යන්න. ඒ නිසා යුක්‍රේනියානුවන් බොහොමයක් යුරෝපයේ පොහොසත් රටවල් වලට සංක්‍රමණය වනු ඇති බවට මතයක් තියෙනවා.
කොහොමත් දැනටමත් යුක්‍රේනයට රුසියානු හමුදා ඇතුළු වෙලා ඉවරයි. යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා දුන්නොත් ඇමෙරිකාවටවත්, යුරෝපයටවත් ඇහැ කණ පියාගෙන ඉන්න බැහැ. අනිවාර්යයෙන්ම පූටින් එක්ක යුද්ධයකට යන්නම වෙනවා. ඇෆ්ගනිස්තානයේ තලේබාන්ලා එක්ක හැප්පුනා වගේ රුසියානු ඩොන්බාස්ලා එක්ක හැප්පෙන්න බැරි බව ඇමෙරිකානු උපාය මාර්ගිකයන් දන්නවා. අනිත් අතට ඇමෙරිකාව කවුරු වෙනුවෙන්ද එවැනි අවදානමක් ගන්නේ. යුක්‍රේන ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියන තර්කයක් ගේන්නත් මෙතැනදී බැහැ. මොකද රුසියාවෙන් කියන්නේ ඩොන්බාස් ප්‍රාන්තයේ ඡන්දය තියලා මිනිස්සුන්ට කැමති තීරණයක් ගන්න කියන එක. ඡන්දය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේම අංගයක්. අනිත් අතට රුසියාවට විරුද්ධව යුද්ධයකට යන්න සියළුම NATO රටවල් එකඟ කර ගැනීමත් ලේසි නැහැ. ඒ නිසා යුක්‍රේනයට NATO සාමාජිකත්වය හෝ EU සාමාජිකත්වය ලබාදෙන එක බටහිර බලවතුන් උවමනාවෙන්ම මඟහරින බව පේනවා.
අනිත් අතට ඩොන්බාස් පළාතේ ස්වයං පාලනය ගැන රුසියාවත් යුක්‍රේනයත් අතර එකඟතාවයක් ඇති වෙන්න ඉඩකුත් නැහැ. කවුරුත් කැමති නැහැ අඩියක් පස්සට ගන්න. රුසියාව කොහොමත් ඒක කරන්නෙ නෑ. පූටින් ටිකින් ටික පැරණි සෝවියට් බලය සොයාගෙන යනවා. යුක්‍රේන නායකයා පස්සට ගියොත් ඔහුට වෙන්නෙත් යැංකොවිච්ට වගේ පලා යන්න. මොකද රුසියාවට වාසිසහගත තීරණයක් ගත්තොත් මහා සිවිල් විරෝධයක් එන බව ඇත්ත. එහෙම වුණොත් විකට නළුවාගෙන් වාඩුව ගන්න Euromaiden ව්‍යාපාරයක් ආයෙමත් ගොඩනැගෙන්න ඉඩ තියෙනවා.
රුසියාවට එරෙහි යුද්ධයකදී අනිවාර්යයෙන්ම චීනයත් ඒකට පැටලෙන බව පෙනෙන්නට තිබෙනවා. ලී ක්වාන් යූ කිව්වා වගේ චීනය දැම්මම යුද්ධ වල පැටලෙන්න සූදානම් නැහැ. චීන්නු යන්නේ 2030 වෙන විට ලෝක ආර්ථික බලවතා වීමේ ගමනක. තවමත් ඇමෙරිකාවත් එක්ක යුද්ධයක පැටලෙන්න අපහසු බව ඔවුන් දන්නවා. ඒත් රුසියානු-ඇමෙරිකානු ගැටුමකදී චීනයට මඟ හරින්න බැහැ.
බීජිං නුවර පැවති ශීත සෘතු ඔලිම්පික් උත්සවයට පැමිණි පූටින් මහතා පිළිගත් චීන ජනපති ෂී ජිං පිං Photo : New York Times

පූටින් උන්නැහේ මේ සියළුම කාරණා හොඳින් අධ්‍යයනය කර ඇති බව පේනවා. ඒ නිසා යුක්‍රේනය තුළ බටහිර බලපෑම් තිබෙන තාක් පූටින් යුක්‍රේනයේ බෙල්ල අතහරින්න සූදනම් නැහැ. ඒ නිසා යුරෝපයේ බලවතුන් සැම විටම හිතන්නේ යුක්‍රේනය තුළ රුසියානු අතපෙවීම් සමනය කිරීමක් ගැන මිසක් රුසියාව මුළුමනින්ම එයින් පන්නා දැමීමක් ගැන නෙවෙයි.
මුළු යුරෝපයටම බලශක්තිය සපයන ප්‍රධාන මූලය තියෙන්නේ රුසියාවේ. බලශක්ති අර්බුදයක් ඇති වුණොත් යුරෝපා ආර්ථිකයට පැවැත්මක් නෑ. අනිත් අතට රුසියාවත් තමන්ගේ ස්වාභාවික ගෑස් වලට ඇති යුරෝපා මාකට් එක නැති කර ගන්න කැමැත්තක් නැහැ. .ඇන්ජලා මර්කල් ජර්මානු චාන්සලර්වරිය ලෙස හිටපු කාලේ පූටින් එක්ක මනා ඇයි හොඳැයියක් පවත්වා ගෙන ගියා. රුසියාවේ සිට ජර්මනියට ගෑස් ගෙන යන සැතපුම් 750ක් දිග Nord Stream පයිප්ප නළ මාර්ගය බෝල්ටික් මුහුද හරහා ඉදිවුණේ ඒ කාලයේ. මෙහි දෙවැනි පියවර හෙවත් Nord Stream 2 දැනට ඉදිවෙමින් පවතිනවා. මේ නළ මාර්ගය ජර්මානු හා රුසියානු ආර්ථිකයට දැවැන්ත වාසියක් ගෙනාවත් ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් ඒකට මනාප නැහැ. ඒ යුරෝපය වෙත බලපෑම් කිරීමට මේ ව්‍යාපෘතිය තුළින් මොස්කව් පාලනයට පුළුවන් වේවියි කියන සැකය නිසා.

රුසියාවේ සිට ජර්මනියට ස්වාභාවික ගෑස් රැගෙන යන සැතපුම් 750 ක් දිග Nord Stream නළ මාර්ගය. Photo : WSJ
රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කෙරුවොත් මේ Nord Stream 2 ව්‍යාපෘතිය නවතා දමන බව ඇමෙරිකානු ජනාධිපති බයිඩන් මහත්තයා කියනවා. එය ඉදිකරන මව් සමාගම් වලට සම්බාධක පැනවීමෙන් ඇමෙරිකාවට ඒක ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්. ඒ නිසා ජර්මනියත් දැන් ඉන්නේ උගුරට හොරා බේත් ගන්නවා වගේ. යුක්‍රේන අර්බුදය හමුවේ ජර්මනියේ නව චාන්සලර් ඔලාෆ් ස්කොල්ස් නිදිවැදී ඇති බව ජර්මානුවන් චෝදනා කළෙත් චාන්සලර්වරයාගේ මේ නිහැඩියාව නිසා. නමුත් ජර්මනියට මේ වෙලාවෙ කාගෙවත් කිල්ලෝට වල හුණු කිරන්න තරම් තත්ත්වයක් නැහැ. ඒත් ජර්මනිය හොරගල් අහුල අහුල ඉන්න බව තේරුම් ගත්ත බයිඩන් ඕලාෆ්ව වොෂින්ටන් නුවරට ගෙන්වා ගත්තා. බයිඩන්ගේ පදයට නටන්න අකමැති වුණත් ඕලාෆ් මහත්තයා මේ වෙලාවෙ ඔලුව හොල්ල හොල්ල ඉන්නේ රැවුලයි කැදයි දෙකම බේර ගන්න උවමනා නිසා බව පේනවා.
ඒ වගේම දැනට යුක්‍රේනයටත් ස්වාභාවික ගෑස් සපයන්නේ රුසියාව. යුරෝපයේ අනිකුත් රටවලට ගෑස් සපයන නළ මාර්ග දැනට වැටී ඇත්තෙත් යුක්‍රේන භූමිය හරහා.
ඒ නිසා යුක්‍රේන දේශ සීමාවේ රුසියානු හමුදා බලය වැඩි කිරීම ගැන යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඒ තරම් කළබල වෙලා නැහැ. අද හෙට පූටින්ගේ හමුදා යුක්‍රේනය අල්ලා ගන්නා බවට වූ බටහිර මාධ්‍ය වාර්තා තුළින් තමන්ගේ රට අස්ථාවර කරන බව සෙලෙන්ස්කි මහත්තයා බටහිරට චෝදනා කරනවා. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළොත් යුරෝපයේ ගෑස් මිල අහස උසට යනවා. යුරෝපයේ ප්‍රධාන කර්මාන්ත ව්‍යාපාර රඳාපවතින්නේ රුසියාවේ ගෑස් මත. ගෑස් මිල අසීමිතව වැඩි වුණොත් ඒ හේතුවෙන්ම යුරෝපයේ කාර්මික වෙළඳපොළ කඩාගෙන වැටෙනවා. ඒත් එක්කම යුරෝපයේ මූල්‍ය වෙළඳපළත් ඇද වැටෙනවා. ඉන් පසුව විදේශ ආයෝජකයන් යුරෝපයෙන් ඉවත් වෙනවා. එහෙම වුණොත් එය යුරෝපා ආර්ථිකය ඉතාමත් නරක විදියට බලපානවා.
ඒ නිසා තමයි ප්‍රංශය, ජර්මනිය, ක්‍රොඒෂියාව මේ ගැටුමේ පාර්ශවකරුවන් වෙන්න අකමැති. ඇමෙරිකාව ඇඟට ගත්ත තරම් බරකට ඔවුන් මේ ප්‍රශ්ණය කරට ගන්නෙ නෑ. ඇමෙරිකාව යුක්‍රේනයට හමුදා ආධාර යැව්වත් ජර්මනිය යැව්වේ වෛද්‍යාධාර විතරයි. පූටින් කියන්නේ ගරු කටයුතු මහත්තයෙක් කියාපු ජර්මානු නාවික හමුදාපතිට ගෙදර යන්නත් වුණා. පූටින්ට යුක්‍රේනය අල්ලා ගන්න ඕනෑනම් මෙච්චර කල් ඇද ඇද ඉන්න උවමනා නැති බවත් ඔහු කිව්වා. යුක්‍රේනය වෙනුවෙන් රුසියාව එක්ක ගැටුමකට යන්න යුරෝපයේ බලවතා වූ ජර්මනියට උවමනා නැති බව පැහැදිලියි. එහෙම වුණොත් යුරෝපා මූල්‍ය වෙළඳපළේ කඩාවැටීම ගැන ජර්මනිය හොඳින් ගණන් බලා තිබෙනවා.
පූටින්ව වර්ණනා කරලා ජර්මානු නාවික හමුදාපතිට ගෙදර යන්න උනත් උන්නැහේ කියාපු දේ දේශපාලනික වශයෙන් ඇත්ත. පූටින්ට යුක්‍රේනය අල්ලා ගන්න ඕනෑනම් මෙච්චර තටමන්න ඕනෑ නැහැ. දැනුත් නැගෙනහිර යුක්‍රේනයේ ඇත්ත බලය තියෙන්නේ පුටින් අතේ.අවුරුදු 8ක් තිස්සේ ක්‍රිමියාවත්, ඩොන්බාස් ප්‍රාන්තයත් තිරය පිටුපස සිට මෙහෙවන්නේ පූටින්. උන්නැහේ මේ කරන්නේ යුක්‍රේනයට හොම්බ දාන්න එපා කියල ඇමෙරිකාවටයි යුරෝපයටයි කරන අනතුරු හැඟවීම.
යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි වුණත් දන්නවා යුරෝපයේ තමන්ට ඇත්ත මිතුරන් නැති බව. ඔහුගේ ඉවසීම යුක්‍රේන උපදේශකයෙක් විසින් හදුන්වන්නේ Olimpian calm නම්න්. ඒක ඔලිම්පික් ක්‍රීඩා වලට සම්බන්ධයක් නෑ. හෝමර්ගෙ ඉලියඩ් හා ඔඩිසි කාව්‍යයේ එන ඔලිම්පස් දෙවියන්ගේ වගේ ඉවසිමක් ගැන තමයි ඒ වචනයෙන් කියවෙන්නේ.
අර්බුදය සමථයකට පත්කිරීමට මොස්කව් නුවරට පැමිණි ප්‍රංශ ජනාධිපති එම්මෑනුවල් මැක්රෝන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග Photo : New York Times
කොහොම හරි මේ අර්බුදයෙන් යුරෝපය බේරාගැනිමේ ගැලවුම්කරුවාගේ භූමිකාවට පණපොවන්නේ ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන්. ඇන්ජලා මර්කල් නෝනාගෙන් පස්සේ යුරෝපයේ නිල නොවන නායකයා ( De facto leader) වුණේ මැක්‍රෝන්. ජර්මනියේ ඕලාෆ් මහත්තයා ටිකක් තෙම්පරාදු වෙනකම් මැක්‍රෝන්ට යුරෝපා සංගමය ඇදගෙන යන්න වෙනවා. හිට්ලර්ලාගේ, ස්ටාලින්ලාගේ ලෝකයක් නෙවෙයි දැන් තියෙන්නේ. යුද්ධයට වඩා සාමය කෙතරම් වැදගත්ද යන්න මැක්‍රෝන්ලා දන්නවා. හොර පූසා වගේ ඉන්න පූටින් මහත්තයාත් ඒක නොදන්නවා නොවේ. ඒ නිසා යුක්‍රේනය ආක්‍රමණය කිරීමට තරම් භූ දේශපාලන ඉඩක් වර්තමාන ගෝලීය දේශපාලනය තුළ රුසියාවට ලැබී නැති බව පැහැදිලියි. පූටින් යුක්‍රේනය අල්ලලා බටහිරට පාඩම් උගන්වන හැටි ගැන පුල පුලා බලා ඉන්න ලංකාවෙ යක්ඛ පුතුන්ටත් මේ ලිපිය කියවන්න ලැබුණොත් ලොකු දෙයක්. ඇගේ හයියට ප්‍රශ්ණ විසදගන්න මහ බලවතුන්ටත් බැරිනම් අපි ගැන කවර කතාද? මෙවැනි ගැටුම් සමථයකට පත්කරන්න උපාය මාර්ගික හා රාජ්‍යතාන්ත්‍රික දැනුම කොතරම් වැදගත්ද යන්න මේ ලිපිය සම්පූර්ණයෙන් කියවූවානම් ඔබට වැටහේවි.
– ශානක ලියනගම
lokayaekamayayak.blogspot.com

සබැඳි

Leave a Reply

Your email address will not be published.