පූටින් යුක්‍රේනය අල්ලා ගනීද?

රුසියානු හමුදා විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ඕනෑම මොහොතක සිදුවනු ඇති බව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ෂක උපදේශකයා ඉඟි පළකර තිබෙනවා. යුක්‍රේනය ආක්‍රමණය කිරීමට ජනාධිපති පූටින් මේ වන විටත් තීරණය කර ඇද්ද යන්න සැක සහිත වුවත් එවැනි ආක්‍රමණය කිරීමකට සියල්ල සූදානම් වී ඇති බව ඇමෙරිකාව කියා සිටිනවා. යුක්‍රේනය මුළුමනින්ම අල්ලා ගැනීමට අවශ්‍ය හමුදා බලයෙන් 70%ක් මේ වන විටත් රුසියානු-යුක්‍රේන දේශසීමාවේ ස්ථානගත කර ඇති බව ඇමෙරිකාවේ ඇස්තමේන්තුවයි.
ඇමෙරිකානු බුද්ධි අංශ වල තක්සේරුව අනුව රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කළහොත් සිවිල් වැසියන් 50000ක් පමණ මරණයට පත්වනු ඇති. ඒ වගේම දෙපාර්ශයේම හමුදා මරණ දසදහස් ගණනින් වාර්තා වනු ඇති. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇති වන විශාලතම හමුදා මෙහෙයුම වනු ඇති.
යුක්‍රේනය ආක්‍රමණය කළහොත් රුසියානු හමුදා ලෙහෙසියෙන්ම කීව් අගනුවර වටකර මහජන ඡන්දයෙන් බලයට පත් වූ ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි බලයෙන් පහකර දමනු ඇතැයි සඳහන්. ඉන් පසුව බෙලරූස් රාජ්‍යයේ මෙන් රුසියානු මපට් ආණ්ඩුවක් පත්කර ගනු ඇති. එවැනි තත්ත්වයකදී දස දහස් ගණන් යුක්‍රේන සරණාගතයන් යුරෝපයේ අනිකුත් රටවලට පැමිණෙතැයි අපේක්ෂිතයි. මේනිසා මේ පැරණි සෝවියට් සමූහාණ්ඩු 2 අතර අර්බුදය සමස්ත යුරෝපයටම බලපාන ගැටළුවක් වී තිබෙනවා.
2014 දී ජනාධිපති පූටින් විසින් යුක්‍රේනයට අයත් රුසියානු භාෂාව කතාකරන බහුතරයක් ජීවත් වන ක්‍රිමියානු අර්ධද්වීපය තම රටට ඈඳාගත්තා. ඊට අමතරව දොන්බාස් ප්‍රාන්තයේ වෙසෙන බෙදුම්වාදීන්ටත් රුසියානු ආධාර ලැබෙනවා. දොන්බාස් ප්‍රාන්තය ඩොන්ට්ස්ක් හා ලුහාන්ස්ක් යනුවෙන් දිස්ත්‍රික්ක දෙකකට බෙදෙනවා. මේ කලාපයෙන් රුසියාවට මායිම්ව ඇති තුනෙන් එකක ප්‍රමාණයක් පාලනය කරන්නේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන්. පූටින් මහතා කියන්නේ දොන්බාස් ස්වාධීන රාජ්‍යයක් වියයුතු බව.
කොහොම නමුත් මුළු යුක්‍රේනයම ආක්‍රමණය නොකළත් දොන්බාස් ප්‍රාන්තය තම බල අධිකාරයට නතු කර ගැනීමට පූටින් කටයුතු කරනු ඇති. තවත් මතයක් වන්නේ දොන්බාස් බෙදුම්වාදීන් ලවා කරන සයිබර් ප්‍රහාර මාලාවකින් යුක්‍රේන ආණ්ඩුවේ කටයුතු අඩාල කිරීමට රුසියාව කටයුතු කරනු ඇති බව.මෙවැනි වාතාවරණයකදී ඇමෙරිකානු හමුදා යුක්‍රේනයේ සහායට පැමිණේවිදැයි බොහෝ අය අසන ප්‍රශ්නයක්. නමුත් ඇමෙරිකාව යුරෝපයේ ආරක්ෂක කටයුතු වලට මැදිහත් වන්නේ නේටෝ සංවිධානය හරහා පමණයි. යුක්‍රේනය නේටෝ රටක් නොවන නිසා එවැනි හමුදා මැදිහත් වීමක් සිදු නොවන බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් පෝලන්තය,රුමේනියාව ආදී නේටෝ රටවල දේශසීමා ආර්ක්ෂා කිරීමට ඇමෙරිකානු හමුදා මේ වන විට පැමිණෙමින් තිබෙනවා. ඊට අමතරව යුක්‍රේනයට වෙනත් ආකාරයේ යුද ආධාර කිරීමටත් බයිඩන් පාලනය සූදානම්.
යුරෝපා එළිපත්තේ ඇතිවන යුද්ධයක් පොදුවේ සමස්ත යුරෝපයේම දේශපාලන,ආර්ථික හා සමාජ ක්‍රියාවලියට බලපානවා. විශේෂයෙන් යුරෝපා රටවලට රුසියාවත් සමඟ ආර්ථික සම්බන්ධතා රාශියක් තිබෙනවා. යුරෝපයේ බොහෝ රටවල් භාවිතා කරන බලශක්ති ප්‍රභවයන් ලැබෙන්නේ රුසියාවෙන්. මේ නිසා ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්රෝන් මේ අර්බුදය සමථය කර ගැනීමට විශාල වෙහෙසක් ගන්නවා. ඔහු අද වන විට මොස්කව් නුවරට ගොස් තිබෙනවා. ඇන්ජලා මර්කෙල්ගෙන් පසු යුරෝපයේ නිල නොවන නායකයාගේ භූමිකාව රඟදක්වන්නේ මැක්රෝන්.
කොහොම නමුත් හිටපු ජර්මානු චාන්සලර්වරිය වූ මර්කල් මැතිණියගේ නික්මයෑමෙන් ඇති වූ හිඩැස මෙවනි අර්බුදයකදි කැපි පෙනෙනවා යුරෝපය සාමකාමී කලාපයක් ලෙස පවත්වාගැනීමට ඇයගේ නායකත්වය බොහෝ සෙයින් බලපෑවා. යුරෝපාකරය ගිණියම් වී ඇති මොහොතක නව චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් නිදිවැදී ඇති බවට රට ඇතුළෙන්ම චෝදනා එල්ල වෙනවා. අද වන විට ඔහු වොෂින්ටනයට ළඟා වී ඇත්තේ යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් බයිඩන් මහතා සමඟ සාකච්ඡා කිරීමට බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.
– ශානක ලියනගම (fb)


Leave a Reply

Your email address will not be published.