වසර එකහමාරක් රැඳවුම් භාරයේ තබාගෙන සිටි හිජාස් ඉස්බුල්ලාට ඇප ලැබෙයි!

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා ඇප මත මුදා හරින ලෙස මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන දෙදෙනාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියම කර තිබේ.
හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුව ඇප මත මුදා හරින ලෙස හලාවත මහාධිකරණය වෙත නියෝග කළේය.
හිජාස් ඉස්බුල්ලා විසින් අධිකරණ වෙත කරන ලද ඉල්ලීම් කිහිප අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයාගේ පාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය අද එම නියෝගය නිකුත් කර තිබේ.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව කියමින් 2020 අප්‍රේල් 14 වනදා මානව හිමිකම් නීතිඥයකු වන හිජාස් හිස්බුල්ලාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් අතර මාස 18ක පමණ කාලයක් රැඳවුම් නියෝග යටතේ රැඳවුම් භාරයේ තබාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. අවසානයෙහි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සාක්ෂි නොමැති වීම නිසා ඔහුට නඩු පැවරුණේ අන්තවාදී දේශනයක් සිදුකිරීම සම්බන්ධයෙනි.
කෙසේ නමුත් අද දිනයේදී ඔහුට ඇප මත නිදහස් වීමේ අවස්ථාව ලැබී තිබේ.

Leave a Reply

Your email address will not be published.