ඉස්කෝලේ ගැන මතක් වෙන කොට, ළමයි ඉස්කෝලෙට දාගන්න කාපු කට්ට නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. පුදුම මානසික වධයක් ඒ දවස්වල තිබුණේ. දරුවා දාන්නේ මොන ඉස්කෝලෙට ද කියලා බබෙක් ලැබෙන්න ඉස්සෙල්ලත් හිතන්න වෙන තැනට වැඩේ තිබුණේ. හැබැයි ලැබෙන්නේ දුවෙක් ද, පුතෙක් ද කියලා දැනගත්ත දවසේ ඉඳලා ගේම් එකක තමයි හිටියේ. ලංකාවේ කොහොමත් වැඩේ හදලා තිබුණේ, ළමයෙක් ඉස්කෝලෙට ගන්නවාට වඩා නොගන්න විදියට. ඒකට ඕනෑ කරන සුදුසුකම් ටික දැක්කහම පුදුම හිතෙනවා. මීටර් 500 දුර, වසර ගණනක් ඡන්ද නාමලේඛනයේ නම, ඉඩම් ඔප්පු, ලයිට් බිල්, වතුර බිල්, ආදිශිෂ්‍ය සංගම්වල වැඩ තව මොන තරම් තිබුණ ද දරුවෙක් ඉස්කෝලෙට දාගන්න සුදුසුකම් විදියට.
දරුවකුට ඉස්කෝලේ යන්න තියෙන සුදුසුකම ළමයෙක් වෙනවට අමතරව තවත් මොනවද ඕනෑ. ඒත් එතැන තරගයක් හැදුණේ පහසුකම් තියෙන ඉස්කෝල කිහිපයක් වීමත්, ඉතිරි ඉස්කෝල අවම පහසුකම් සහිත දුප්පත් ඉස්කෝල විදියට පැවැතීමත් නිසා. රටක කොහොම ද දුප්පත් ඉස්කෝල සහ පොහොසත් ඉස්කෝල, එහෙමත් නැත්නම්, ජනප්‍රිය පාසල් සහ ජනප්‍රිය නොවන පාසල් කියලා පාසල් වර්ග තියෙන්නෙ. මේ ජනප්‍රිය පාසල්වලට ළමයි ගන්න අම්මලාගෙන් ලිංගික අල්ලස් ඉල්ලන තැනට විදුහල්පතිවරු පත්වෙලා හිටියේ. ළමයෙක් පාසලකට දාගන්න අම්මලාට ලිංගික අල්ලස් දෙන්න, ඇමතිතුමා ළඟ වැඳ වැටෙන්න, ඡන්දය දෙන්න, පගා දෙන්න, හොරට ලියකියවිලි හදන්න, පාසල්වලට විශාල මුදල් ආධාර දෙන්න සිද්ධ වුණු කාලයක් තිබුණ රටක් මේක.
ඒත් දැන් එහෙම නැහැ. ඉපදෙන හැම දරුවකුටම දෙමවුපියන්ගේ තත්ත්වය, වත් පොහොසත්කම්, තනතුරු නොසලකා සියලු පහසුකම් සහිත ඉස්කෝලයක් දෙන එක ආණ්ඩුවේ වගකීමක් වගේම කලින් තිබුන නිර්ණායක නොසලකා පාසලකට ඇතුළත් කරගැනීමටත් ආණ්ඩුව හරියටම වැඩේ හදලා තියෙන්නේ. හොඳ පාසල්, නරක පාසල් කියලා වර්ග දෙකක් නැහැ. සියල්ලම හොඳම පහසුකම් සහිත අංගසම්පූර්ණ ඉස්කෝල. හැම ළමයටම තමන්ගේ ගෙදරට ළඟ ම ඉස්කෝලෙට යන්න පුළුවන්. ඉස්සර ‘ළඟ ම පාසල හොඳ ම පාසල’ කියලා බෝඩ් එකක ගහලා තිබුණට දැන් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නෙ හරියට ම. හැම ඉස්කෝලෙ ම පරිගණක මධ්‍යස්ථානයක්, පරිපූර්ණ විද්‍යාගාරයක්, අංගසම්පූර්ණ පුස්තකාලයක්, ක්‍රීඩාපිටියක්, හැම විෂයයකටම ගුරුවරු, වෛද්‍ය පහසුකම්, ටොයිලට් පහසුකම්, බොන්න වතුර මේ සියල්ලම දැන් හැම ඉස්කෝලෙම තියෙනවා. කලින් වතුර නැති, ටොයිලට් නැති ඉස්කෝල ලංකාවේ කොච්චර තිබුණද?
අනික දරුවෝ දැන් ඉස්කෝලේ යන්නේ හරිම ආශාවෙන්. පාන්දරම නැඟිටින්න ඕනෑ නැති එකත් ඒකට හේතුවක්. ගුරුවරුත් හරිම උනන්දුයි. ඉගැන්වීම ගැන හරි අගැයීමක් දෙපාර්තමේන්තුවට තියෙනවා. විෂය කරුණු හරියට උගන්වන නිසා දැන් වෙනදා වගේ හවසට පන්ති යන්න ඕනැත් නැහැ. දැන් ගොඩක් දරුවෝ හවසට සෙල්ලම් කරනවා. උන්ට ළමා කාලයක් දැන් තියෙනවා. ටියුෂන්වලට වියදම් කරපු සල්ලිත් දැන් ඉතුරුයි. දරුවන්ට ඕනෑ කරන උපකරණ පවා දැන් අරන් දෙන්නෙ ඉස්කෝලෙන්. අපේ පොඩි පුතාට වයලීනය අරන් දුන්නෙත් ඉස්කෝලෙන්මයි. ක්‍රීඩා කරන්න කිසිම උපකරණයක් ගෙදරින් අරන් යන්න ඕනැත් නැහැ. අර හොඳ ඉස්කෝලෙකට දාන්න කියලා පොඩි එවුන් මරවපු විභාගයත් නැහැ නේ. මොක ද? හැම ඉස්කෝලයක්ම හොඳ ඉස්කෝල නිසා. කෙටියෙන්ම කිව්වොත්, අපේ ආණ්ඩුවට ස්තුති වෙන්න දැන් අපේ ළමයින්ගේ අධ්‍යාපනය අපට කිසිම බරක්, කරදරයක් නෙවෙයි●
 

සුනිල් කුමාර ගමගේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.