කාන්තාව කොතැන ද?

කාන්තාව යනු මනුෂ්‍ය සංහතියේ පැවැත්ම තීරණය කරන්නියයි. තවත් පරපුරකට ජීවය ලබා දෙන්නේ ද කාන්තාවයි. ඈත අතීතයේ දී මාතෘමූලික සමාජයක් පැවැති අතර එකල කාන්තාව පිරිමින් හා ගැටෙමින් සමාජය තුළ විශාල කාර්යභාරයක් කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. නමුත් ආගම බිහි වීමත් සමඟ ඇතැම් ආගම් මඟින් කාන්තාව සමාජයේ පහත් තත්ත්වයකට ඇද දමා කටයුතු කර ඇත. එකල සිට යම් යම් අවස්ථාවල කාන්තාවගේ හිමි අහිමිකම්, ඕනෑ-එපාකම් පිළිබඳව වරින්වර විවිධ මතවාද, විවිධ වැඩසටහන්, ප්‍රතිපත්ති ක්‍රියාත්මක වුව ද, කාන්තාවක් බොහෝ කාලයක පටන්ම පුරුෂයාට වඩා පහත් තැනක් හිමි කරගෙන සිටි බවට අතීතය සාක්ෂි දරයි. බොහෝ රටවල පවා කාන්තාවට ආර්ථිකය අතින් හෝ අධ්‍යාපනය අතින් හෝ මතවාද දැරීම වෙනුවෙන් කිසිසේත්ම ඉදිරියට ඒමට ඉඩ නොදෙයි. වර්තමානයේ දී තරමක් දුරට බොහෝ රටවල කාන්තාවට හිමි විය යුතු අයිතිවාසිකම්, ඇයට හිමි තැන කොතැන ද යන්න ආදිය පිළිබඳව කතා වුව ද, මේ මොහොතේ දී පවා ඇතැම් රටවල් කාන්තා අයිතිවාසිකම් සීමා කරමින් ඇය ලිංගික වහලියක් බවට පත් කරගෙන ඇත.

කාන්තාවකට වර්තමානය වන විට මුළුමහත් ලෝකයම තුළ සම තැන හිමිව නැතත්, බොහෝ රටවල ඡන්ද බලය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී පිරිමියකුට ලැබී ඇති අයිතිවාසිකම් සියල්ලක්ම ලැබී ඇත. නමුත්, සමාජය තුළ යම් සංස්කෘතික ‍රාමුවකට කොටුව සිටින කාන්තාව තමන් විසින් ම සිර වී හිඳිමින්, කාන්තාවක් යනු එකී රාමුවකට සිර වූ තැනැත්තියක ලෙස නිර්වචන සැපයීම කනගාටුවට කරුණකි.

පුරුෂයා කාන්තාවට වඩා ශක්ති සම්පන්න බව හා කාන්තාව ඔහුට වඩා ළඳ, බොළඳ නැතහොත් බත් තම්බන්නියක ලෙස දිනෙක ස්වාමියාගේ සහ දුවා දරුවන්ගේ වැඩකටයුතු කරමින්, ස්වාමියාට යටහත් පහත්ව සිටිය යුතු යැයි ද, ඇගේ ආශාවන්, අවශ්‍යතාවන් කැප කරමින් විවාහයකින් පසුව ඇයට කුස්සිය හිමි බවක් ද හිස මත අදහස් දරා සිටින්නෝ වර්තමානයේ අප සමාජය තුළ ද සිටිති. නමුත්, අධ්‍යාපනය මෙන්ම ආර්ථිකය තුළ ද පුරුෂයා සමඟ කරට-කර ගැටෙන කාන්තාව විටෙක අධ්‍යාපනය හා ආර්ථිකය තුළ පුරුෂයා ද අභිබවමින් සිටියි. කාන්තාවක් පුරුෂයකුගේ ලිංගික වහලියක් නොවන බව ද කිව යුතුම ය. අද සමාජය තුළ එවන් වූ අදහස් දරමින් ස්ත්‍රිය දරුවන් වදන්නට සහ පුරුෂයාගේ ඕනෑ-එපාකම් ඉටු කරන්නට පමණක් සිටින්නියක ලෙස අදහස් දරන පුද්ගලයන් අතර සැබැවින්ම කාන්තාවක් යනු ඉතා ශක්ති සම්පන්න සහ ඇයට මවකට, සිය සොහොයුරියකට සේ කන් දෙමින් කාන්තාව තම ජීවිතයේ සෙවණැල්ල කර ගනිමින් සාර්ථකත්වටය පත් වූවෝ ද බොහෝ සිටිති. කෙසේ වෙතත්, කාන්තාවක් දිනෙක දරුවකුට උපත දෙන්නේ ද සොබාදහම විසින් එකී වේදනාවක්, දරා ගැනීමක් පුරුෂයකුට වඩා ඇයට දැරිය හැකි නිසා විය යුතු ය. ජීව විද්‍යාත්මකව පවා දරුවකු බිහි කිරීම ඉතා විශාල ශක්තියක් වැය වන දුෂ්කර කාර්යයකි. එවන් ශක්තියක් කායිකව මෙන්ම මානසිකව ද ඇයට ලැබී ඇත. පිරිමියෙක් ගැහැනියකට වඩා ශාරීරිකව ශක්තිමත් වුව ද, ඇයගේ මානසික ශක්තිමත් බව සහ දරාගැනීමේ ශක්තිය ඉහළ බැවින්, දරුවකු බිහි කිරීමේ කාර්යයට ගැහැනිය සුදුසුකම් ලබන්නට ඇත.
කාන්තාවකට වර්තමානය වන විට මුළුමහත් ලෝකයම තුළ සම තැන හිමිව නැතත්, බොහෝ රටවල ඡන්ද බලය, අධ්‍යාපනය, ආර්ථිකය ආදී පිරිමියකුට ලැබී ඇති අයිතිවාසිකම් සියල්ලක්ම ලැබී ඇත. නමුත්, සමාජය තුළ යම් සංස්කෘතික ‍රාමුවකට කොටුව සිටින කාන්තාව තමන් විසින් ම සිර වී හිඳිමින්, කාන්තාවක් යනු එකී රාමුවකට සිර වූ තැනැත්තියක ලෙස නිර්වචන සැපයීම කනගාටුවට කරුණකි. සංස්කෘතිය යනු නිරන්තරයෙන් වෙනස් වන කරුණක් වන අතර, එබැවින් සංස්කෘතිය යන්න කරපින්නාගෙන කටයුතු කිරීම අනුවණකමකි. ඇතැම් අවස්ථාවල සංස්කෘතික කාරණා මුල් කර ගනිමින් කටයුතු කිරීම මඟින් සමාජයේ යහපැවැත්ම තීරණය වන්නේ ද ඇය වෙතිනි. එවන් අවස්ථා හැරුණු කොට කාන්තාව තමා දුර්වල තැනැත්තියක, බත් තම්බන්නියක ලෙස සිතමින්, සිය සැමියාගෙන් නොයෙකුත් තාඩන පීඩනවලට ලක් වෙමින් ඒ සියල්ල ඉවසන්නියක ලෙස ද කටයුතු කරන්නී ය. ඇතැම් අවස්ථාවල කාන්තාව පුරුෂයා අභිබවා යාමට හෝ සංස්කෘතික ‍රාමුවෙන් එපිටට යාමට හෝ බියක් දක්වන්නේ ඇය සමාජය තුළ විවේචනය වේවි යන බිය නිසා විය යුතු ය. කාන්තාවක් විටෙක සිය පිරිමියා පවා අභිබවමින් සිය පවුල්වල ජීවිකාව ගෙන යන අවස්ථා සමාජය තුළ අප බොහෝ දැක ඇත. සිය ස්වාමියා සහ දරුවන්ගේ ද ඕනෑ-එපාකම් ඉටු කරමින් ස්වාමියාගේ පවා බර කරට ගනිමින් එකිනෙකා හා උරෙනුර ගැටෙමින් කාන්තාවන් ඉදිරියට යන අවස්ථා බොහෝ ඇත. බොහොමයක් සේවා ස්ථානවල දී පවා කෙතරම් තාඩන පීඩනවලට කාන්තාව ලක් වුව ද, ඇය ඒ සියල්ලක් දරා ඉදිරියට යන අවස්ථා ඇත. සමාජය තුළ කාන්තාවක් අසරණ වන්නේ කාන්තාවක් යනු දුර්වල තැනැත්තියක් නැතහොත් සුරතලියක් ලෙස සිතන්නට ඉඩ දීම තුළයි. එය එසේ නොවන්නට නම්, තවමත් කාන්තාව තුළම ඇති තමා කාන්තාවක් බැවින්, යටහත් පහත් විය යුතු ය, ශක්තිමත් නොවිය යුතු ය, සමාජයට බිය විය යුතු ය යන සීමා රාමුවලින් එපිටට පැමිණිය යුතු ය. එකී අවස්ථාවල ස්වාමියා අභිබවා යා යුතු යැයි නොව කාන්තාව හා පිරිමියා යන දෙදෙනාටම එක හා සමාන අවස්ථා ඇති බැවින්, කාන්තාවක් සමාජයේ පහත් යැයි සිතා සිටින මානසිකත්වය සහ එසේ කටයුතු කිරීම නොකළ යුතු ය. එමෙන් ම කාන්තාවක් සමාජය තුළ පිරිමියකුට වඩා උසස් යැයි මාන්නයෙන් කටයුතු කිරීමක් ද නොකළ යුතු ය. කාන්තාව හා පිරිමියා යන දෙදෙනාම මනුෂ්‍යයන් වූ කලී පුරුෂයාගේ දායකත්වය ද සමඟින් දෙදෙනා සතු ශක්තිය මඟින් ඉතා යහපත් සුචරිත සමාජයක් දකින්නට ලැබෙන්නේ නම් එය ඉතා වටින්නේ ය.

එල්. බී. එස්. දිල්හාරා
කැලණිය විශ්වවිද්‍යාලය

 

සබැඳි

Leave a Reply

Your email address will not be published.