අප ලද නිදහස තවදුරටත් වලංගු ද ?

1948 පෙබරවාරි මස 04 වෙනි දින අප දිනාගත් ඩොමීනියන් නිදහස සැබවින්ම පූර්ණ නිදහසක් වන්නේ 1972 සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ගෙන එන ලද “ජනරජ ව්‍යවස්ථාව” මගිනි. එහිදී ලංකාව (Ceylon) ශ්‍රී ලංකාව ලෙස නම් කිරීමත් එමගින් “ශ්‍රී ලාංකා ජනරජය” බවට පත්වීමත් සිදුවිය.
1948 වර්ෂයේදී අප නිදහස (නාමික) ලබා ගත්තද, සැබවින්ම අප බ්‍රිතාන්‍ය (British) කිරීටය නිවහල්ව නිදහස්ව රාජ්‍යයක් බවට පරිවර්තනය වන්නේ 1972 ජනරජ ව්‍යවස්ථාවක් මගිනි. මෙමඟින් ස්වාධීන රටක් වශයෙන් විදේශ සම්බන්ධතා පැවත්වීම, රාජ්‍ය නිලධාරීන් පිළිබඳව වගකීම ,බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ (British Royal Army) අවශ්‍යතා පිරීමැසීම යනාදී යදම් රාශියකින් බැඳ තිබුණු මෙරට ඉන් සම්පූර්ණයෙන්ම නිදහස් වී සැබෑ නිදහසේ අරුණළු උදාකර ගැනීමට හැකි වූයේ මෙම “1972 ජනරජ ව්‍යවස්ථාව” මගිනි.

නිදහස යනු කුමක්ද?

නිදහස ( Freedom ) වූ කලී ඉංශ්‍රීසි හෝ වෙනත් භාෂාවකින් ආ වදනක් නොවන්නේ ය. “හිත” නිදහස් කර ගැනීම, අත්හැරීම , ස්ච්ඡන්දතාව යනාදී යෙදුම් නිදහස හැඟෙන වචන යයි සිතීමට පුළුවනි.
ශ්‍රේෂ්ඨ බෞද්ධ දර්ශනයට අනුව නිදහස් වීම යනු “නොඇල්ලීම” යි .එය ආධ්‍යාත්මික හා ආගමික චින්තාවකි.
නොඇල්ලෙන්, නොබැදෙන මිනිසා ඇලීම් බැඳීම්වලින් වෙන්වූ ආස්ථානයක් හිමිකර ගනී. ඒ “ආස්ථානය” ( Stand point ) පරමාදර්ශී නිදහසක් අත්පත් කර ගැනීමක් වන්නේ ය.
“මගේ හිතට නම් කිසිදු ආකාරයක නිදහසක් නැතැයි” කියා සමහරු කියති.
මෙමගින් ගම්‍ය වන්නේ “තම හිත නිදහස් කර ගැනීමයි” ( Freeing one’s mind ) යට දාර්ශනික ප්‍රවේශය අවබෝධ කර ගැනීමට උත්සහ කිරීමයි.
නිදහසට දේශපාලනමය වශයෙන් ද වීවිධ අර්ථකථන දීමට පුළුවනි. මිනිසා කොහේ ගියත් ඔහු බන්ධනවලින්හා යදම්වලින් බැදී ඇත ( Where ever the man goes be is bound by chains ) යනුවෙන් ලොව විසූ ශ්‍රේෂ්ඨ දේශපාලන දාර්ශනිකයකු වූ ජර්මානු ජාතික කාල් මාක්ස් ( Karl Marx ) වරක් ප්‍රකාශ කර තිබේ. සැබවින්ම මෙය හුදු දේශපාලන චින්තාවකට ලඝු කිරීම නුසුදුසු වන්නේ ය. එය වර්තමානයේ ලෝකයේ පවතින වෙළදපොළ ආර්ථිකය / නව ලිබරල් ආර්ථිකය ( New liberal economy ) හමුවේ ගොඩනැගෙන ලෝක සන්දර්භය තුළ මිනිසාට දේශපාලන, සමාජීය හා ආර්ථික වශයෙන් හොදින් අත්විදින්නට
සිදුවන යථාර්ථයක් වන්නේ ය.
කුමන හෝ අභියෝගක් ජයගැනීමට නම් සකලවිධ බන්ධනවලින් මිනිසා අනිවාර්යෙන්ම නිදහස් විය යුතුය. එය පූර්ණ නිදහස්කාමීත්වයකි. එවන් වූ නිදහසක් වර්තමානයේ අපට ඇත්ද ?

නිදහස් යයි කියන ශ්‍රී ලාංකාවේ අපට දැනෙන හැඟෙන නිදහස් වෙත්ද ?

යටත් විජිතවාදයේ අඳුරු කඩතිර උණාදමා අප මාතෘභූමියට නිදහස ලැබ් මේ සමරන්නේ හැත්තෑහතරවැනි ( 1948 – 2022 = 74 ) වැනි වසරයි. නිදහසේ උදාවත් සමගින් මෙරට තුළ ඇතිවූ දේශපාලන, සමාජීය හා ආර්ථික යනාදිය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඇති වූ විවිධ හැලහැප්පීම් මතින් ලද ජයග්‍රහණ හා පරාජයන් කුමක් වුවද අප තවමත් රටක් වශයෙන් ලෝකය ඉදිරිපිට ස්වාධීනව ගොඩනැගීමට නොහැකිව එක තැනම රැඳී තිබෙන බව පෙනේ. නිදහසින් ඉක්බිතිව දශක හතක් පමණ කාලපරිච්ඡේදයක් ගෙවා දමා ඇතත් අප ජාතික ප්‍රතිපත්තියක්
( A National Policy ) රටේ අභිවෘද්ධිය පිණිස සකසා ගැනීම තවමත් අපොහොසත් වී තීබීම සැබවින්ම සමස්ත ශ්‍රී ලාංකේය ජාතියක් වශයෙන් කණගාටුවට පත්විය යුතු කාරණාවක් වන්නේ ය. එහිලා අපේ රටට ගැලපෙන දේශපාලන ක්‍රමවේදයක් , ආර්ථික ප්‍රතිපත්තියක්, කෘෂි ප්‍රතිරූපයක්, අධ්‍යාපනය ප්‍රතිපත්තියක් හා සෛවරී විදේශ ප්‍රතිපත්තියක් නිර්මාණය කර ගැනීමට අප තවමත් අපොහොසත් වී තිබේ.
වර්තමානයේ වන විට මෙරට සෑම ක්ෂේත්‍රයක්ම ඉතා බරපතල ආකාරයෙන් පිරිහීමට ලක්ව ඇති බව පැහැදිලිවම දකින්නට පුලුවනි. මෙරට තුළ නිදහසින් ඉක්බිතිව සාධනීය ලෙස වර්ධනය වූයේ නම්, එසේ වූයේ ලොව කිනම් රටක් හෝ සමාජයක ප්‍රගමනයට ඉතා අහිතකර ලෙස බලපාන ප්‍රවණතා පමණි. එහිලා දේශපාලන හා සමාජ ප්‍රචණ්ඩත්වය , වංචාව හා දූෂණය , පාතාල ලෝකයේ වර්ධනය හා මත් ද්‍රව්‍ය ව්‍යාපාරය යනාදියෙහි ඉතා සීඝ්‍ර දියුණුවක් දකින්නට ලැබුණි. ඊට සාපේක්ෂව රටක ප්‍රගමනයට බලපාන ක්‍ෂේත්‍රයන් දියුණුව වෙනුවට දිනෙන් දින කඩා වැටුණු ආකාරය මෙරට නිදහසෙන් ඉක්බිතිව මෙතෙක් ආ ගමන් මග දෙස විමර්ශනාත්මක බලන කල්හි මැනවින් දකින්නට පුළුවනි.
එසේම නිදහස ලබා පුරා වසර හැත්තෑහතරක් ගතවී ඇතත් අපි තවමත් අපේ මූලික අවශ්‍යතා මෙරට තුළ සපුරා ගැනීමට අපොහොසත් වී සිටිමු . අපගේ දෛනික පරිභෝජනය පිණිස අවශ්‍යයාවශය භාණ්ඩ වූ සහල් ඇතුළු මෙරට තුළ යමින් වගා කොට සපයාගත හැකි බොහෝ දෑ අපි කිසිදු හිරිකිතයකින් තොරව අපනයනය කිරීමට පුරුදු පුහුණුව සිටිමු.
මේ රටේ ජනතාවගෙන් සීයට හතලිහකටත් (40/: ) වඩා සිටින්නේ කෘෂිකර්මාන්තය සමගිනි. එවන් වූ රටක අසරණ ගොවියන් සියදිවි නසා ගනිද්දී , ගොවියන් පාරතොටේ කෑගසමින් පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරද්ද අපේ රටේ පාලකයන් විසින් හාල් , පරිප්පු , මුං , කවුපි හා ඇතැම් අවස්ථාවල දී එළවළු පවා ආනයනය කිරීමට පුරුදු පුහුණු වී සිටින්නෙමු.මෙය කොතරම් නිර්ලජ්ජීත වැඩක් ද ? එලෙස සියල්ල අපගේ විනාශය කරා හේතු කාරණා වන අන්දමින් සිදුවෙද්දී මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අප පාලනය කරනු පිණිස පත්කර ගන්නා ලද නායකාරාදීන් රටේ සම්පත් කිසිදු හිරිකිතයකින් තොරව විදේශීය රටවල්වලට “බදු දෙනවා” යයි කියමින් විශේෂයෙන් මෙරටට 1977දී හදුන්වාදෙන ලද විවෘත ආර්ථිකය ( A Opening Ceremony ) තුළින් සාධනීය ආකාරයෙන් ද වර්තමානයේ වනවිට මහා පරිමාණයෙන් ද මෙරට සම්පත් විදේශීය රටවල්වලට හා එහි ව්‍යාපාරවලට වීකුණාදමමින් සිටියි.
පුරා වසර පන්සියයක් පමණ කාලවකවානුවක් තුළ , එනම් ක්‍රි.ව 1505 සිට පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසීන් විසින් වරින් වර කොල්ලකෑ මෙරට සම්පත් වර්ථමාන වුවද ඒ ආකාරයෙන්ම නොඑසේ නම් ඊටත් වඩා යහමින් රාජ්‍ය අනුග්‍රහය යටතේ විදේශීයන්ට කොල්ලකෑමට අවස්ථාවට උදාවී ඇත්තේ ය. මෙහිලා වෙනස් වී ඇත්තේ කොල්ල කන රටවල් පමණි. මෙය තවත් ආකාරයකින් කියනවා නම්, එදාට වඩා අද ඇති විශේෂත්වය නම්, එදා විදේශිකයන් මෙරට සම්පත් තම බලය යොදාගනිමින් කොල්ලකෑ අතර අද අප විසින් පත් කරගන්නා ලද නායකයන්ගේ උපකාරය ඇතිව එය යහමින් තමුන්ගේ අභිමතය පරිදි ඉෂ්ඨ සිද්ධ කර ගැනීම ඔවුනට හැකි විමයි.
මෙපරිදි දීර්ඝ කාලයක් විදෙස් ආක්‍රමණිකයන් හා මෙරට ජනතා ඡන්දයෙන් තේරී පත්වූ නායකයන් විසින් රිසිසේ දේශීය සම්පත් හා ධනය කොල්ල කා ඉතා බෙලහීන වූ රටකට හා ජාතියකට ඉන් ගොඩඒම අප සිතන පතන තරම් ලේසි පහපු කටයුත්තක් නොවන්නේ ය. ඊට නිසි දැක්මක් සහිත ස්ථිරසාර වැඩපිළිවෙලක් අනිවාර්යෙන්ම තීබිය යුතුය. එහිලා රටට හා රටේ ආර්ථිකයට යහමින් ගැලපෙන දේශපාලන ක්‍රමවේදයක්, දේශීයත්වයට මුල්තැන දෙමින් ගොඩනැගෙන ආනයන කෘෂී ආර්ථිකයක් , රටේ අභිවෘද්ධිය පතා ක්‍රියාත්මක වන ඉතා කාර්යක්ෂම රාජ්‍ය පරිපාලන සේවාවක් හා මුළුමහත් සමාජයම එකම රැහැනට ඇඳ-බැඳ තබන ශක්තිය නීතීපද්ධතියක් අනිවාර්යෙන්ම අවශ්‍ය වන්නේ ය.මේ සියල්ලට කිරීමට ඉතා රට හා රටේ අභිවෘද්ධිය පිළිබඳ නිසි දැක්මක් ෂහිත දේශපාලන නායකත්වයක් අවශ්‍ය වන්නේ ය. ( මෙයට කදිම ලෝක නිදර්ශනයක් වශයෙන් වර්තමාන ඉතියෝපියාවේ දියුණුව හදුන්වා දීමට හැකියි. )
මෙරට දේශපාලනඥයන් හා ඊනියා උගතුන් විසින් වරින්වර දේශපාලන වේදිකා මත හෝ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය තුළින් රට විසිඑක්වැනි සියවසට මුහුණදීම පිළිබඳව පම්පෝරී ( ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම යනාදී වශයෙන්) ගැසුවද , මෙරට තවම තිබෙන්නේ දහනමවැනි සියවසේ මූලාරම්භයේ බව පෙනේ. විසිඑක්වැනි සියවසට මුහුණ දීම කෙසේ වෙතත් වර්තමානය වනවිට මෙරටේ ඇතැම් වටිනා භුමි ප්‍රදේශ, දේශීය සම්පත්, කර්මාන්ත හා වරාය , ගුවන් තොටුපල වැනි ආර්ථික මර්මස්ථාන යනාදිය විදේශීය රටවල් වලට විකුණමින් අපි එදිනෙදා වේල පිරිමහ ගනිමින් සිටිමු .මෙය තවත් ආකාරයකින් පවසන්නේ නම් , පරණ වලව්වක ඇඳ-පුටු, මේස පමණක් නොව පඩික්කම්, පිගන් විකුණා කන උද්දච්ච හාමුලා හා අප්පොලාගේ තත්වයට රටක් වශයෙන් වර්තමානයේ අපි පත්ව ඇත්තෙමු .

මෙතැනින් අප කොයිබටද?

මෙරට තම හැත්තෑහතරවැනි නිදහස් දිනය මහත් අභිමානයෙන් සමරන අද දින රටක් හා ජාතියක් වශයෙන් අපි ඉතා තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇත්තෙමු. මේවනවිට රටේ සෑම ක්ෂේත්‍රයක්ම ඉතා අවසනාවන්ත ආකාරයෙන් දේශපාලනීකරණයෙන් හා ඉයවහ ගිය දූෂණයෙන් ද මුළුමනින්ම විනාශ වී ගොසිනි. තවදුරටත් කුමක් කරගත යුතුද යන්න පිළිබඳව සිතාගත නොහැකි අන්දමින් රට හා එහි වෙසෙන ජනතාව වන අප සෑම අතින්ම අරාජික තත්වයකට පත්ව ඇත්තේ ය. අපට කුමන දේශපාලන ඇඳහීම් හා කියවීමට කොතරම් තිබුණද අප සියල්ලන්ම පොදුවේ පිළිගත යුතු යුගයේ යථාර්තය වන්නේ එයයි.
එසේ වී නම්, අභිමානවත් ශ්‍රී ලාංකේය ජාතියක් වශයෙන් අපට හදවතින්ම සතුටු විය හැකී දේශපාලන, සමාජීය හා ආර්ථික නිදහසක් තවදුරටත් මෙරට ඇත්තේද යන්න ඉතා ගැඹුරින් කල්පනා කිරීම අදවන් දවසක රාජ්‍ය නිදහස් උත්සව හා එහි පම්පෝරිගසන නායකයන්ගේ අමන හා අඥාන කතා පසෙකලා ගැඹුරින් කල්පනා කිරීම ඉතා වැදගත් බව මෙම සටහනට නැවතීමේ තීත තබමින් අවධාරණය කර සිටිමි.
– පූජ්‍ය ඇතිපොළ මංගල හිමි
(අයාලේ ගිය සිතක සිතුවිලි)

Leave a Reply

Your email address will not be published.