කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා මේ කරුණු තුන ගැන හිතන්න

රාජ්‍ය සේවය ලෝකයේ ඇතැම් විට ඉතා ම විශාල ම තනි ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙස හැඳින්විය හැකියි. එමෙන් ම එය ලෝකයේ සාමාන්‍ය ජනතාවට ඉතා ම වැදගත් ම ක්ෂේත්‍රය ද වනවා. මිනිසාට තනිව ළඟා කර ගත නොහැකි අවශ්‍යතාවන් ළඟා කර ගැනීම සඳහා රාජ්‍යය ගොඩනඟා තිබෙන අතර, එම සේවා යාන්ත්‍රණය රාජ්‍ය සේවය ලෙස අප හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකීමේ දීත් මෙහි කිසිදු වෙනසක් නැහැ. ලක්ෂ 15කට ආසන්න රාජ්‍ය සේවකයන් පිරිසක් අප රටේ සිටින අතර, මිලියන 21කට අධික ජනතාවක් වෙනුවෙන් ඔවුන් සේවය සපයනවා. අපේ රටේ පවතින රාජ්‍ය ආයතන ප්‍රමාණය ඉතා විශාලයි. සාමාන්‍ය ජනතාව සඳහා අවශ්‍ය සේවා සැපයීම සඳහා ගොඩනඟා තිබෙන මෙම රාජ්‍ය සේවය පිළිබඳව සාමාන්‍ය  ජනතාව තුළ ප්‍රමාණවත් තෘප්තිමත් බවක් තිබෙනවා යැයි කිව නොහැකියි. කිසියම් පුද්ගලයකු රෝහලකට, දෙපාර්තමේන්තුවකට හෝ වෙනත් ඕනෑම රාජ්‍ය ආයතනයකට යාමට පළමුව සිදු කරන්නේ ඥාතියකු හෝ හඳුනන පුද්ගලයකු එම ආයතනයේ සිටිනවා දැයි විමසා බැලීම සහ ඔහුගෙන් හෝ ඇයගෙන් උදවු ගැනීමයි. මෙම උදවු ගැනීම පෝලිමේ නොසිට අදාළ කාර්යය ඉටු කර ගැනීමේ සිට කිසියම් හොර වැඩ ප්‍රමාණයක් සිදු කර ගැනීම දක්වා ව්‍යාප්ත වනවා. මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් අපේ රටේ රාජ්‍ය සේවය තුළ නිර්මාණය වී තිබෙන්නේ ඇයි ? මෙය ගැඹුරින් විමසා බැලිය යුතු තත්ත්වයක්.

රාජ්‍ය සේවක මනෝභාවය

මෙවැනි තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන ලෙස හේතු වී තිබෙන්නේ සමස්ත රාජ්‍ය සේවය තුළ ම සේවය කරන පුද්ගලයන් සතු නිවැරැදි නොවන මනෝභාවයයි. එනම් එහි අස්සක් මුල්ලක් පුරාම පැතිර ඇති අති විශාල අවිධිමත් බවයි. එකම ආයතන පද්ධතියක වුවත් පුද්ගලයාගෙන් පුද්ගලයාට සේවය ලබා දීමේ ක්‍රමවේදයේ විශාල වෙනස්කම් රැසක් හඳුනා ගත හැකියි. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයාගේ මනෝභාවය මෙහි දී ඉතා වැදගත්. සාතිශය බහුතරයක් රාජ්‍ය සේවකයන් සිතන්නේ තමන් ඉහළ රැකියාවක් සිදු කරන වැදගත් අය බවයි. ඔවුන් කිසි විටෙකත් තමන් සාමාන්‍ය ජනතාවට සේවය කරන, ඔවුන්ගෙන් මාසිකව වැටුප් ගන්නා ශ්‍රමිකයන් පිරිසක් බව සිතන්නේ නැහැ. එවිට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර, රාජ්‍ය සේවකයන්ගේ විවිධ ගෙරවිලිවලට සහ අඩන්තේට්ටම්වලට මුහුණ දීමට අදාළ සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන සාමාන්‍ය පුද්ගලයාට සිදු වනවා. සමස්ත රාජ්‍ය සේවයට අදාළ යාන්ත්‍රණයම ගොඩනැඟී තිබෙන්නේ ජනතාවගේ සේවා අවශ්‍යතාවන් වෙනුවෙන් වුවත්, මෙම සේවය සපයන රාජ්‍ය සේවකයන්ට ඒ පිළිබඳව සවිඥානික අවබෝධයක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. බොහෝ දුරට ඔවුන් සේවයට වාර්තා කිරීමේ සිට සේවය සැපයීම දක්වා අදාළ රාජකාරිය මළ වධයක් ලෙස සිතනවා. එම මනෝභාවයෙන් යුක්තව සිටින කිසිදු පුද්ගලයකුට නියම රාජ්‍ය සේවකයකු බවට පත් විය නොහැකියි. මේ නිසා පීඩාවට පත් වන්නේ සාමාන්‍ය ජනතාවයි. රාජ්‍ය සේවකයාගේ හාම්පුතා සාමාන්‍ය ජනතාව වුව ද, අද සිදුව තිබෙන්නේ තමන් විසින් සේවයට බඳවාගෙන සිටින සේවකයාගේ වහලකු බවට පත් වීමටයි. රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම, විධිමත් සහ ඵලදායී සේවයක් බවට පත්කරනවා යැයි ප්‍රකාශ කරන දේශපාලකයන්ට හැකි නම් මෙම තත්ත්වය වෙනස් කොට රාජ්‍ය සේවකයා ජනතාවගේ සේවකයකු බවට පත්කළ හැකියි. ඒ සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් තිබිය යුතුයි.

මේ වන විට ලෝකයේ පෞද්ගලික අංශය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින්, ප්‍රසාරණය වෙමින් තිබෙනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ, ලෝකයේ දෛනිකව වර්ධනය වන තාක්ෂණික සංවර්ධනයන් වේගයෙන් අත්පත් කර ගැනීමයි. නමුත් අපේ රට සැලැකීමේ  දී තාක්ෂණික වර්ධනයන් රාජ්‍ය සේවය තුළට ඇතුළත් කර ගැනීම පවතින්නේ ඉතාම පහළ අඩියකයි. Global Competitive Report – 2018 වාර්තාවට අනුව ලෝකයේ රටවල් 140ක් අතුරින් තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ වර්ධනයන් ආර්ථිකයට අත්පත් කර ගැනීම අතින් අප පසු වන්නේ 109 වැනි ස්ථානයේයි. එමඟින් ම අපේ රට තාක්ෂණයට දක්වන බිය හා සැකය දෘශ්‍යමාන වනවා. අද ලෝකයේ දියුණු සියලු රටවල් තාක්ෂණය ඉතා වේගයෙන් සිය රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්නවා. ඒ සිය ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් ලබා දීමේ අදහසින්. නමුත්, අපේ රටේ එවැන්නක් සිදු වන්නේ නැහැ. 

ස්වයංක්‍රීයකරණය (Automation)

අද වන විට රාජ්‍ය සේවකයන් විශාල වශයෙන් කාලය වැය කරන්නේ කඩදාසි කොළවල වාර්තා තබා ගැනීම, ලේඛන පවත්වාගෙන යාම, රැස්වීම් සහ ප්‍රගති සමාලෝචන හමුවල කාලය ගත කිරීම, වාර්තා සැකසීම, දත්ත එක්රැස් කිරීම ආදිය සඳහායි. එමෙන්ම රාජ්‍ය සේවා යාන්ත්‍රණය ඒකාබද්ධ කර නොතිබීම හේතුවෙන් විශාල කාලයක් අන්තර් දෙපාර්තමේන්තු සහ ආයතන අතර රාජකාරි සඳහා වැය වනවා. ජනතාවට කිසියම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා දින ගණනාවක් විවිධ ආයතනවල රස්තියාදු වීමට සිදුව තිබෙනවා. නමුත්, තාක්ෂණය හඳුන්වා දෙන්නේ නම් මේ කාලය සියයට 90ක් ඉතිරි කර ගත හැකියි. අන්තර් දෙපාර්තමේන්තු සහ ආයතන අතර ඒකාබද්ධ දත්ත පද්ධතියක් සහ සේවා යාන්ත්‍රණය ගොඩනැඟීම ඉතාම වැදගත් වනවා. රාජ්‍ය සේවයේ බොහෝ කටයුතු ස්වයංක්‍රීය කළ හැකියි. අපේ රටේ බැංකු පද්ධතිය තුළ යම් පමණකට මෙම තත්ත්වය ඇති කර තිබෙනවා. උදේ 8.00 සහ සවස 3.00 බැංකු කටයුතු වෙනුවට අද පැය 24 පුරා ක්‍රියාත්මක බැංකු කටයුතු දැකිය හැකියි. රාජ්‍ය සේවයට මෙය සිදු කළ නොහැකි ද?  රාජ්‍ය සේවයේ බොහෝ කටයුතු ද එලෙස ස්වයංක්‍රීයකරණය කළ හැකියි. කාලය ඉතිරි කිරීමටත්, රස්තියාදුව වැළැක්වීමටත්, කාර්යක්ෂම බව ඇති කිරීමටත් එවැනි තත්ත්වයක් වැදගත් වනවා.

සාමුහික වැඩ කළමනාකරණය  (Collaborative Work Management)

අද වන විට බොහෝ රාජ්‍ය ආයතන අතර කිසිදු අන්තර් සහසම්බන්ධයක් නැහැ. මාර්ග සංවර්ධන අධිකාරිය සිදු කරන දේ ජලසම්පාදන මණ්ඩලය දන්නේ නැහැ. ඒ නිසා හැම දවසක ම හොඳට සාදා ඇති මහ පාරවල් ජලසම්පාදන මණ්ඩලය විසින් කපා දමමින් තිබෙනවා. කාපට් අසුරා හොඳින් වැඩ නිම කර තිබෙන අනන්තවත් මාවත් අද යළි යළිත් හාරා විනාශ කර තිබෙන අයුරුත්, ඒ නිසා ජනතාව දුක්විඳින අයුරුත් දැකිය හැකියි. ඒ වෙනුවට සාමුහික අන්තර් සහසම්බන්ධිත ආයතනික පද්ධතියක් නිර්මාණය කළ යුතුයි. හැම ආයතනයක්ම එක්ව වැඩ කළ යුතුයි. සියලු දෙනාගේ ඉලක්කය විය යුත්තේ ජනතාවට වඩා කාර්යක්ෂම සේවයක් ලබා දීමයි. සාමුහික බව සහ අන්තර් සහසම්බන්ධය ඇති කිරීම සඳහා අන්තර් ආයතනික දත්ත පද්ධතියක් ඇති කළ යුතුයි. හැඳුනුම් පත ලබා ගැනීමට, පළමුව ග්‍රාම නිලධාරී වෙතත්, දෙවනුව ප්‍රාදේශීය ලේකම් වෙතත්, අනතුරුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙතත් ජනතාවට යා යුතු නොවන තත්ත්වයක් පහසුවෙන් ඇති කළ හැකියි. ජනතා ප්‍රශ්න විසඳීමට තමන් සතු දත්ත සහ තොරතුරු නොවලහා බෙදා හදාගත යුතුයි. ජනතාවට අවශ්‍ය සේවා හැකිතරම් එක්  තැනකින් සැපයිය යුතුයි. (Collaboration across Departments and Agencies) පොදු  වේදිකාවක් වෙත සියලු සේවා රැගෙන ආ යුතුයි. ඇමෙරිකාවේ ක්‍රියාත්මක වන  Smartsheet Gov පද්ධතිය මේ සඳහා හොඳ ම නිදසුනයි. මෙම පද්ධතිය හරහා ජනතාවගේ සියලු දත්ත සහ තොරතුරු සෑම රාජ්‍ය ආයතනයක් අතර ම හුවමාරු කර ගත හැකියි. එමෙන් ම ඒවා පදනම් කරගෙන කාර්යක්ෂම ලෙස මහජන සේවා සැපයිය හැකියි. මේ වන විට ලෝකය පුරා මෙවැනි කටයුතු සිදු වන නමුත්, අපේ රටේ එවැනි තත්ත්වයක් දැකිය නොහැකියි.  

සේවා අන්තර්ජාලකරණය (The Internet of Things)

වඩා ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා බොහෝ දේ අන්තර්ජාලයෙන් සිදු කර ගත හැකි ලෙස සේවා ජාලගත කළ යුතුයි. මේ වන විටත් අපේ රටේ සාමාන්‍ය පුද්ගලයන්ට සියලු පෞද්ගලික අංශ ගෙවීම් අන්තර් ජාලය හරහා සිදු කළ හැකි තත්ත්වයක් ඇතිව තිබුණත්, රාජ්‍ය අංශය තුළ එවැනි තත්ත්වයක් නැහැ. තව දුරටත් විශාල කොළ ප්‍රමාණයක් පිරවිය යුතුයි. පෝලිමේ සිටිය යුතුයි. රාජ්‍ය සේවකයාගේ ගෙරවිලිවලට සවන් දිය යුතුයි. ඒ වෙනුවට ලෝකයේ බොහෝ රටවල පද්ධතිගත ගෙවීම් ක්‍රම හඳුන්වා දී අවසන්. අංකිත තාක්ෂණයෙන් බලගන්වන ලද සේවා පරිසරයන් නිර්මාණය කර තිබෙනවා. (Digitally Connected Environments) තාක්ෂණිකව සම්බන්ධ කරන ලද පරිසරයක් මෙහි දී ඉතා වැදගත්. විදුලිය, ජලය, දුරකථන ආදී මූලික සේවා සඳහd ‘Smart Meters’ ක්‍රමය හඳුන්වා දිය හැකියි. ඒවායේ ගෙවීම් අන්තර්ජාලයට මුසු කළ හැකියි. එමඟින් මිනිසුන්ගේ මහ පාරේ සහ ආයතනවල සිදු වෙන රස්තියාදුව හා කාලය කා දැමීම අවම කළ හැකියි. මෙවැනි තත්ත්වයක් ඇති කිරීම සඳහා ලෝකය පුරා රාජ්‍ය සේවය මේ වන විට වෙනස් වෙමින් තිබෙනවා. නමුත්, අපේ රටේ තවමත් පවතින්නේ සියවසකට වඩා පැරණි රාජ්‍ය ක්‍රියාපටිපාටියක්. මෙවැනි මන්දගාමී සහ පසුගාමී පරිසරයක් තුළ රටක් සංවර්ධනය කළ හැක්කේ කෙසේ ද යන්න බරපතළ ගැටලුවක්. රාජ්‍ය සේවයේ  අවසාන ඉලක්කය ඉහළ ගුණාත්මක බවින් යුතු කාර්යක්ෂම සේවයක් හරහා ජනතාවට සේවය කිරීමයි. රාජ්‍ය යාන්ත්‍රණය ඔවුන් විසින් ගොඩනඟාගෙන තිබෙන්නේ වඩා යහපත් සරල ජීවිතයක් සඳහා මිස තැන් තැන්වල රස්තියාදු වීමට නොවෙයි. ලෝකයේ සෙසු රටවල් ඉතා වේගයෙන් ජනතාව ගැන සිතමින්, ඔවුන්ගේ ඉහළ ගුණාත්මක ජීවන තත්ත්වය ගැන සිතමින් වේගයෙන් වෙනස් වෙමින් තිබුණත්, අපට එසේ වීමට නොහැකි වී තිබෙනවා. කිසියම් පුද්ගලයෙක් රාජ්‍ය සේවය වඩා ඵලදායී සහ කාර්යක්ෂම කිරීමට සිතනවා නම්, ඉහත කරුණු වෙත අවධානය යොමු කිරීම ඉතාම වැදගත්. නමුත් පාලකයන්ට එවැනි සංයුක්ත දැක්මක් තිබේ ද යන්න තවමත් ඔප්පු කර නැහැ.

■  අනුහස් බණ්ඩාර

සබැඳි

Leave a Reply

Your email address will not be published.