නිශ්ශංක විජේමාන්නගේ කෙටිකතා නූතනයට එද්දි ශිල්පීය ලකුණු වෙත ම නොඇළි ඔහුගෙ ලිවීම විහිදෙනවා

“අඩක් කැපුමෙන් කඩාවැටුණු මහා පලු වෘක්ෂයට යට වී සියඹලාවේ ගුණපාල මියගොස් සිටියේය” – ‘ගස් | තිත්ත සීනි’
“සිතිවිලි පියාඹාවිත් කෙතට වැද කරල් කපමින් උන්නේය” – ‘කීඩෑවෝ ඇවිල්ලා’
මේ තියෙන්නෙ, නිශ්ශංක විජේමාන්නගේ මුල් කාලීන කෙටිකතා සංග්‍රහ දෙකක එන කතා දෙකක පළමු වැකි. කෙටිකතා සංග්‍රයක් පටන් ගත්වෙලේ සිට එක හුස්මට කතා සේරම කියවන්න මට බැහැ. ඇතැම් කතා බඩපිරෙන කතා වීම, තවත් කතා කරකවල අඹරන කතා වීම සහ සමහර කතා ඔහේ පාවෙලා යන කතා වීම හේතුවක් වෙන්න ඇති. එහෙමත් නැති නම්, මගේ කුසීතකමත් වෙන්න ඇති. කොහොමහරි කතාවක පළවෙනි වාක්‍ය කියෙව්වම විතරක්, ‘බඩු හරි’ කියල හිතෙන විදියෙ අනතුරු ඇඟවීමක් ඔලුවෙ නාදවෙන, පොත වහල දාල අර වැකිය ගැන ම කද්දි නාද්දි මුලු දවස ම හිතෙන, වැකි ඇතැම් රචකයො ලියනවා. සමහර වෙලාවට කතාවටත් වඩා කතාව පටන් ගත්ත වැකිය අමතක නොවී හිතේ කෙටෙනවා.
මේ හින්දා කතාවක පළමුවෙනි වැකිය පාඨකයාට බලපෑම් කරන්නක් වගේ ම, සමහර වෙලාවට අවසානය දක්වා කතාවේ හුය දරාසිටින්නකුත් වෙනවා. ඒනිසා, කතාවක් පටන්ගන්න විදිය ගැන ලේඛකයන් හිතනවා. කතාවක් මුල සිට පටන්ගන්නව වෙනුවට ‘දඩස්’ ගාල ක්ෂණිකව පටන්ගද්දි අමුතු කුල්මත්වීමක් ඇඟ පුරා දුවනවා. යමක් කලින් වෙලා, මේ තියෙන්නෙ ඉන්පස්සෙ වුණු දේ. පාඨකයාගෙ කුතුහලය නංවන, අර හැංගුණු දේ හොයන්න කතාවෙ ඉතිරිය කියවන්න හිතෙනවා. ප්‍රභාත් ජයසිංහගේ කෙටිකතාවල මුල්වැකිය කියවලත් මට මේ සන්තෑසියම වෙලා තියෙනවා.
ඉහත වැකි දෙක, මට විජේමාන්නගේ කෙටිකතා කිව්වම අමතක නොවෙන වැකි දෙකක්. නිශ්ශංක විජේමාන්නගේ මෑතකාලීන කෙටිකතා සංග්‍රහවලට සාපේක්ෂව මුල්කාලීන කතා ශිල්පීයතා අරක්ගත්ත කෙටිකතා බවයි අපගේ අදහස. නූතනයට එද්දි ඒ ශිල්පීය ලකුණු වෙත ම නොඇළි ඔහුගෙ ලිවීම විහිදෙනවා, නිදහස් වෙනවා, විසිරෙනවා.
මේ විදියට ‘එකපාරම කතාවක් පටන්ගැනීම’ ගැන තෝල්ස්තෝයි මූණදීපු දෙයක් මතක් වෙනවා. ඔහු ඇනා කැරනිනා ලියන්න හිත හිත හිටි කාලෙ අහම්බෙන්, තමන්ගෙ පුතා සර්ගෙයි කියෝකියෝ හිටපු පුෂ්කින්ගෙ පොතක් ගෙයි කොහෙද තිබිලා ඔහු කියවන්නගන්නවා. පොතෙ නම, ‘බෙල්කින් කතා’. මේ පොත පරිවර්තනය වෙලා තියෙනවා. මේ පොතෙ එක වැකියක් ගාව තෝල්ස්තෝයි නතරවෙනවා. ‘මෙන්න මෙහෙම එකපාරම කතාව පටන්ගන්න ඕනෙ’ කියල හිතලයි ඔහු ඇනා කැරනිනා පොත ලියන්න ගත්තෙ කියල, රෙජී වීරමන් තමන්ගේ පොතක සඳහන් වෙනවා.
ආයෙ මුලට ගියොත්, අර ‘තිත්ත සීනි’ කෙටිකතා පොතේ එන ‘ගස්’ කතාවෙ පළමු වැකිය කියවන කෙනෙක්ට එතනින් එහාට ඒ ගැම්මෙන්ම යන්න අමාරුයි. ඇයි? රචකයා නිගමනයක් දීලා තියෙනවා. යමක් සිද්ධවෙලා. ඒ වැකියේ තානය, මවන වාග් චිත්‍ර එක්ක ඔලුවෙ යමක් පිරෙනවා. ඉතින් අපි නතරවෙනවා. මාර වැඩේ ! අපි නොදන්න සියඹලාවේ ගුණපාලගේ මරණය, වුණේ කොහොමද කියල හොයන්න ඔන්න ඉන්පස්සෙ හුස්මක් කටක් අරන්, සීතල වතුර වීදුරුවක් බීලා, පාර පැනල, වටපිට බලල, ආයෙ අපි කතාව කියවන්න ගන්නවා. මේ මුල් වැකිය ම කතාවෙ අවසානයටත් යොදලා විජේමාන්න කතාව අච්චුවකට දාපු ගඩොලක් වගේ බාලා සිව්රැස් කරනවා.
මේ තියෙන දෙවනි වාක්‍යය, ‘කීඩෑවෝ ඇවිල්ලා’ පොතේ එන එනම් කතාවේ මුල් වැකිය. මේ කෙටිකතාවෙ රමණීය කව් බසක් ඇති වැකි අතරින්පතර හමුවෙනවා. මේ තනි වැකියෙන්, සිතිවිලි සප්‍රාණික කරනවටත් වඩා, අතීතෙන් ආව ස්මරණ දිගෑරල කොනිහ කොනිහ ඉන්න බවක්, තනිපංගලම් මනුස්ස ජීවියෙක්ව මැවිලා පේනවා. මේ වැකියට අමතරව ‘තෙත බරිත සිතිවිලි ගිරවුන් තුරු අගිසි මත හිස නවාගෙන තෙමුණේය…’ (කෙටිකතාවෙ යෙදිල තියෙන්නෙ ගිරවුන් යනුවෙන්) කියලා කතාව ඇතුළෙ තව තැනක සඳහන් වෙනවා. කතාවටත් වඩා මේ වැකි මට කටපාඩම්. දෙයක් කීමටත් වඩා, කියන විදිය පාඨකයට බලපානවා. කියන්න කතාවක් තිබුණත්, සමහර වෙලාවට සියලු දේ ප්ලෑන් කරල, කතාව පටගන්නෙ කොහොමද, මොන විදියට ද ලියන්නෙ කියල නිර්මාණකරුවන් හිතනවා වගේ ම, පටන්ගන්න ඕනෙ මෙහෙම කියල නොහිතලා කෙලින්ම ලියන් යන ලේඛකයන් ගැනත් අහන්න ලැබෙනවා.
– දිල්ශානි චතුරිකා දාබරේ

Leave a Reply

Your email address will not be published.