රුහිරු විකුණා යැපුණ මිනිහෙක් – ආත්මීය චීන කතාවක්

චූලානන්ද සමරනායකයන් විසින් පරිවර්තනය කරන ලද සදාත් හසන් මන්ටෝ ගේ කෙටි කතා පොතේ කතා දහයක් විතර කියවලා අවසන් වෙනකොට මෙන්න බොලේ රුහිරු විකුණා යැපුණ මිනිහෙක් ඇවිත්. මන්ටෝ ගේ කතා යථාර්ථවාදී රීතිය යටතේ ලියවුණත් ඔහුගේ කතාවල තියෙනවා සංකීර්න මිනිස් මනසේ අත්දැකීම් විදාරණය කරන තැන්.
පොතේ පළවෙනි කතාව වෙන තෙත්බර සන්ධ්‍යාවක් කෙටි කතාවේ මසූද් නම් පාසල් ශිෂ්‍යයා පාසලට යද්දී දකින, ඒ මොහොතේ හමගසන ලද සීතලට දුම් දමමින් තිබූ, නළියන බැටළු මාංශය කෙරෙහි ඔහු තුළ ඇතිවන හැඟීම්, පසුව ඔහු තමන්ගේ අක්කා වන කල්සුම් ගේ පිට කකුල් වලින් සම්භාහනය කරද්දී මතුවෙයි. අක්කා ගේ නිතඹේ කකුළ වදින විට ඔහුට ඒ මාංශය සහ අක්කාගේ නිතඹ මතින් දැනෙන්නේ එකම විදියේ හැගීමකි. එය වඩාත් තීව්‍ර වන්නේ කලවා සම්භාහනය කරන විටදී ය. එක්වරම ඔහුට කල්සුම් ව අර බැටළුවන් මෙන් හම ගැසුවහොත් කෙසේ වනු ඇත්දැයි සිතෙයි. මේ සංකීර්ණ හැඟීම් අප තුළ ඉතිරි කරන්නේ අපේ ආශාවන් පිළිබඳ චිත්‍රයකි. ටෝබා ටෙක් සිංග් වැනි චරිතයක් වෙනම විග්‍රහ කළ යුතු ය. කෙසේ වුවද මන්ටෝ ගේ පොත ගැන ලියන්නට දැන්ම ම බැරි ය. මන්ද එය තවමත් අවසන් නැති හෙයිනි.
කියවිය යුතු පොත්, බාගෙට කියවා ඇති පොත්, ප්‍රමුඛතා පොත්, සියල්ල මේසය මත සිට අනේ අනේ කියද්දී රුහිරු විකුණා යැපුණ මිනිහෙක් කියවන්නට පටන් ගත්තේ චීන කතා කියවන්නට ඇති මගේ කැමැත්ත නිසාම ය. එයට වගකිව යුත්තේ යාන් ලියාන්කි විය යුතු ය. රුහිරු විකුණා යැපුණ මිනිහෙක් කතාව තුළ දුවන්නේ පවුලක අන්දරයකි. චීනයේ පිටිසරබද කුඩා නගරයක ජීවත්වන මේ පවුල රටේ දේශපාලනයට මුහුණ දෙන ආකාරය ගැන කියවෙන කතාවකි. කතාවේ කතානායකයා වන්නේ ක්සූ සන්ගුවාන් ය. ඔහු විවාහවන්නේ ක්සූ යුලාන් සමඟිනි. මේ දෙදෙනාට දරුවන් තිදෙනෙක් ලැබෙයි. ඒ යීලේ, අර්ලේ සහ සන්ලේ යනුවෙනි.
මෙය අති දැවැන්ත කතාවක් නොවේ. මෙහි ඇති විශිෂ්ඨත්වය වන්නේ මේ චරිත හැසිරෙන ආකාරය තුළ ය. ක්සූ සන්ගුවාන් විවාහ වන ක්සූ යුලාන් ව ඇගේ කලින් පෙම්වතා වන ක්සීහියාවොයොන්ග් විසින් දූෂණය කරනු ලබයි. එය රහසක් ලෙස පැවතියද, වසර නමයකට පසුව යීලේ ට ඇත්තේ සන්ගුවාන් ගේ මුහුණ නොව ක්සීහියාවොයොන්ගේ මුහුණ බව අසල්වැසියෝ පවසන්නට ගනී. පසුව එළිවන මෙම රහස නිසා ක්සූ සන්ගුවාන් පත්වන්නේ දැඩි අර්බුධයකට ය. ඔහු නෝංජලයෙකු ලෙස හංවඩු ගැසෙයි. එහි කෝපය කෙතරම් ද යත් ඔහු වරක් ගෙදර අනෙක් සියල්ලන්ම ආහාර ගැනීමට නගරයේ ප්‍රමුඛ අවන්හලකට රැගෙන ගිය ද යීලේ රැගෙන නොයයි. ඒ වෙනුවට ඔහුට බතල ගෙන කන්නට කුඩා මුදලක් ලබාදෙයි. යීලේ විසින් ගමේ කම්මල්කරුවා වූ ෆැන්ගේ පුතාට ගලකින් ගසා දැඩි ලෙස තුවාල කළ විට ක්සූ සන්ගුවාන් ෆැන්ග් ට මුදල් නොදෙන්නේ යීලේ තමන්ගේ පුතා නොවන බව පවසමිනි. අවසානයේදී ෆැන්ග් පැමිණ එයට හිලව්වට ඔහුගේ නිවසේ සියළු බඩු රැගෙන යද්දී ඔහු කැමැත්තෙන්ම ඒවා කරත්තයට පටවා දෙයි. කෙසේ වුවද, සන්ගුවාන් යනු කෝපගත්ත ද ඉතා ඉක්මනින් අනෙකා කෙරෙහි දුකක් ඇතිවන්නෙකි. නිවසේ බඩු නැවත ගන්නට ඔහු තමන්ගේ ලේ විකුණයි. ඒ පළමුවර ලේ විකුණා දසවසරකට පසු ය. එතැන් සිට ඔවුන්ගේ ජීවිතවලට පැමිණෙන කරදරවලදී සන්ගුවාන් තම රුධිරය විකුණයි. ඔහු සමඟ ලේ විකිණු සගයන් මියයද්දී ඔහු ලේ විකුණයි. පොතෙහි ඇත්තේ ඔහුගේ ධෛර්යය පිළිබඳ කතාවයි. එහෙත් ඒ යටින් චීන සමාජය වෙළාගෙන තිබූ දුප්පත්කම, මාඕ ව්‍යාපාරය තුළ ඔවුන් මුහුණදුන් අත්දැකීම් ආදිය ඉතා සියුම් ව දක්වා ඇත. අර්බුධයක් තුළදී මිනිසුන්ගේ සම්බන්ධතාවල සහ සිතුම් පැතුම්වල සංකීර්ණ භාවය ඉතා මැනවින් හෙලි කරන්නට මෙහි කතුවරයා වන යූ හුවා සමත්ව ඇත. ග්‍රාමීය චීන මිනිසුන්ගේ කතාව ග්‍රාමය බසකින් ඉදිරිපත් කරන්නට පරිවර්තක චූලානන්දයන් තෝරාගෙන ඇති අතර එය සාර්ථකබව මට හැඟෙයි. ඉතින් රුහිරු විකුණා යැපුණ මිනිහෙක් කියවා බලන්න. එහි කුඩා කොටසක් උපුටා ගන්නේ එය සකලවිධ දේශපාලනයට පොදු බැවිනි.
“ඔයාටත් ඇහුණැයි? ඔය ෆැක්ටරි වහලා තියෙන්නේ ඇයි කියලා ඔයා දන්නවැයි? ඒ වගේම කඩ වහලා තියෙන්නේ, ඉස්කෝල වහලා තියෙන්නේ ඇයි කියලා දන්නවැයි? සමහරු විහින්ම ගස්වල එල්ලිලා ඉන්නෙත් තවත් සමහරු බාගෙට පණ යනකං ගුටි කලාලා හරක් මඩුවල දපලා ඉන්නෙත් ඇයි කියලා ඔයා දන්නවැයි? සභාපති මාවෝ මොනවහරි දෙයක් කියපු සැණිං මිනිස්සු එයා කියපු දේ ඉස්මුදුනින් පිළිඅරගෙන ඒක ගීතයක් කරගෙන, එයාගෙ වචන තාප්පවල, පේව්මන්ට් එකේ, කාර්, බෝට්ටුවල. තමන්ගේ කොට්ට උරවල, තාච්චි හට්ටිවල වෙන එකක් තියා නානකාමර බිත්තිවල, පඩික්කම ගැට්ටේ පවා ඒවා ලියන්නේ ඇයි කියලා ඔහේ දන්නවැයි?”
– රශ්මික මණ්ඩාවල

සබැඳි

Leave a Reply

Your email address will not be published.