ආණ්ඩුවට ඇතුවත් බැරි නැතිවත් බැරි අයි.එම්.එෆ්.

රට දැවැන්ත මූල්‍ය අර්බුදයක ය. ආණ්ඩුව එදා වේල සරි කර ගන්නා මූල්‍ය ප්‍රතිපත්තියක සිටී. ඩොලර් සංචිතය වේගයෙන් කඩාවැටෙමින් තිබේ. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගත යුතු  ද? නොගත යුතු ද? යනුවෙන් සංවාදයකි. එය ආර්ථික ක්ෂේත්‍රය ඉක්මවා දේශපාලන ක්ෂේත්‍රය ද පැටළුණු වාදයක් බවට පත්ව තිබේ.

2021 සැප්තැම්බර් වන විට විදෙස් විනිමය සංචිතය සතු ඩොලර් බිලියන 2.7ක් තිබිණි. ණය වාරික ගෙවීම නිසා විදෙස් සංචිතය ඩොලර් බිලියන 1.5ක් දක්වා පහළ ගියේ ය. මේ වන විට පවතින ඩොලර් බිලියන 1.5න් ඩොලර් මිලියන 350ක් වටිනා කොටසක් වන්නේ රන් සංචිතයයි. ඩොලර් ලෙසින්ම පවතින්නේ ඩොලර් මිලියන 1,150කි. විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාරයක් ගත යුතු ය යන තර්කයක් මතුව තිබෙන්නේ මේ තත්ත්වය තුළ ය.

වැලේ වැල් නැති මට්ටමට රට පත් කරනු ලැබූ පසු ඇතැම් අය අයි.එම්.එෆ්. වෙත යාම පිළියම බවට කරුණු ඉදිරිපත් කරති. මෙය ගිලෙන්නට යන මිනිහා යකාගේ අතේ එල්ලීම වැනි වැඩකි.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මෑතක දී පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණයක් දීමට ශ්‍රී ලංකාවට පනවා තිබෙන කොන්දේසි මොනවා ද යන්න ජනතාවට හෙළි කළ නොහැකි බවයි. ඒ අතර නැවත ආණ්ඩුව පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමෙන් කොන්දේසිවලට යට වීමට සිදු වන බවයි; සුභසාධන කපන්නට සිදු වන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව සිටින්නේ ‘ආසයි බයයි’ ප්‍රතිපත්තියේ ය. අර්බුදය තව උග්‍ර වන විට භය අඩු වී ආශාව වැඩි වනු ඇත. භය නම් අන් කවරක්වත් නොව කොමිස් කුට්ටි ලබා ගැනීමේ අපහසුව පිළිබඳ වන භයයි. ආණ්ඩුවේ මතයට එරෙහි මත මඟින් පැවසෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි රටට නොව දූෂිත පාලකයන්ට බාධාවක් පමණක් බවත්, ආණ්ඩුව කොහොමත් පොහොර සහනාධාරය වැනි සහන කපද්දී, සහන කපන කොන්දේසි ගැන අමුතු භයක් ඇති කර ගැනීම අනවශ්‍ය බවත් ය. මේ පිළිබඳව සාම්ප්‍රදායික විපක්ෂය දරන ස්ථාවරය අනුව ඔවුනට ද විදෙස් සංචිත හිඟයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ණය ගැනීම් හැර අන් විසඳුම් නැති සේ ය.
විදෙස් සංචිත පහළ යාම රටේ පවතින ආර්ථික යථාර්ථයකි. එයට හේතුව ලෙස අපනයන ආදායම අඩු වීම, විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ අඩු වීම, සංචාරක ක්‍ෂේත්‍රයේ ආදායම අඩු වීම වැනි කරුණු ඉදිරිපත් වේ. ඒවා හේතු නොව අර්බුදයේ ප්‍රකාශ වීම් පමණි. හදිසි විසඳුම් අවශ්‍ය වන්නේ කඩාවැටීම ළිං පතුලටම ළඟා වෙමින් තිබෙන බැවිනි. හදිසි විසඳුම් යනු ගිලෙන්නට යන්නාට පිදුරු ගහක් වැනි ය.
විදෙස් සංචිත අර්බුදය පැනනඟින්නේ රටේ සමස්ත ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසින් ය. එය වසර හැත්තෑතුනක දේශපාලන ගමන් මඟෙි අවසාන පලදාවයි. පසුගාමී ධනේශ්වර සමාජ ක්‍රමයක ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයයි. රටක අපනයන ආදායම ඉක්මවා ආනයන වියදම් ඉහළ යන්නේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් නොමැති බැවිනි. එය මෙතෙක් පැවැති සියලු පාලනවල පොදු ආර්ථික ප්‍රතිපත්තිය මඟින් ලබා දුන් දායාදයයි. ආර්ථිකයේ විශාල පංගුවක් වන කෘෂිකර්මාන්තය ද නවීන තාක්ෂණය භාවිත කරමින් වර්ධනය කර නැත. ගොවියා ඉන් පිටමං කිරීම කෘෂිකර්ම ප්‍රතිපත්තියයි. ණය ගැනීම රට දුවන එකම ඉන්ධනය බවට පත් විය. අපනයනය කරන්නට නිෂ්පාදන නැති බැවින්, විදෙස් විනිමය රටට එන්නේ නැත. කොමිස්, වංචා සහ දූෂණ හේතුවෙන් ආණ්ඩු ගන්නා ණය හොර ගිණුම්වලට යයි. ඉතිරි වන ණය ද නිෂ්පාදන ක්‍ෂේත්‍රයෙහි යොදවනු වෙනුවට දේශපාලන අරමුණු සහිත ඉදි කිරීම්වල යෙදැවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රකාශිත අරමුණු කවරක් වුවත්, ඒවා භාවිත වී ඇත්තේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අරමුණු ක්‍රියාවට නැඟීමට බව ගෙවුණු දශක ගණනාවක කාලය තුළින් ලෝකය පුරා තහවුරු කර තිබේ. මේ පිළිබඳ සවිස්තර ලිපියක් මෙවර පුවත් පතේද පළ කර තිබේ.
ඒ නිසා වැලේ වැල් නැති මට්ටමට රට පත් කරනු ලැබූ පසු ඇතැම් අය අයි.එම්.එෆ්. වෙත යාම පිළියම බවට කරුණු ඉදිරිපත් කරති. මෙය ගිලෙන්නට යන මිනිහා යකාගේ අතේ එල්ලීම වැනි වැඩකි.
එසේ නම්, අවැසි වන්නේ මේ අරාජික ආර්ථිකය මෙහෙයවන වැරැදි ප්‍රතිපත්ති ඉවත ලා නව නිෂ්පාදන ආර්ථිකයක් පදනම් කොට ගත් ප්‍රතිපත්තිවලට එළැඹීමයි. වංචා, දූෂණ පැරැදවීමයි. ඒ සඳහා ආදර්ශයන් සපයා තිබෙන දේශපාලන ව්‍යාපාරයක නායකත්වයක් යටතේ සැලැසුම්සහගත ආර්ථිකයක් උදෙසා වන ප්‍රතිපත්ති සඳහා ජනතා බලයක් ගොඩනැඟිය යුතු ය. එය නොතකා විවිධ මාර්ගවල මංමුළා වූවාට අර්බුදය විසඳෙන්නේ නැත●
 
 
 

Leave a Reply

Your email address will not be published.