හොරුන්ගෙත් හොරු කම්බා හොරු

උදිත ලොකුබණ්ඩාර කියන්නේ, හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාරගේ පුත්‍රයා ය. වි.ජ.මු. යන්නෙහි තේරුම ‘විජ්ජාවෙන් ජනතාව මුළා කරන’ යැයි ඒ දවස්වල කතාබහක් වූයේ ය. කොහොම වුණත්, වි.ජ.මු. කියන්නේ, හොරකම් කළ දේශපාලකයකු නොවේ ය. ඔහු පාර්ලිමේන්තුවට ආවේ එක්දහස් නවසිය හැත්තෑහතේ දී ය. විවිධ ඇමැති ධුර ද දැරුවේ ය. අන්තිම කාලයේ කතානායක ධුරයට ද පත් වුණේ ය. එතැනින් දේශපාලනය අවසන් කළේ ද නැත. දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්‍ෂයේ සිටි ඔහු එකවර ම මහින්ද රාජපක්‍ෂ සමඟ එකතු වුණේ ය.

ලංකාව අදූෂිත රටවල සිට දූෂිතභාවය වැඩි වන පැත්තට පෙළගැස් වූ විට තිබෙන්නේ දූෂණයෙන් එකසිය දෙවැනි තැන ය. එවැනි තැනකට පත් වීම අහන්නත් දෙයක් නොවේ ය. මේ හොරකමත් එක්ක ම පත්තරේ ඊට යටින් ඇත්තේ, ඒ ප්‍රවෘත්තියයි. එනම්, ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනය මඟින් කරන ලද සමීක්‍ෂණයේ ප්‍රතිඵලයයි. ලංකාව කලින් තිබී ඇත්තේ අනූහතර වැනි මට්ටමේය. මේ වතාවේ එය තවත් පහළට වැටී ඇත්තේ ය.

යූ.එන්.පී.යෙන් එළියට ගියා වුණත්, කවුරුවත් වි.ජ.මු.ට විරුද්ධව හොරකම් චෝදනා එල්ල කළේ නැත. වෙන වෙන චෝදනා දැම්මත්, හොරෙක් යැයි කවුරුවත් කිව්වේ නැත. මහින්දට උදවු කරන්න ගත්තාට පස්සේ ඒ වෙනුවට ලැබුණ තෑග්ග වුණේ පුතාව බදුල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබීම ය. ඊට අමතරව ආණ්ඩුකාර තනතුරක් ද ලැබුණේ ය. පුතා හපුතලේ ආසනය නියෝජනය කරමින්, දෙදහස් දහයේ පාර්ලිමේන්තුවට ද තේරී පත් වුණේ ය. ඒ කාලය තුළ අවුරුදු පහක් ඒ ධුරය දරමින් සිටියේ ය.

අමුතුම පුතෙක්

තාත්තාගේ තිබුණු නිහතමානීකම පොඩ්ඩක්වත් පුතාට තිබුණේ නැත. පටන් ගත්තේ ම මහ ලොකු මහන්තත්තකමක් පෙන්වමින් ය. නාමල් රාජපක්ෂ සමඟ එකට ඉන්න පින්තූර සහිත කටවුට් දිස්ත්‍රික්කය පුරා ගැහුවේ ය. තැන් තැන්වල නාමල් එක්ක එකට ඉන්න පින්තූර ඇලවූයේ ය. ඒකෙන් ජනතාවට පෙන්වන්න උත්සාහ කළේ තමන් නාමල්ව කිට්ටුවෙන් ඇසුරු කරන්නකු බව ය. රටේ ජනාධිපතිගේ පුතාගේ ළඟ ම යාළුවකු බව බදුල්ලේ දුප්පත්, අහිංසක ජනතාවට ඒත්තුගැන්වූයේ ය.
මුල දි මුල දී ජනතාව එයට අහුවුණා වුණත්, කාලයක් යද්දී, එය වෙනස් වුණේ ය. උදිත හොඳට ම වරද්දා ගත්තේ හපුතලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකම ගත්තාට පස්සේ ය. පණ්ඩිතකම පෙන්වන්න ගිහින් හොට පටලවා ගත්තේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ය. සභාපති වුණාට තමන්ගේ නොදන්නාකම හොඳින්ම පෙන්නුවේ එහි දී ය. අන්තිමේ තමන්ගේ ම පක්‍ෂයේ කට්ටිය උදිතට විරුද්ධ වූහ. නිලධාරීහු ද විරුද්ධ වූහ. උදිතට විරුද්ධව උද්ඝෝෂණ පවා පැවැත්වූහ. සමහර තැන්වල දී “හූ” කියන්නට ද පටන් ගත්හ. අන්තිමේ දී හපුතලේ ආසනයේ ඉන්න බැරි තත්ත්වයක් උදා වුණේ ය. ඊ ළඟ වතාවේ පැත්ත පළාතේ යන්න බැරි තත්ත්වයකට පත් වුණේ ය.

කිට්ටු වීමේ ශිල්පය

කොහොම හරි මහින්ද රාජපක්‍ෂ ළඟට කිට්ටු වුණේ ය. ඒ කියන්නේ, දෙදහස් පහළොවෙන් පස්සෙ දී ය. ඒ දවස්වල මහින්ද ළඟත් කවුරුත් නොහිටපු වෙලාවක් ය. ඒ නිසා ම ලේසියෙන් කිට්ටු වෙන්න පුළුවන්කමක් තිබුණේ ය. මහින්ද යන යන තැන්වල පස්සෙන් ගියේ ය. කැමරාවට අහු වන විදියට ළඟින් ම ඉඳලා පින්තූරය මාධ්‍යවල දා ගත්තේ ය. පෞද්ගලික ලේකම් යැයි ද කියා ගත්තේ ය. ඒ දවස්වල ආසනයේ පැත්ත පළාතේ යන්න බැරි නිසා ම මේ රඟපෑම කළේ ය.
සමහරු හිතුවේ ඇත්තට ම මහින්ද ළඟින් ඉන්න ලේකම් කෙනෙක් කියා ය. ඒකේ ඇත්ත නැත්ත තේරුණේ දින පනස්දෙකේ ආණ්ඩුව කාලයේ දී ය. කලින් වාගේ ම මහින්ද ළඟින් ම පස්සෙන් යන්න ලැහැස්ති වුණේ ය. විජේරාම ගෙදරින් එළියට බහින වෙලාවේ මහ සෙනඟක් මැද මහින්ද උදිතගේ පටි රෝල් කළේ ය. “මෝඩ යකෙක්…” යැයි ප්‍රසිද්ධියේ ම බැන්නේ ය. උදිතගේ ඇත්ත තත්ත්වය මුළු රට ම දැක්කේ එදා ය. ඒත්, ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තේ නැත. කිසි ලැජ්ජාවක් නැතිව පහුගිය මැතිවරණයේ දී ආයෙත් වතාවක් බදුල්ලෙන් ඡන්දය ඉල්ලුවේ ය. ඒත්, හපුතලේ පැත්ත පළාතකට යන්න පුළුවන්කමක් තිබුණේ නැත. බදුල්ලේ ජනතාව දෙවැනි වතාවේ දී හොඳ පාඩමක් ඉගැන්වූයේ ය.
මේ සිද්ධිවලින් පස්සේ කොහේ ඉන්නවා ද? මොනවා ද වුණේ කියලාවත් හොයා ගන්න බැරි විය.

හිටි ගමන් කරළියට

දැන් ආයෙත් වතාවක් උදිතගේ නම එකපාරට ම එළියට ආවේ ය. ඒ ‘මහින්දගේ ගිණුමෙන් කෝටි ගාණක මුදල් ඇදලා’ යන චෝදනාවත් එක්ක ය. පුවත් පත්වල තියෙන විදියට රුපියල් කෝටි තුනහමාරක් වංචා කර ඇත්තේ ය. ඒ කියන්නේ, ගිණුමෙන් ටික ටික සල්ලි අරගෙන ඇති බව ය. වැඩේ අහුවුණාට පස්සේ සල්ලි ටික ආපහු ගෙවන්නත් එකඟ වෙච්ච කතාවක් කනින් කොනින් ඇහෙන්නේ ය. කෝටි තුනහමාරක් නොව කෝටි පහමාරක් යැයි ද කියන්නේ ය.
කොහොම වුණත්, දැන් වැඩේ පත්තු වී අවසන් ය. ආපහු මුදල් දීලා වැඩේ ගොඩින් බේරා ගත්තොත්, තාත්තාගේ සොහොනට රජයේ මුදල් යොදවලා ගෝඨාභය වැඩේ බේරා ගත්තා වාගේ බේරා ගන්න පුළුවන් ය. ඒ නිසා ම දෝ තවමත් පොලිසියට පැමිණිල්ලක් දාපු බවක් නොකියැවේ. අවසානයේ වෙච්ච දේ වි. ජ. මු. ලොකුබණ්ඩාර මැරිච්ච තාත්තාගේ නමත් අන්තිමට කැත කරපු එක ය. එහෙම වුණේ ඇයි ද කියලා බලපුවා ම පෙනෙන්නට ඇත්තේ, නරක ආශ්‍රයයි. මුල ඉඳලා ම ආශ්‍රය කළේ ඒ ජාතියේ කට්ටියයි. ගිරව් දෙන්නාගේ කතාව මතක් වෙන්නේ මේ වාගේ වෙලාවල්වල දී ය.

අමතක කළ ‘පොඩි සල්ලි’

‘හොරුන්ගෙත් හොරු කම්බා හොරු’ යැයි කතාවක් ඇත්තේ ය. හොරු ගොඩක ඉන්න කොට ඒ හොරු අතරේත් හොරකම් වෙන්නේ ය. එකට හොරකම් කරපු ඒවාත් ආයෙ ආයේ තනි තනියෙන් හොරකම් කරන්නේ ය. දැන් මේ සිද්ධ වෙන්නේ ඒක ය. මෙතැන ප්‍රශ්න කිහිපයක් ඇත්තේ ය. මෙච්චර මුදලක් මහින්දගේ ගිණුමක තිබුණු බවක් මහින්දවත් නොදැන සිටීම එකකි. අනෙක මෙච්චර සල්ලි තිබුණු ගිණුමක් මෙච්චර කාලයක් යනතුරු හොයා නොබලපු එක ය. ඒ කියන්නේ, ඒ සල්ලි ගැන කිසිදු සොයාබැලීමක් කර නැති බව ය. එතරම් ම එය පොඩි ගාණක් සේ ගණන් නොගෙන සිටීම ය.
ප්‍රශ්නයේ බරපතළකම ඇත්තේ එතැන ය. මේ සා විශාල මුදලක් ඔවුනට එතරම් දෙයක් නොවීම ය. එතකොට තියෙන සල්ලි ගැන හිතා ගත හැකි ය. ඒ වාගේ ම රටේ ජනාධිපතිගේ සහ අගමැතිගේ පෞද්ගලික ගිණුම්වල ඇති සල්ලි හොරකම් කරන්නට තරම් බයක් නොතිබීම ය. ඒකත් සරලව ගත හැක්කක් නොවේ ය. එහෙම බය නැති වන්නේ ඊට වඩා හොරකම් කර ඇති විටෙක ය. කරපු ඒවාත් එක්ක ගත්තා ම මේක තවත් එකක් විය හැකි ය. තමන්ගේ ම ස්වාමියාගේ සල්ලි හොරකම් කරන තත්ත්වයට පත් වුණා නම්, අනෙක් අයට අයිති දේවල් කොච්චර හොරකම් කරන්නට ඇති දැයි සිතා ගත හැකි ය.

ලෝක ලජ්ජාවක්

දැන් මේ හොරකම මුළු ලෝකයට ම ප්‍රචාරය වන්නේ ය. මුළු ලෝකයේ ම මේ වාගේ හොරකමක් කරපු එක ම රට ලංකාව විය හැකි ය. ලෝකය ඉස්සරහා රටේ හොරකම්, වංචා, දූෂණ නැහැ කියලා ආයේ නම් කියන්නට බැරි ය. රජවාසලේ ම රජ්ජුරුවන්ගේ පසුම්බියටත් විදලා ය.
එහෙව් රටක්ව තිබෙන ලංකාව අදූෂිත රටවල සිට දූෂිතභාවය වැඩි වන පැත්තට පෙළගැස් වූ විට තිබෙන්නේ දූෂණයෙන් එකසිය දෙවැනි තැන ය. එවැනි තැනකට පත් වීම අහන්නත් දෙයක් නොවේ ය. මේ හොරකමත් එක්ක ම පත්තරේ ඊට යටින් ඇත්තේ, ඒ ප්‍රවෘත්තියයි. එනම්, ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්’ ආයතනය මඟින් කරන ලද සමීක්‍ෂණයේ ප්‍රතිඵලයයි. ලංකාව කලින් තිබී ඇත්තේ අනූහතර වැනි මට්ටමේ ය. මේ වතාවේ එය තවත් පහළට වැටී ඇත්තේ ය.
රට මෙතරම් ආර්ථික අර්බුදයක ගිලී ඇත්තේ, හොරකම, වංචාව, දූෂණය සහ නාස්තිය නිසාවෙනි. එය තව තවත් පැහැදිලි වන්නේ මේ කරන ලද ආශ්චර්යවත් හොරකමත් එක්ක ය. නූතන තාක්‍ෂණය භාවිත කරලා ම වැඩේ දී ඇත්තේ, අගසව්වා වාගේ හිටපු කෙනා ය. තත්ත්වය එය නම්. රටේ තත්ත්වය හිතා ගත හැකි ය. කොහොම වුණත්, අහුවෙච්ච හොරකමෙන් ගොඩක් පාඩම් මේ රටේ ජනතාවට ඉගෙන ගන්නට ඇත. එහෙමවත් ඉගෙන ගත්තොත්, රටේ අනාගතයට එය යහපත් ය●

ජගදාක්‍ෂි

 

සබැඳි

Leave a Reply

Your email address will not be published.