රටට ඇති වී තිබෙන විපතට ආණ්ඩුව ගෙනා භික්ෂූන් වහන්සේත් වගකිව යුතුයි !

වර්තමානයේ ශ්‍රී ලංකාවට අත් වී තිබෙන විපත පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් කළ භික්ෂූන් වහන්සේත් දැන් පසුතැවිලි වනු ඇතැයි මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නාහිමියෝ පවසති.
ආණ්ඩුව බලයට පත්කිරීම පිණිස බොහෝ භික්ෂූන් වහන්සේ දැක්වූ දායකත්වය ‘අගතිගාමී ක්‍රියාවක්’ වශයෙන් විග්‍රහ කරන උන්වහන්සේ පවසන්නේ, එසේ අගතිගාමී ක්‍රියාවක නිරත වූ භික්ෂූන් වහන්සේ ද ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදයට වගකිව යුතු බවය.
ශ්‍රී ලංකා රාමඥ්ඥ නිකායේ අධිකරණ නායක, රාජකීය පණ්ඩිත අත්තන්ගනේ රතනපාල නාහිමියෝ ඒ බව සඳහන් කළේ, රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන වාතාවරණය පිළිබඳව ‘සරෝජ් සමග සංදේශය’ යූටියුබ් නාලිකාව සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
වර්තමානයේ ශ්‍රී ලංකාව බරපතළ අනතුරකට මුහුණ දී සිටින බව පවසන එහිමියෝ, මේ දැඩි විපතෙන් රට ගලවා ගැනීම උදෙසා උගතුන්, බුද්ධිමතුන් පෙරමුණට පැමිණිය යුතු බව ද අවධාරණය කළහ. වර්ගවාදයෙන් ගිනිගත් ශ්‍රී ලංකාව වැනි සමාජයක භික්ෂූන් වහන්සේ බුද්ධ දේශනාව අනුගමනය කළ යුතු බව මහාචාර්ය අත්තන්ගනේ රතනපාල නාහිමියෝ අවධාරණය කරති.
වර්තමාන භික්ෂු සමාජය තමන්ගේ කාර්යභාරයෙන් බැහැර කළා. ඔවුන්ගේ කාර්යභාරය කල්‍යාණමිත්‍ර භූමිකාවක් සමාජගත කිරීම යනුවෙන් සඳහන් කල එහිමියෝ, කෙසේ වුවත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුව තමන්ගේ පැවැත්ම සඳහා භික්ෂූන් වහන්සේ පාවිච්චි කිරීම බව ද කියා සිටියහ.

Leave a Reply

Your email address will not be published.