දැඩි සත්කාර ඒකක යළිත් පිරෙයි !

කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් සඳහා වෙන් කර ඇති දැඩි සත්කාර සහ අධි සත්කාර ඇඳන් 70න් 63ක් මේ වනවිට සක්‍රීය ලෙස භාවිත කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කරයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පසුගිය 26දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. එසේම කොවිඩ් රෝගීන් සඳහා මේ වන විට වෙන් කර ඇති ඇඳන් ප්‍රමාණවත් නොවුණහොත් කොවිඩ් රැල්ලක් පැවති පෙර අවස්ථාවේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලු රෝහල් වෙත දන්වා ඇති බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස මිලියන 05 ඉක්මවා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. එම ඒකකය 27 දින(ඊයේ දින )පෙරවරුවේ නිකුත් කළ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස 5, 018,241ක් වේ.
ශ්‍රි ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත වේ. ගෙන්වා ඇති එම එන්නත් තොගයක් ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වීමට නියමිත බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.

සබැඳි

Leave a Reply

Your email address will not be published.