වියත් වහර සහ ලේඛන වහර සමඟ සමකාලීන වහර මුසු කළ ‘කර්මක්ෂ’

කතුවරයා අනුදත් විවිධ න්‍යායාත්මක කරුණු, දරන මතවාද සාහිත්‍ය නිර්මාණයකට ගැනීමේ දී, ඇතැම්විට ඒවා එකඑල්ලේ ඔබ්බවාලීම නිසා කෘතිම බවක් දනවන නිර්මාණ කියවන්නට ලැබෙයි. කතාරසය නැසී, ගලා යාම සිඳී, න්‍යායාත්මක රචනා හමුවන තැන් හමු වෙයි. චරිතවල දෙබස් ඇසුරින් නැති නම්, කතුවරයා මැදිහත් වී කතාව අතරතුර කීමක් ලෙසින් ඒවා හැඩගැසෙයි. සිරිමල් විජේසිංහ ලියූ ‘ඔබාමා මහතාගේ ස්ත්‍රී ප්‍රශ්නය’ කතා සංග්‍රහය ද යම් තරමකින් මෙආකාරය දරයි. නිර්මාණයකින් කතුවරයා ඉස්මතුවීම සාමාන්‍ය කරුණකි. නමුත්, තේමාත්මක, විශයානුබද්ධ න්‍යායන් සහ මතවාද සෘජු ව නිර්මාණයට යොදාගැනීම හා ඒවායින් කතාවට බාධා නොපැමිණවීම සඳහා හොඳින් මුසු කිරීමේ හැකියාව ලේඛකයාට යම් කිසි අබියෝගයක් විය හැකිය. කාංචනා ප්‍රියකාන්තගේ ‘කර්මක්ෂ’ කෙටිකතා සංග්‍රහයේ එන ‘ස්වාධීන බෝනික්කා’ මේ අබියෝගය ජයගනී. ‘කර්මක්ෂ’ කතා සංග්‍රහයේ කතා අතර කතුවර අනන්‍යතාව මතුකෙරෙන සාධනීය ම කතාව එය බව අපගේ අදහසයි.
‘ස්වාධීන බෝනික්කා’ හුදෙක් කතුවර මත අමුඅමුවේ ඉදිරිපත් කිරීමක් නොව, පරිකල්පනය සාරයක් ලෙස ගෙන සාධනීයව මෙහෙයවා තිබෙන්නකි. අජීවි වස්තූන් සජීවි කර, මායාමය ලකුණක් පොවන, මෙය කියැවූ පසු ‘බඩ පිරෙන්නට ගනී’. ඇතැම් කෙටිකතා සංග්‍රහයක කෙටිකතාවක් කියැවූ පසු අනෙක් කෙටිකතාවලට ද ඒ පිම්මේ ම ගොස් සියලු කතා එක්වර ම කියැවිය නොහැකිය. ඊට හේතුව, එක් කතාවක් කියැවූ පසු එය සමස්තයක්, සම්පූර්ණ යමක් කියා අවසන් කළාක් වැනි හැඟීමක් ලබාදීමයි. කියවන්නා යම් වෙහෙසකට පත්වීම නොහොත් සක්‍රීය වීමයි. එනිසා බත් කා බඩ පිරී ඇති පසු තවත් බත් පාර්සලයක් කෑ නොහේ. කිරි ටිකක් අයිස්ක්‍රීම් ටිකක් කෑ හැකිය. ‘ස්වාධීන බෝනික්කා’ බත් පිඟානක් නම්, හුස්ම නොඅල්ලා අනෙක් කතා සියල්ල කියවිය නොහැකිය. එය සමඟ ටික වෙලාවක් ජීවත්විය යුතුය.
හෙන්රික් ඉබ්සන්ගේ ‘බෝනිකි ගෙදර’ නෝරා දොර වසා නිවසින් පිටව යාම, සුප්පාදේවී තමාව සිරකර සිටි මැදුරෙන් තරුණවියේ දී පලා යාම සහ පසුව පුතු සමඟ ලෙනෙන් පලා යාම, ගාෂියා ලෝකාගේ ‘බ්ලඩ් වෙඩිං’හි විවාහවීමට සිටි තරුණිය නිවසින් පලා යාම, පටාචාරා තරුණියක ව සිටියදී නිවසින් පලා යාම හා සමාන ව ස්වාධීන බෝනික්කා ද පලා යාමට සැලසුම් කරයි. මේ බෝනික්කා, තමන්ගේ නිදහස අපේක්ෂා කරන්නියකි. නිතර ම බොරුවට සිනාමූනෙන් සිටීම හෝ වෙළඳසැලට ම ඔහේ වී සිටීම ප්‍රතික්ෂේප කරයි. කාන්තා ප්‍රජාව සංකේත ගන්වන බෝනික්කා, නිතර ම තම මතය වෙනුවෙන් පෙනී සිටියි. ස්ත්‍රිය ව සමාජය අර්ථ දක්වා ඇති ආකාරය, සමාජය ඇයට වගකීම් පටවා ඇති ආකාරය ගැන ප්‍රශ්න කරවන තැනක සිටින, රැස්වීම්වල හඬ නගන බෝනික්කා අවසානයේ පලා යාම නවතා දින පොතේ දුක ලියා නිෂ්ක්‍රීය වීම මේ සමාජ ක්‍රමයේ දී අරුමයක් නොවෙයි. අනවරත අරගලයක යෙදෙන කාන්තාව අවසානයේ දී හිතාමතා නිහඬ වනවා නොව, බෝනිකි වෙළඳ සංගම් සහ මිතුරු බෝනික්කන් විසින් ඔලුවට කවා පොවන දේ අනුව නිහඬ කරවීමකි. එබැවින් කතාවසානය බලාපොරොත්තු නොවන එකකැයි කිවහැකිය.
‘අනේ බෝනික්කෝ, ගොඩක් මිනිස්සු බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්නේ උන්ගේ කඳ හොඳට තියෙනකන් විතරයි. උන්ගේ කඳ ගෙවුණට පස්සේ, අතක් පයක් ගැළවුණාට පස්සේ ඔලුවක් තියාගෙන ඇති වැඩේ මොකක්ද, වෙන බෝනික්කෙක් සල්ලි වලට ගන්නවා මිසක්?’
‘කවුරුත් හිතන තරම්වත් කියන තරම්වත් බෝනික්කෙක් වෙලා ජීවත් වෙන එක ලේසි පහසු නැහැ. ඒක දන්නේ බෝනික්කෙක් ම විතරයි.සමහර වෙලාවට ඒක බෝනික්කොවකත් දන්නවනද දන්නේ නැහැ’
එසේම, මෙය තවත් අර්ථයකින් ද වටහා ගත හැකිය. වෙළඳසැළේ සිටින අනෙක් බෝනික්කන්වත් ස්වාධීන කිරීමට ඇයට එහි නවතින්නයි ද, පලා නොයා වෙළඳසැල තුළ සිටිමින් ම ස්වාධීන වන ක්‍රමයක් සොයාගන්නැයි ද මිතුරු බෝනිකි යෙහෙළිය යෝජනා කරයි. ස්වාධීන බෝනික්කා සවන් දෙන්නේ ඒ මතයටය. සියල්ල සුනුවිසුණු වන සේ ලෙන බිඳ පලා යනු වෙනුවට, ලෙනේ ආධිපත්‍ය දරන්නන්ගේ ඔලු ගෙඩි වෙනස් කරවීමට කැරැල්ල ගැසිය යුත්තේ ලෙන තුළදීම යැයි මිතුරිය කරන යෝජනාව ද සැලකිය යුත්තකි. අනෙක් පසින්, ධනවාදය, වෙළඳ පොළ ක්‍රමය තුළ කාන්තාව ස්ථානගත ආකාරය ගැන ද ඉඟි කරයි. පුරුෂයා ප්‍රතික්ෂේප කරනවා නොව, ඇති හැකි පමණින් පීඩකයා වෙත කෝපය මුදාහැර තූ තූ කරනවා නොව ඇති සැටිය, හැඟෙන දැනෙන හැටිය නිරූපණය කරනු මෙයින් පෙනේ. බුර්ශුවා ස්ත්‍රීවාදී අදහසක් මෙයින් එළියට නොඒ.
‘ස්වාධීන බෝනික්කා’ගේ ක්‍රියාවිකාශනය සීරුමාරු‌වේ වෙළඳසැල සහ බෝනික්කන්ගේ වාර්ෂික සම්මේලනය වෙත ද, බෝනික්කන් අතර සමීප සංවාද වෙත ද, වෙළඳසැලට යන එන අය වෙත ද ගමන් ගනී. මේ කතා සග්‍රහයේ ම එන ‘වවුල්ලු’ කතා ව ද සූක්ෂම රචනයකැයි කිවහැකිය. ස්ථර ගැලවිය හැකිය. ඉක්මනින් කතාව කියා අවසන් කරන බවක් පළමුව කියවද්දී පෙනුන ද, වියමන සවිමත්ව පාදම දරා සිටී.
මේ කෙටිකතා සංග්‍රහයේ එන සෙසු කතාන්දරවල ද දැකිය හැකි අතිසියුම් මනෝභාව විවරණ, චරිතයක් විවිධ කෝණයෙන් විමසීම, විශේෂයෙන් ලියන්නිය පසෙකට වී ලෝකය දෙස නිවීහැනහිල්ලේ කාලයක් බලා සිටින අන්වික්ෂීය බැලුම් ‌මෙයින් හමු වේ. කෙටිකතාව තුළ නිශ්චිත සංකේත යොදනු වෙනුවට සමස්ථාර්ථය සංකේතවත් කිරීම ද කතුවරියගේ ලකුණකි. සමස්ත කෙටිකතා සංග්‍රහයේ කතුවරිය භාෂාව අරපරිස්සමින් භාවිත කරයි. කේ.ජී.කරුණාතිලක, ජී.බී.සේනානායක, ගුණදාස අමරසේකරගේ බස් වහරට තරමක් සමීපය. වියත් බස් වහරක් ඇය සතුව ඇත. එබැවින්, ‘මේ වාක්‍යය ඇය මෙසේ අවසන් කරාවි, දැන් නොගැළපෙන වචනයක් යෙදේවි’ කියා පාඨකයා අවිශ්වාසී ව දෑස් වසා බලා සිටියදී කතුවරිය බිය සැක නැතිව තම වචනය මත රැඳී හිඳ හයේ පහරවල් එල්ල කරයි. වියත් වහර සහ ලේඛන වහර සමඟ සමකාලීන වහර මුසු කිරීම ‘කර්මක්ෂ’ කෘතියෙන් පැහැදිලිය.
– ඩිල්ශානි චතුරිකා දාබරේ

Leave a Reply

Your email address will not be published.