ටේලර්ලා වැඩියෙන් මහන්නේ ජෝකර්ලාගේ ඇඳුම්ය

දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල නිමාවට පත් වී ඇත. දැන් පදක්කම්වල පාටින් අපි ඉදිරියට ගිය එකත්, පදක්කම්වල එකතුවත් ගනිමින් පිරිස හුරේ දමමින් සිටිති. මෙම ලිපිය මේ වන විට සමාජය මත ගොඩනැඟී තිබෙන දකුණු ආසියාතික ජයග්‍රහණයේ උද්දාමය පළුදු කරන්නට දරන උත්සාහයක් ලෙස කියවා නොගැනීම වැදගත්ය. ඒ උද්දාමයේ හතර කොන කියවාගෙන ඉදිරියේ මේ තත්ත්වය පෙරට ගෙන ඒමට නම්, රටේ ක්‍රීඩාව අයිති පුරවැසියන් ලෙස අපේම උද්දාමයෙන් බැබළෙමින් මෙහි වාසිය, කීර්තිය අත් කර ගන්නට උත්සාහ දරන නිලධාරීන්, දේශපාලනඥයන් ඊ ළඟට  පැවැත්වෙන ක්‍රීඩා තරගාවලියේ දී අපව විස්සෝපයට පත් කරන පිළිතුරක් අපට මුණ ගස්වන්නට තියෙන ඉඩ වළක්වා ගත යුතුය.

මලල ක්‍රීඩාවේ ජයග්‍රහණය

එය සුවිශේෂී වන්නේ මතුවට ඇති වටිනාකම හේතුවෙන්ය. 1991 හා සම පදක්කම් ප්‍රමාණයක් ගැනීම සහ ඉන්දියාව අභිබවා යාම කුමන පදනමකින් හෝ අගය කළ යුතු දක්ෂතාවකි. එහි දී මේ වන විට ලෝකයේ ම අවධානය දිනා සිටින මීටර් 400 ශූරිය හිමා දාස් මෙන්ම කැපීපෙනෙන කෙටි ධාවන ශූරිය දුටී චාන්ද් වැන්නියන් ඉන්දියාවෙන් නොපැමිණීම ද මෙහි දී අවධානයට ගත යුතුය. ශ්‍රී  ලංකාවට ද විවිධ හේතු නිසා කාන්තා ඉසව්වල පළමු තැන සිටින ක්‍රීඩිකාවෝ නොසිටියහ. රුමේශිකා රත්නායක ආබාධ මත සහභාගි නොවුණාය. නදීෂා රාමනායක නේපාලයේ දී ලංකාවෙන් රැගෙන ගිය ඩෙංගු විෂබීජයේ ගොදුරක් වීමෙන් තරග බිමට නොපැමිණියාය. ඒ අවස්ථා සැපිරුවේ ලංකාවේ දෙවන පෙළ ක්‍රීඩිකාවන්ය. ඒ අතුරින් ඩිල්ෂි කුමාරසිංහ කැපී පෙනෙන්නීය. ඇය විශේෂයෙන් දිනා ගත් රන් පදක්කම් තුනෙන් මීටර් 400 සහාය දිවීමේ ඉසව්වේ අවසාන මීටර් 400 තරග වැදුණු ආකාරය ම ඇයගේ වැදගත්කම තේරුම් ගැනීමට ප්‍රමාණවත්ය. 

අවසාන තේරීම් තරග පවත්වා අවසන් තේරීම ගැන තීරණයකට ඒමට තව කාලය ගත කරන්නට තිබිණ. අසනීප තත්ත්වයේ සිටි ක්‍රීඩකයන්ට ආදේශ ලබා ගන්නට අවස්ථාව තිබුණේ නම්, යම් යම් ආබාධ මත සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් අවස්ථාව ලැබෙන අවසාන මොහොතේ එය ප්‍රයෝජනයට ගන්නට ඉඩ දෙන්නට තිබිණ. එසේ වූවා නම් රුමේශිකා වැනි ක්‍රීඩිකාවක් මෙන්ම සහාය දිවීමෙන් නැවතුණු යුපුන් ප්‍රදර්ශනට ද මීටර් 100 ඉසව්වේ කේවල තරගකාරයා වෙමින් නොනැවැතී එහි රන් පදක්කමට ද අවස්ථාවක් තිබුණු බව තේරුම් ගන්නට ඔහු විසින් සහාය දිවීමේ ඉසව්වේ දී ධාවනයේ යෙදුණු අවසන් මීටර් 100 පමණක්ම වුව උදාහරණයට ගත හැකිය. එසේම බොහෝ සිත් තැළෙන විවේචනයට ගොදුරු වූ ෂෙලින්ඩා ජෙන්සන් වැනි ක්‍රීඩිකාවකට ද ඇතැම් විට දකුණු ආසියාතික මීටර් 200 රන් පදක්කමට අවස්ථාවක් තිබුණ බව පැහැදිලිය.

එසේම දකුණු ආසියාතික තරගාවලිය ආසන්නයේම පැවැති ජාතික ක්‍රිඩා උළෙල බදුල්ලට රැගෙන යාම ද වගකිය යුතු අන්දමෙන් වැඩ කිරීමක් නොවේය. වැසි සහිත කාලගුණයක ක්‍රියාත්මක වූ එම තරගවල දී ද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනතුරු සිදු වන්නට තිබිණ. එසේම තමන්ගේ උපරිමය පෙන්වීමට තිබෙන අවසාන අවස්ථාව මෙන්ම අවසාන තේරීම ලෙස හඳුනා ගත් දක්ෂයන්ට අවස්ථාව ලබා දෙන්නට ද මේ ක්‍රීඩා උළෙල පාදක කර ගන්නට තිබුණු අවස්ථාව ක්‍රීඩා බලධාරීහු නොසලකා හැරියහ. මංජුල කුමාර විජේසේකර දකුණු ආසියාතික තරග ඉතිහාසයේ බිහි වූ උස පැනීමේ අද්වීතීය දක්ෂයාය. ඔහුට තරග වැදීම අහිමි කිරීම ම ඊට උදාහරණයක්ය. ශරීර යෝග්‍යතාව පදනම් කරගෙන දක්ෂතාවල ඉහළ නැඟීම් සහ පහළ බැසීම් සිදු වන ක්‍රීඩාව වැනි විෂයයක දී හොඳම ප්‍රතිඵලය ලබන්නට ඔහු හොඳින්ම ක්‍රීඩා කරන අවස්ථාව තෝරාගෙන ආසන්නම මොහොතේ දී තරගයට යොමු කිරීමට කටයුතු කළ යුතු වුව ද, එය සිදු වන්නේ ඉතා කලාතුරකින් ය.

වොලිබෝලය රෙදි ගලවාගෙන බීච් වොලිබෝලයේ සළුවෙන් විලි වසා ගැනීම

ඉන්දියාවේ ගුවහාතිවලින් ශ්‍රී ලංකා කණ්ඩායම නික්ම ආවේ ඉන්දියානු ක්‍රීඩකයන්ගේ හිතට ද පරාජය ගැන භය ඇති කරමින්ය. විනිසුරුවන් ද ක්‍රීඩා කර යාන්තමට රන් පදක්කම ඉන්දියාවේ රඳවා ගත්ත ද, එම තරගාවලියේ ගෞරවනීයම සහ ආකර්ෂණීයම කණ්ඩායම බවට පත් වූයේ ශ්‍රී ලංකාව බව අවිවාදිත ය. ඇතැම් තරග නැරඹූ ඉන්දියානුවන් තරග පරාජය ගැන කීවේ ‘බෑඞ් ලක්’ කියා නොවේය. මහත්මා ගති ඇති ස්වේච්ඡා සේවක තරුණ තරුණියෝ ශ්‍රී ලංකාවට පදක්කම අහිමි කිරීම ගැන කීවේ “සොරි” යනුවෙන්ය. මේ තත්ත්වය සජීවීව අත්විඳි පුද්ගලයෙක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා මේ සියල්ල දන්නේය.

ඒ දක්ෂතාව පදනම් කරගෙන මේ ලියුම්කරු පෞද්ගලිකව මැදිහත් වී ජාතික ඔලිම්පික් කමිටුවට කළ කරුණු දැක්වීම මෙන්ම තවත් අයගේ ඉල්ලීම් ද සලකා එහි පුහුණුකරු වූ චාල්ස් තිලකරත්නට කණ්ඩායම තව දුරටත් ශක්තිමත්ව පුහුණු කරන්නට හංගේරියාවේ ඉහළ පාඨමාලාවක් ද ලැබිණ. එහෙත්, ඒ සුදුසුකම් සපුරා පැමිණෙන විට චාල්ස් කණ්ඩායමේ පුහුණුකරුවා නොවිණි. අවසානයේ ඔහුට මනා සහායක් දුන් නලීන් සම්පත් මෙන්ම චාල්ස් ද ඉවත් කිරීමට පරිපාලනය කටයුතු කර තිබුණු අතර, ඊට ක්‍රීඩාවේ සුරුවිරුකම් පෑම වෙනුවට පෙත්සම්ම ජීවිතය කර ගත් මිනිසුන් ද බලපා තිබිණ. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට අනුශූරතාව අහිමි වීම ය. ලෝකඩ පදක්කම දිනා ගැනීමේ දී ද බංගලාදේශ කණ්ඩායමට වටයක් පිරිනමා එය දිනාගැනීමට සිදු වීමය.

අනතුරුව දිගින්දිගටම අසාර්ථක වන කාන්තා කණ්ඩායමේ විදෙස් පුහුණුකරු වෙනුවට සමහර අවස්ථාවල දී පුහුණුකරුවකු ලෙස දක්ෂතා පෙන් වූ චන්න ජයසේකර වැන්නෙක් යෙදවීමට තිබුණු අවස්ථාව ද ශ්‍රී ලංකාවට අහිමිව ගිය අතර, විදෙස් පුහුණුකරු යටතේ ශ්‍රී ලංකාවට හිමි වූයේ ලෝකඩ පදක්කමය. ඒ සඳහා යාමේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නේපාලයට ද පරාජය වූහ. ඒ ඉතිහාසයේ පළමු අවස්ථාවේය.

නමුත්, කවදත් දකුණු ආසියානු වෙරළ වොලිබෝල් අංශයෙන් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒ අපකීර්තියෙන් පරිපාලන තීන්දු ගන්නා පිරිසට සැඟවෙන්නට ආරක්ෂිත ස්ථානයක් සකස් කර දුන්නේ වෙරළ වොලිබෝල් පිරිමි සහ කාන්තා අංශවල රන් පදක්කම් පමණක් නොව රිදී පදක්කම් ද ලංකාවට දිනා දෙමින් ය.

අසංක ප්‍රදීප් කුමාර සහ අශේන් රශ්මික වෙරළ වොලිබෝලයේ දකුණු ආසියාතික ශූරතාව දිනා ගනිද් දී අනුශූරතාව ශ්‍රී ලංකා අංක 2 කණ්ඩායම ලෙස තරග වැදුණු ඉන්දික ටිරෝන්ට සහ ජයන් තනූජට හිමි විය. කාන්තා තරග අංශයේ දී ශ්‍රී ලංකා අංක එක කණ්ඩායම වන ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමට පවා නායකත්වය දුන් දිනේෂා ප්‍රසාදිනි සමඟ එක්ව තරග වැදුණු කසුනි චාරුකාට අනුශූරතාවෙන් සෑහෙන්නට සිදු විය. ජයග්‍රහණය හිමි වූයේ අංක 2 කණ්ඩායම නියෝජනය කළ දීපිකා බණ්ඩාරට සහ චතුරිකා මදුශානිටය.

කබඩි

ශ්‍රී ලංකාව ඉහළ දස්කම් දැක් වූ තරග අංශයක්ය. පිරිමි කණ්ඩායම ඒ අතුරින් වඩාත් කැපී පෙනෙන්නේය. අවසාන මොහොතේ දී ඔවුන් පකිස්තානය සමඟ තරගය ලකුණු දෙකක පරතරයකින් ඉදිරියෙන් සිට ජය ගත්තේය. එය ඓතිහාසික ජයකි. සුළු ලකුණු පරතරය සලකා එය සුළු කොට නොතැකිය යුතුය. නමුත්, අවසාන තරගයේ දී ඉන්දියාව පහසුවෙන් ලංකාවට එරෙහිව රන් පදක්කම දිනා ගත්තේය.

පකිස්තානය පැරදීම විස්මයක් නොවන්නට නම්, ඒ ජයග්‍රහණය රැකගන්නට හැකි වටාපිටාවක් සකස් විය යුතුය. මීට වසර ගණනකට පෙර ශ්‍රී ලංකාව ආසියාවේ සහ ලෝකයේ කැපී පෙනුණු කණ්ඩායමක්ය. දකුණු ආසියාව ලෝකයේ කබඩි හපන්නුය. නමුත් කාලය එය වෙනස් කර ඇත. ලංකාවට බොහෝ ඉදිරියෙන් අද ජපානය, දකුණු කොරියාව, තායිලන්තය වැනි රටවල් තිබෙන්නේය. ඒ ඒ රටවල දියුණු වැඩසටහන් පදනම් කරගෙනය. අපි අලුත් නොවී පහසුකම් වැඩිදියුණු නොකිරීම නිසා පහතට ඇදවැටී ඇති බව අවබෝධ කර ගනිමින් පකිස්තානය පරාජය කිරීම ගැන උදම් ඇනිය යුතුය. ක්‍රීඩා බලධාරීන් ඒ ජය අහම්බයකින් සිදු වීමක් සේ නොසලකා වඩා විශ්වාසයකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ දස්කම කරන තැනකට රැගෙන යාමට පරිසරය සකස් කළ යුතුය.

පිහිනුම්

ලංකාවේ දකුණු ආසියාතික තරග ඉතිහාසය ගත් විට පිහිනුම් යුග බිහි වේ. 1991 වන විට එතැන සිටියේ, ජූලියන් බෝලිං සහ දීපිකා චන්මුගම්ය. අනතුරුව අපට නැවත ඇන්ඩෘ අබේසිංහ සහ මිචිකෝ රහීම් යුගයක් හමුවන්නේය. අවසාන පරිච්ඡේදයේ සිටින්නේ අබේසිංහ පවුලේ සහ රහීම් පවුලේ ඊ ළඟ යුගලය වන මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම්ය. 2016 ඒ දෙදෙනා ලබා දුන් දායකත්වය ඉතා ඉහළින් තිබිණි. සමස්ත පදක්කම් 25න් එය 12කි.

මෙවර කිමි‍කෝ නැති තැන්හි එය මැතිව්ස්ගේ දායකත්වය ඇතිව 7ට වැටිණි. මැතිව්ස්ලාට මෙන් ම රහීම්ලාට ද මෙරට පිහිනුම් ක්ෂේත්‍රයේ තිබුණේ විශාල නොපිළිගැනීමක්ය. ඒ ඔවුන් මෙරට නොසිටින බැවිනි. නමුත් ලංකාව මේ පදක්කම්වලින් සැරසෙන ලාංකේය බව හැඩවෙන්නේ ඔවුන් සිටින රටවල නව පිහිනුම් තාක්ෂණය සමඟින්ය.

බැඞ්මින්ටන්

බැඞ්මින්ටන් යනු ඉන්දියාවේ ආධිපත්‍යය මේ මොහොතේ දැඩිව පැට වී ඇති ක්‍රීඩාවකි. පී. වී. සින්ධු නම් ඉන්දියානු ක්‍රීඩිකාව 2016දී රියෝ ද ජැනෙයිරෝ ඔලිම්පික් උලෙළේ බැඞ්මින්ටන් කේවල අංශයෙන් රිදී පදක්කම දිනුවා ය. එසේම ඇය මේ මොහොත වන විට ලොව ක්‍රීඩාවන් පදනම් කරගෙන වැඩියෙන්ම උපයන ක්‍රීඩිකාවන් අතර 13 ස්ථානයේ පසුවන්නීය.

එවැනි බැඞ්මින්ටන් සංස්කෘතියක් ඇති රටක සින්ධු වැනි ක්‍රීඩිකාවක් සහභාගි නොවුණ ද, තරගාවලියට සහභාගි වන්නේ විශිෂ්ට ක්‍රීඩිකාවන්ය. එවැනි තත්ත්වයක දී ශ්‍රී ලංකාව කාන්තා යුගල අංශයේ රන් සහ රිදී පදක්කම් දෙකට ම හිමිකම් කීම අතිවිශිෂ්ටය. ඒ අවස්ථාවේ දී අචිනි රත්නසිරි සහ උපුලි සමන්තිකාට රිදී පදක්කම හිමි කර දෙමින් රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙන්නේ තිළිණි හෙන්දහේවා සමඟ කවින්දි ඉෂාදිකා සිරිමාන්නගේය.

වූෂු

පියවරක් ඉදිරියට පැමිණ 2016 දිනූ රන් පදක්කම රන් පදක්කම් දෙකක් බවට පත් කර ගැනීමට හැකි විය. තරගාවලියට පෙරදීම අමාත්‍යාංශයෙන් ලබා දෙන ප්‍රතිපාදන නිවැරදිව සහ ක්‍රමවත්ව කළමනාකරණය කරන ක්‍රීඩා පරිපාලනය බවට ප්‍රසාදයට පත් වුෂූ ක්‍රීඩාව වෙනුවෙන් කාන්තා අංශයෙන් තිළිණි ගුණසේකර රන් පදක්කමක් දිනා ගත්තාය. ඒ තායිජිජිඈන් ඉසව්වේ සමස්ත දක්ෂතාවන්ටය. තාඔලු  තායිජිඈන් පිරිමි ඉසව්වේ දී තරිඳු නාමල් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දෙමින් කැපී පෙනිණ. එසේම මෙම තරගාවලියේ දී වරප්‍රසාද භාවිතය සම්බන්ධයෙන් නිලධාරීන්ට චෝදනා එල්ල වන තත්ත්වයක දී මානෙල් ධර්මකීර්ති වූෂු ප්‍රධානියා ලෙස මේ තරගාවලියේ දී ඔහුට පැවරී ඇති තාක්ෂණික රාජකාරිය ඉටු කිරීමට රැකියා ස්ථානයෙන් නිවාඩු ලබා නොදෙන තත්ත්වයක් තුළ සිය රැකියාවෙන් ඉල්ලා අස්වෙන බවට ලිපියක් ලබා දී මෙම තරගාවලියට එක් වීම ද ක්‍රීඩාව පැත්තෙන් අගය කළ යුතුය.

මල්ලව පොර

මල්ලව පොර තරග ඉතිහාසය වෙනස් කළ දිල්හානි වීරබාහු සහ අයෝමි සෙනවිරත්න මල්ලව පොර ක්‍රීඩාවෙන් පළමුවරට ශ්‍රී ලංකාවට දිනා දුන් රන් පදක්කම් නොමිණිය හැකි වටිනාකමකින් යුක්තය. දිල්හානි කිලෝ ග්‍රෑම් 65 බර පන්තියෙන් ද, අයෝමී 72 බර පන්තියෙන් ද එම ජයග්‍රහණ ගෙන ආහ.

ටයිකොන්ඩෝ

නේපාලයට වැඩි පදක්කම් ප්‍රමාණයක් ලැබෙන ආකාරයට වයස් කාණ්ඩයන් ද ඇතුළත් කර තරගාවලියට යොදා ගත් ටයිකොන්ඩෝ ඉසව්වෙන් නේපාල ආධිපත්‍යයට අභියෝග කරමින් රන් පදක්කම් හතරක් දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. කි.ග්‍රෑ. 63 කාණ්ඩයෙන් චලින්ද සම්පත් රන් පදක්කම දිනා ගත් අතර, අවුරුදු 17 – 23 පුම්සේ ඉසව්වේ දී රනුක ප්‍රභාත් ලංකාව රනින් සැරසීය. එහි යුගල අංශයේ රන් පදක්කමට ද දායක වූ රනුක එම ජයග්‍රහණය සඳහා ඉසුරි සුහාරාගේ දායකත්වය එක් කර ගත්තේය. එම ශිල්පයේම වයස 23න් ඉහළ කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම හිමි වූයේ ද ශ්‍රී ලංකාවටය. ඒ සඳහා නිශ්ශක ජයසිංහ, අයි. ලක්ෂ්මන්, ක්‍රිශාන්ත වීරසිංහ සහ ඉරන්ගන් වීරගෙදර දායක වූහ.

බොක්සිං

කිලෝ ග්‍රෑම් 81 බර පන්තිය නියෝජනය කරමින්, රුමේෂ් සඳකැළුම් රන් පදක්කම දිනා ගත්තේය. 1991 සිට එක දිගටම 1999 දක්වා දකුණු ආසියාතික තරගවල රන් පදක්කම් දිනා ගත් සුමිත් ප්‍රසන්නගෙන් පසුව ඉහළ බර කාණ්ඩයක රන් පදක්කම් දිනා ගැනීමට ක්‍රීඩකයකු නිර්මාණය වීම සුබ ලකුණකි.

ගොල්ෆ්

ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිය ක්‍රීඩාවක් ලෙස ගොල්ෆ් හැඳින්විය හැකිය. නමුත්, නන්දසේන පෙරේරාගෙන් ඇරඹුණු ඒ ඉතිහාසය තුළ කාන්තා නම් දක්නට නොලැබිණ. එහෙත්, මෙවර දකුණු ආසියාතික තරගාවලිය තුළ දී පිරිමින් වෙනුවට රටට රත්තරන් දිනා දුන්නෝ කාන්තාවෝය. එහි පෙරමුණ ගත්තේ ග්‍රේස් යටවරය. ඇය කාන්තා රන් පදක්කම දිනා දීමෙන් නොනැවැතී කාන්තා කණ්ඩායම් රන් පදක්කමට ද දායක වූවාය. ඒ තුෂානි සෙල්වරත්නම් සහ ටානියා මිනාල් සමඟය. එය ඓතිහාසික ජයකි.

බර ඉසිලීම

ශ්‍රී ලංකාව විශේෂයෙන් ජාත්‍යන්තර මට්ටමේ දී මෑත කාලයේ දක්ෂතා අතින් ඉදිරියට පැමිණි ක්‍රීඩාවක් වන බර ඉසිලීමේ ක්‍රීඩාවේ මෙවර ප්‍රතිඵලය රන් පදක්කම් දෙකකට සීමා විය. ඒ කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ කැපී පෙනෙන වයි. ඩී. අයි කුමාරගේ රන් පදක්කම සහ කාන්තා කිලෝ ග්‍රෑම් 87ට වැඩි බර පන්තිය නියෝජනය කළ නිලන්ති හපුතැන්න දිනා දුන් රන් පදක්කම ය.

සම්මත ප්‍රතිඵලයට අයත් රිදී ලෝකඩ පදක්කම් ප්‍රමාණය එකතුවට නොගෙන බර ඉසිලීම වැනි ඉසව්වකින් බලාපොරොත්තු රන් ප්‍රමාණය නොලැබුණ බවට විශ්වාස කළ හැක්කේ ඔවුන් කාලයක් තිස්සේ ගොඩනඟා ගෙන ඇති ජයග්‍රහණ පිළිබඳ විශ්වාසය නිසාමය.

තුන් ප්‍රයාම

මෙවර පළමුවරට ඇතුළත් වූ ඉසව්වේ ඩූතලන් අංශය ජය ගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කළ එරංගා දුලක්ෂි ය. හිටපු මීටර් 3000 බාධක දිවීමේ ජාතික වාර්තාලාභිනියක වන එරංගා මේ රන් පදක්කම කරා ගිය ගමනේ දී මේ ඉසව්ව තෝරාගෙන සූදානම් වන අවධියේ ම වර්ණ තිලක් නම් වූ ඇයගේ පුහුණුකරු ජීවිතක්ෂයට පත් වන්නේ ය. නමුත්, අනතුරුව සුජිත් අබේසේකරගේ සෙවණෙහි අවශ්‍ය පුහුණුව ලබන එරංගා දකුණු ආසියාව ම ජය ගනිද්දී, ඇයට හමු වූ පුහුණු සහායිකාව වන උදය කුමාරි ද ලෝකඩ පදක්කම දිනා ගැනීම විශේෂ අවස්ථාවකි.

ඉකුත් තරගාවලියේ පාපැදි අංශයෙන් දකුණු ආසියාවට දැඩි අභියෝගයක් වූ ශ්‍රී  ලංකා කණ්ඩායම මෙවර අසාර්ථක වීම කනගාටුදායකය. කරාටේ, දුනු විදීම, වැනි ක්‍රීඩා විශාල ප්‍රමාණයක් වැටෙන්නේ අසාර්ථක වූ ක්‍රීඩාවන් හැටියටය. ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්තානය වැනි රටවල් සහභාගි නොවන තත්ත්වයක දී වුව ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රන් පදක්කමකට සමීප වීමට නොහැකි වීම ඛේදනීය තත්ත්වයකි.

නේපාලයේ අඩුපාඩු, දුර්වලකම් පෙන්වා දෙන නිලධාරීන් නැවත ලංකාවට එන්නේ ඒ මතයේ ම පිහිටා නම්, එය ලංකාවේ ක්‍රීඩාව දුර්වල වීමට තවත් හේතුවක් විය හැකි ය. විශේෂයෙන් වෙඩි තැබීම වැනි ක්‍රීඩාවක දී ඔවුන් සකස් කර තිබෙන තරග පිටිය ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෙතරම් ආගන්තුක ඉහළ ජාත්‍යන්තර මට්ටමෙන් යුක්ත පිටියක් ද යන්න පිළිබඳව අවධානය යොමු කළ ද, ඔවුන් තම ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්නට හොඳ පොළොවක් හදන බවට සාක්ෂි සොයා ගත හැකිය.

එම හැකියාව සහ ශක්‍යතාව අවධානයට ගැනීමට අමාත්‍යාංශ මට්ටමෙන් ගිය නඩයට හැකියාව ලැබුණහොත්, ක්‍රීඩකයන්ට ආදරය කළ යුතු ආකාරය සහ ඔවුන් අභිමානවත් පුරවැසියන් ලෙස සැලකිය යුතු බව නිලධාරීන්ගේ ඔළුවලට ඒත්තු යනවා ඇත.

ගණන් මිමිවලින් සැඟවෙන්නට ඇතැම්හු සමස්ත පදක්කම්වල එකතුව හා රන් පදක්කම් ප්‍රමාණය උඩ දමමින් සිටීනම් මෙහි දක්වා ඇති පදක්කම් සටහන බැලූවිට මේ අය පෙන්වන විලිරුදාව තරමට ඇතෙක් ඉපදී නැති බව පැහැදිලිය.

ක්‍රීඩා අමාත්‍යාංශයට අයිති විෂයපථයට ඔලිම්පික් ආයතනයේ පරිපාලනය ද ඔබන්න හැදීම සිදු වන්නේ ඔලිම්පික් පුටුවට උත්සාහ කර අසාර්ථක වූ ක්‍රීඩා නියෝජනය කරන ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් හරහාය. සිංහ මස් කෑමට අවැසි හිවලුන් කරන්නේ සිංහයන් ඇවිළවීමය. හිවලු‍න්ට කටගැස්මක් නොවන අන්තර් සම්බන්ධයක් සකසා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව ද සිය බැඳීම්වල අනන්‍යතාව අලු‍තෙන් කියවා ගන්නට ඉදිරිපත් වීම වැදගත්ය.

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා නගර ශාලාව ඉදිරිපිට දී අප කාගේත් සහෘදයකු වූ නැසීගිය ප්‍රේමලාල් වෙඩික්කාරගේ ත්‍රීරෝද රථය තුළ දී ක්‍රීඩාව ගැන මා සමඟ කතා කර ඇති එකම වචන ටිකේ දී කිව්වේ “හොඳ වැඩක් ඒක තමයි ඕනි” යනුවෙන්ය. ඒ ‘ලක්දින’ නම් පුවත් පතේ ක්‍රීඩා පිටුව සංස්කරණයට හිතාදර ලාල් අයියාගේ රෙකමදාරුවෙන් මට පවරන මොහොතේදීය.

දෛවෝපගත ලෙස ඒ වචන ටික අද ක්‍රීඩා ඇමතිවරයා වන ඩලස්ට ක්‍රීඩාව සම්බන්ධයෙන්ම කියන්නට අවස්ථාව ලැබී ඇත.

“හොඳ වැඩක්, ඒක තමයි ඕනෑ.”

මේ මොහොතේ ක්‍රීඩාව නඟාසිටුවීමේ වගකීම පැවරී ඇති සියලු‍ දෙනාම ප්‍රවේශම් විය යුත්තේ මේ ජයග්‍රහණ සහ කාර්යයන් පිළිබඳව විවිධ රස කතා කියමින්, තමන්ට ආස්වාදය ලබා දීමට පෙළගැසී සිටින්නන්ගෙන්ය. වසර ගණනක ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අත්දැකීම් සමඟ වගකිව යුත්තන්ට කියන්නට ඇත්තේ ‘ටේලර්ලා වැඩියෙන් මහන්නේ ජෝකර්ලාගේ ඇඳුම්’ බවය.

නිශ්මං රණසිංහ

සබැඳි

Leave a Reply

Your email address will not be published.