රස ගෙනා හිතවතා කුෂ්වන්ත් සිං

කුෂ්වන්ත් සිං අපූරු මිනිසෙකි. පෙර නොවූ විරූ මිනිසුන් සහ දේවල් නිරන්තරයෙන් ම අප විස්මයට ද, කැළඹුමට ද පත් කරයි. තලප්පාවක් හිස බැඳගෙන සිටි මේ සංකීර්ණ විහිළුකාර

රැවුල්කාරයා ද එවැන්නෙකි. මරණය අබියස ඉඳගෙන සැහැල්ලු‍වෙන් සිනාසෙමින් ලියන්නට හැකි වන්නේ එහෙව් මිනිසකුට පමණකි. වෛද්‍ය අචල උපේන්ද්‍ර ජයතිලක පරිවර්තනය කළ කුෂ්වන්ත් සිංගේ නව වන හාස්‍ය කතා එකතුවේ එන කෙටි කතුවර සටහන සිං ආරම්භ කරන්නේම සිනාසෙමිනි.

“‍මගේ අටවැනි හාස්‍ය කතා පොත නිකුත් වන විට මට වයස අවුරුදු 94කි. එවකට මා සිතාගෙන සිටියේ මට සම්පූර්ණ කරන්නට හැකි වන අවසාන හාස්‍ය කතා එකතුව එය බවයි. මගේ ශරීර සෞඛ්‍යය අයහපත් වූ අතර, මා ජීවත් වූයේ බෙහෙත් පෙති අහුරු පිටින් ගිල දමමිනි. එහෙත්, දැන් මම 97 වැනි වියේ දී නවවැනි හාස්‍ය කතා පොත මෙසේ එළිදක්වමි. සිනාව ජීවිතයේ අමෘතයයි. ප්‍රීතිමත්, දීර්ඝ ජීවිතයක් උදෙසා මෙලොව ඇති හොඳ ම පානය එයයි.”‍

කුෂ්වන්ත් සිංගේ හාස්‍ය කතන්දර පමණක් නොව පෙරවදන පවා එකම රස ගුලාවකි. එහි ගැබ් වී ඇති සදය උපහාසය සහ උත්ප්‍රාසය ඇතැම් විට පළමු වටයේ කියැවීමට නතු නොවෙයි. නැවත නැවතත් කියවන්නට සිදු වෙයි. ඔහු එකවරම එක් ඡේදයක සිට අනෙක් ඡේදයට කරණම් ගසන්නේ අපේ සාම්ප්‍රදායික නන්දන වින්දන ආතලය ද කුඩුපට්ටම් කරමිනි.

“‍සිනාව හොඳම පානය වනවා පමණක් නොව, මා සහ මගේ ප්‍රකාශකයා සොයා ගත් පරිදි හාස්‍යජනක කතා ලිවීම සහ අන් අයගේ විහිළු පළ කිරීම ඉතා ලාභදායී ව්‍යාපාරයකි. මීට පෙර පළ කළ සෑම හාස්‍ය කතා පොතක ම නැවත මුද්‍රණයන් දුසිම් ගණන් සිදු විය. ඒවා පදිකවේදිකාවල, දුම්රිය ස්ථානවල, ගුවන්තොටුපළවල, පොත් කුටිවල දක්නට ලැබේ.”‍

කුෂ්වන්ත් සිං යනු විහිළුකාරයකු පමණක් නොවේ. ඔහු නවකතාකාරයෙකි; කෙටිකතාකරයෙකි; නීතිවේදියෙකි; මාධ්‍යවේදියෙකි; සීක් ඉතිහාස ගවේෂකයෙකි; පරිවර්තකයෙකි; කලක් ඉන්දියානු ලෝක් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි. මේ සියල්ල පරයා මිථ්‍යාව, ජාතිවාදය, ආගම්වාදය තදින් බැහැර කළ නීතිය සහ සමානාත්මතාව ඉහළින් අගය කළ සැහැල්ලු‍ මිනිසෙකි. සිං ඉන්දීය ජාතිකයෙකු වුව ද, 1915දී ඔහු උපත ලැබූ හදාලි ප්‍රදේශය අද අයත් වන්නේ පාකිස්ථානු දේශසීමාවෙන් ඔබ්බටය. නමුත්, ඔහු ුගේ මතය වූයේ මිනිසා උපන් ස්ථානය අනුව හෝ ජාතිය, ආගම අනුව බෙදා වෙන් කිරීම කිසි විටෙකත් සාධාරණ කටයුත්තක් නොවන බවයි. ඒ පිළිබඳ යළි යළිත් අවධාරණය කරමින් ඔහු ලියූ කතන්දර, තීරු ලිපි සහ හාස්‍ය කතා බොහොමයකි.

1974දී ඉන්දීය රජය තමාට පිරිනැමූ ‘පද්ම භූෂණ’ සම්මානය ඉන් වසර දහයකට පසු නැවත භාර දීමට කුෂ්වන්ත් සිං කටයුතු කළේ ය. ඔහු එසේ කළේ 1984දී ඉන්දීය හමුදාව අම්රිස්ථාර් නුවර රන් දෙවොල බිඳ දැමීමට විරෝධය පළ කරමිනි. තාර්කික භෞතිකවාදියකු වූ නිසා ම ඔහු එක් ජාතියක් හෝ ආගමක් විසින් තවත් ජාතියක් හෝ ආගමක් පීඩාවට පත් කිරීම නොඉවසුවේ ය. ඉන්දියාව වැනි ආගම්වාදී, ජාතිවාදී වසංගත ගහණ, මිථ්‍යාවෙන් පිරුණ රටක එයින් බැහැරව අවුරුදු 99ක් ජීවත් වීමේ ‘ගටක්’ ඔහු සතු විය. ඔහු ලියූ එක් හාස්‍ය කතාවක් මෙබඳු ය.

“‍පදමට බීමත් වූ අයර්ලන්ත ජාතිකයෙක් පය පැකිළෙමින් වනයක් මැදින් ඇවිදගෙන යන අතර, ගඟේ ගිල්වා මිනිසුන් බෞතීස්ම කරන ධර්ම දේශකයකු හමු විය.

“ඔබ ජේසුස් වහන්සේ සොයා ගැනීමට සූදානම් ද?” ධර්ම දේශකයා, බීමත් පුද්ගලයාගෙන් විමසී ය.

“ආ… වොව්, වොව්, අනිවාර්යෙන්ම!”

ධර්ම දේශකයා, බීමත් පුද්ගලයා බදාගෙන ඔහු ගඟේ ගිල්වා උඩට ගෙන “සහෝදරයා, ඔබට ජේසු හමු වුණා නේ ද?” යි ඇසුවේය.

“න්… නැහැ, මට ජේසු හමුවුණේ නැහැ.”

ඔහුගේ පිළිතුරෙන් මඳක් සලිත වූ ධර්ම දේශකයා යළිත් ඔහුව දියේ ගිල්වා පෙරට වඩා වේලාවක් ගෙවා උඩට ගෙන

“මගේ සහෝදරයා, ඔබට ජේසු හමුවුණා ද?” යි ඇසුවේය.

“නෑ, මට හමුවුණේ නෑ.”

එවර නම් ධර්ම දේශකයාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යමින් තිබිණි. එවර ඔහු බීමත් පුද්ගලයා තත්පර 30ක පමණ කාලයක් ජලයේ ගිල්වා තැබූ අතර ඔහු අත් පා ගසන්නට වූ විට ගොඩ ගත්තේය.

“දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට දැන්වත් ජේසු හමු වුණා ද?”

ඇස් දෙක පිස දමා හුස්මක් ගත් බීමත් පුද්ගලයා, ධර්ම දේශකයාගෙන් මෙසේ ඇසුවේ ය.

“ඔහේට හොඳට ම විශ්වාසයි ද ජේසු ගඟට වැටුණේ මෙතැනින්මයි කියලා? !”‍

මහත මිනිසුන් සියලු‍ දෙනාම එසේ වූයේ සිනාසීමෙන් දැයි හරියටම කිව නොහැකි නමුත්, ‘සිනා සී තරවන්න’ කියා කියමනක් තිබේ. විද්‍යාත්මක සොයාගැනීම කෙසේ වුව සිනාසෙන විට ලේ පිරිසිදු වන බවට සමාජීය මතයක් පවතියි. නමුත්, සිනහවෙන් කළ හැක්කේ තරවීම සහ ලේ පිරිසිදු කර ගැනීම පමණක් නොවේ. වඩා යහපත් වූ රටක් සහ ලෝකයක් තනා ගැනීම උදෙසා ද අපට සිනහව භාවිත කරන්නට බැරි නැත. ඒ වෙනුවෙන් අපට කුෂ්වන්ත් සිං පන්නයේ මිනිසුන් තව තවත් අවැසි ය.

එබඳු මිනිසුන් හුදු විහිළුකාරයන් පමණක් නොවන වග අනාගතයේ දී ඉතිහාසය විසින් තීරණය කරනු ඇත. නමුත් කුෂ්වන්ත් සිංට නම් ඒ පිළිබඳවවත් වගේ වගක් තිබුණු බවක් පෙනෙන්නට නැත. ඔහු මෙසේ ලියා නිහඬව ම නික්ම ගියේ ඒ නිසා වන්නට පුළුවන.

“අවසානයේ දී නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, සීක් ඉතිහාසවේදියකු සහ පරිවර්තකයකු ලෙසට වඩා මා ප්‍රකට වී ඇත්තේ, හාස්‍ය කතා මාලාව සම්බන්ධවයි. සෑම හමුවක දී ම මා ආයාචනා කරන්නේ මා විහිළුකාරයෙකු ලෙස සලකන ලෙසයි !”‍

කසුන් සමරතුංග

සබැඳි

Leave a Reply

Your email address will not be published.