නව වසර උදාව ජනතාවට…?

සෑම මොහොතකම සතුටින් ජීවත් වීමට මිනිසුන් තුළ පවතින්නේ අසීමිත ආශාවකි නමුත්, වර්තමාන ශ්‍රී ලාංකිකයන්ට ගත කරන්නට සිදු වී ඇත්තේ එක්තරා වේදනාත්මක ජීවිතයකි දිනෙන් දින ඉහළ යන බඩු මිල, කිරිපිටි මිල සහ ගෑස් හිඟය, ඉන්ධන සම්බන්ධයෙන් පවතින අර්බුද ලංකාව තුළ නව  වසරටත් පසුගිය වසරේ ප්‍රශ්න ම ත්‍යාග කරනු ලැබුවා කිව්වොත් නිවැරැදි ය.

ලංකාවේ අද පවතින ඩොලර් හිඟය රටේ පවතින ප්‍රධාන ප්‍රශ්නවලට හේතුව වී තිබේ. එය විසින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත දැඩි ලෙස කඩාවැටීමකට සහතික වශයෙන් බලපෑම් කර තිබේ. සාමාන්‍යයෙන් කොරෝනා වසංගතය පැමිණීමට පෙර වසරවල ආර්ථිකයේ බිඳවැටීම, ජන ජීවිත වෙළා පවතින දරිද්‍රතාවය එතරම් ම නොදැනුණ ද, මේ නව වසර ජනතාවට ජීවන බර හිස මත තබාගෙන අඩියක්වත් ඉදිරියට යන්නට බැරි තරම් සෘණාත්මක තත්ත්වයට පත් කර තිබෙන වසරක් ලෙස පෙනී යයි.

අද වන විට ලංකාවේ සතර දෙසින්ම ඇසෙන්නේ එකම ප්‍රශ්න කන්දක්ය. මේ වන විට මිනිස්සු අතිශය දුෂ්කර කාලයක් පසු කරමින් සිටිති. මෙය පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ දැඩිව බලපෑමක් ජනතාවට එල්ල කර තිබෙන්නේ, වසංගතයෙන් බේරී සිටීමේ සෞඛ්‍ය වෛද්‍ය උපදේශවලට අනුගත වීමට ජනතාවට නොහැකි වී තිබීමෙනි.

ලංකාව පුරා විවිධ විනාශකාරී දේවල්, අපරාධ, මංකොල්ල මෙන් ම අනතුරු දිනෙන් දින ඉහළ යන බව රූපවාහිනී මාධ්‍ය නරඹන විට දැකගන්නට ලැබේ. කිරි පිටි මිල ඉහළ යාමෙන් නොනැවැතී කුමන හෝ මිලකට කිරිපිටි සොයා ගැනීමට නොහැකි වීම, සමහර ආයතන විසින් නිකුත් කරනු ලබන කිරිපිටි මිල දී ගැනීම පිණිස ගිනි අව්වට පිළිස්සෙමින් පෝලිම්වල සිටීමට සිදුවීම, ගෑස් ලබා ගැනීම උදෙසා අලුයම සිට මධ්‍යම රාත්‍රී දක්වා පෝලිම්වල සිටීමට සිදු වීම වැනි අර්බුද රැසකට මුහුණදීමට ශ්‍රී ලාංකිකයන්ට සිදු වී ඇත. මේ හේතුවෙන් ලැබූ මේ නව වසර ඉතාමත් ඛේදනීය නව වසරක් ලෙස පෙනෙන්නට තිබේ. එසේ වුව ද, එය යහපත් අතට හරවා ගැනීම ලාංකික අප සැමගේම වගකීමක් බවට පත් වන බව අප තරයේ සිතට ගත යුතුව ඇත.
අද වන විට ලංකාවේ සතර දෙසින්ම ඇසෙන්නේ එකම ප්‍රශ්න කන්දක්ය. මේ වන විට මිනිස්සු අතිශය දුෂ්කර කාලයක් පසු කරමින් සිටිති. මෙය පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ දැඩිව බලපෑමක් ජනතාවට එල්ල කර තිබෙන්නේ, වසංගතයෙන් බේරී සිටීමේ සෞඛ්‍ය වෛද්‍ය උපදේශවලට අනුගත වීමට ජනතාවට නොහැකි වී තිබීමෙනි. මේ පවතින ගැටලු‍ පිළිබඳ පවසමින් ජනමාධ්‍ය තුළ කතා ගොඩනැඟීමක් වෙනුවට රටේ සහ ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා දීම ජනතා ඡන්දයෙන් පත් වූ පාලකයන්ගේ යුතුකම සහ වගකීම වේ.
වර්තමානයේ මෙරට කුමන දිශානතියකට ගමන් කරාවි ද යන්න ගැටලු‍වක්ව පවතින මෙවන් වෙලාවක නිවැරැදි විසඳුම් ගැනීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වීම අත්‍යවශ්‍ය වේ. දිනෙන් දින වැඩි වන ආර්ථික, සමාජමය ගැටලු‍ ප්‍රබලවම බලපානු ලබන්නේ ජනතාවට වීම ප්‍රධානතම හේතුවයි.
වෙහෙසකාරි ජීවිතවලට තවත් වෙහෙසකාරී බවක් නොදී මෙරට පවතින ගැටලු‍වලට අවශ්‍ය විසඳුම් ලබා දීම සිදු කළ යුතුම වේ. මේ ගත වන කාලය අසීරු බව සත්‍යයක් වන නමුත්, ඒ තුළින් පියමං කිරීමට නිවැරැදි, ජනහිතකාමී වැඩපිළිවෙළක අවශ්‍යතාව අතිශයින් පවතී.
උදා වූයේ නව වසරකි. ජනතාවට දැඩිව දැනුණේ නව වසරේ සතුට ද එසේත් නැතිනම් ජීවන අරගලයේ කටුක අත්දැකීම ද යන්න ගැටලු‍වකි.

වයි. බී. තිළිණි නිසංසලා

සබැඳි

Leave a Reply

Your email address will not be published.