ආයිබොවන්ඩ මයිත්තිරි..,

ආයිබොවන්ඩ මයිත්තිරි..,

ආයෙ වංගියක් තමුන්නැහැගෙ මොට්ට කඩුව කොපුවෙන් එළියට වඩම්මල වගේ නේද ආයිබොවන්ඩ? “කඩුව අතට ගත්තෙමි – සකල හොරුන් නසමි” කියලා පහුණු වතාවෙ ලොක්කා බුරපු බිරිල්ල සක්වළ ගලෙනුත් එපිටටම ඇහුණ හිටං… අපෙ අප්පෝ එහෙම උඩුබිරිල්ලක් අපෙ අම්ම මුත්ත කාලෙවත් අහලා තිබුණෙ නැහැ. ඒ කාලෙ පුරුතුගිසිකාරයො කියපු ‘කෝ හතුරෝ… කෝ හතුරෝ…’ බයිලාව කිය කියා තමුන්නැහැ හොයපු හොර-තක්කඩි රැළ අන්තිමට ඔහේගෙම රෙද්ද අස්සෙන් එළියට ආපු හැටි අපිට හොඳට මතකයි ආයිබොවන්ඩ. මයිත්තිරි-දර්මෙන් යහපාලන සූත්තරේ කියවෙන කොටම අපි දැනගත්තා ඔහෙත් හක්කෙ බුදුරැස්-බොක්කෙ දඩමස් වර්ගයේ ලෝක අණ්ඩපාලයෙක් විත්තිය.
මහ බැංකු මංකොල්ලකාරයන්ගෙ හිටං මිග් යානා, හාබර්, එයාපෝට් වගේම සෙල්ලන් පිට්ටනිවලිනුත් ගසා කාපු උං දක්වා සකල හොර තක්කඩින්ගෙම ඔ`ඵගෙඩි චරස්-බරස් ගාලා කපා හෙළනව කියල නෙ හිටං ගොයියා වහසි බස් දෙඩුවෙ. එහෙම කයිවාරු ගහපු හාදයා අන්තිමට කොටපු කෙටිල්ලකුත් නැති කඩුවෙ කොපුවවත් නැති ජෝකරයෙක් වුණේ මැදමුලනෙ මහ රජ්ජුරුවන්ව සිංහාසනේ ඉන්දන්ඩ සූජානං වෙච්ච වෙලාවෙ නෙ. ඒ සීන් එක නිකංම නිකං මළවිකාරයක් නොවී ඉන්ටනැෂනල් ලෙවෙල් එකේම ජෝක් එකක් කොරන්ඩ හිටං උන්නැහැට ඇහැක් වුණ එක නං මාරයි හරියෙ. “කෝ මේ සිරිසේනය” කිය කියා චන්ද වේදිකාවල හිටං ටැලිවිසොන්, රේඩියෝ, පත්තර හැම මාද්දියකින්ම හිටංව පතුරු ගහපු වීරවංසයව ඔහේගේ කකුල් දෙක ළඟටම ගෙන්න ගත්ත එක වුණත් ලේසි -පාසු පුත්තරයෙකුට කොරන්ඩ ඇහැකි හපන්කොමක් ද… නැද්ද ආයිබොවන්ඩ…?
ඒ ඔක්කොම කෙළි කොරල අහක්කෙලා මහින්ද හුළඟට අහුවෙලා ගහගෙන ගිය පාර ඔහේට මැදමුලනෙ ළිප්බොක්ක අස්සෙ නතර වෙන්ඩ සිද්ද වෙච්ච එකත් මාරම ආතල් නේද ලොක්කා. අර වෙඬරුවේ උන්නාන්සෙ අනුසාසනා කොරපු ආකාරෙටම අපෙ සෑර්ව ලෝකල් හිට්ලර් මොඩලෙ පුල් සීරියල් පොරක් කොරන්ඩ ඔහේගෙ සිරිලංකා පාටියත් මාර ගේමක් දුන්න මතක නෙ. බලන්ඩ එපායැ ඒ දවස්වල අතේ ලකුණුකාරයන්ගෙ තිබුණ තේජසේ. මුන්නැහැලම හතර ගාතෙන් වැටිල සෑර්ට පාස් කොරල දීපු විස්සෙ සංසෝදනේ හිරවෙන කොට තමයි නේද අලුත් පෙරමුණු හදන්ඩ මතක් වෙලා තියෙන්නෙ. නිර්පාක්සික, පොදුජන ජනපතියා කියල ලේබල් ගහගෙන උන්නු සන්දියෙ කොරන්ඩ බැරි වෙච්ච කෙළි මේ අඬු-බඬු කඩාගෙන ඉන්න කාලෙ කොහෙ කොරන්ඩද රාලෙ.
හිටං උන්නැහැගෙ පරණ කැබිනට්ටුවෙ හිටපු මාර කකුලක් නේද රවී ගොයිය. උන්නැහැ කියනව නෙ හිටංට විරුද්දව පයිල් හතක්ම උන්නැහැ ගාව තියෙන විත්තිය. අපේ සෑර්ගෙ පාස්කු කොමිසමෙනුත් ඔය උන්නැහැ බැලක් ලිස්ට් කොරල තියෙන වග පොහොට්ටුවෙ හාල් කෑලි නිතර නිතර මතක් කොරන්නෙත් හොඳකට නං වෙන්ඩ බැහැ ගොයියො. සෑර් කියන විදිහට දීගෙ කන්ඩ බැරි නං දික්කසාද කොරල දාන්ඩ ය
කියල අර දඹුල්ල පැත්තෙ කොලුපැටියෙක් සෑර්ට යෝජනා කොරල තියෙනව දැක්ක.
අපේ සෑර් මෙහෙම සද්ද නැතුව ඉන්නෙ නං හොඳකට නෙමේ ආයිබොවන්ඩ. මතක නෙ ඒ කාලේ අඩි හයක් යටට යවනවා කියපු කතාව කාරිය. සජිත්ලා, කරූලා, රංගෙ බණ්ඩාරලා, නැත්තං යකාගෙ ආච්චිත් එක්ක හාද වෙලා හරි අලුත් දීගෙක යන එක තමා හිටං අපේ සෑර් ඉස්සර වෙන්ඩ කලිං ඉක්මනටම කොරගන්ඩ තියෙන කාරිය. එහෙම නොවුණොත් වෙන්නෙ ඔහේගෙ කොපුවෙ තියෙන ඔය මළකඩ කාච්ච කඩුවෙන් හරාකිරියක් කොරගන්න එක විතරමයි●

විශ්ව මිත්‍ර

Leave a Reply

Your email address will not be published.