‘නීත්‍යනුකූලව’ ඡන්ද කල් දැමීම

‘නීත්‍යනුකූලව’ ඡන්ද කල් දැමීම

පසුගිය 09වැනිදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් පළාත් පාලන ආයතනවල කාලය වසරකින් කල් දමන ලදී. ඒ අනුව පවතින පළාත් පාලන ආයතනවල කාලය 2022 මාර්තු 19 සිට 2023 මාර්තු 19 දක්වා කල් තබා ඇත. ඒ අනුව මහා නගර සභා 24ක් නගර සභා 41ක් ප්‍රාදේශීය සභා 275ක් වසරකින් කල් තබා ඇත.

කිසියම් සුවිශේෂී තත්ත්වයන් ඇති වූ විට පළාත් පාලන පනතට අනුව ඇමැතිවරයාට ඒවා වසරකින් කල් තැබීමට අවසරය ලබා දී ඇත. එහෙත්, ප්‍රශ්නය වන්නේ මෙම කල්දැමීම ගැන ආණ්ඩුව පැත්තෙන් කිසිදු පැහැදිලි කිරීමක් ඉදිරිපත් නොවීමයි.

 

සෑම හන්දියකම, සෑම පෝලිමකම ආණ්ඩු විරෝධයක් පවතී. පෝලිම් අසලින් යන ආණ්ඩුවේ නායකයන්ට හූ සංග්‍රහ ලැබෙන්නේ එනිසා ය. ආණ්ඩුවේ කිසිවකුට ගම්වලට වගේම ජනතාව අතරට යාමට නොහැකි වී ඇත.

කොවිඩ් ප්‍රශ්නය නිසා මැතිවරණ කල් දමන බව කීමට ආණ්ඩුවට නොහැකි වී ඇත්තේ මේ වන විට රට සම්පූර්ණයෙන් විවෘත කර සියලු කටයුතු සාමාන්‍ය පරිදි කෙරෙන නිසා ය. රජයේ සේවකයන් සියලු දෙනා සේවයට කැඳවා, පාසල් සම්පූර්ණයෙන්ම විවෘත කර, ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි කෙරෙන තත්ත්වයක් තුළ කොවිඩ් ප්‍රශ්නයක් නිසා මැතිවරණ කල් දාන්නේ යයි කිසිසේත් කිව නොහැකි ය.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යුද්ධයෙන් පසු කාලයේ පළාත් සභා මැතිවරණ ළඟ ළඟ පැවැත්වූ ආකාරය කිසිවකුටත් අමතක නැත. 2015 ජනාධිපතිවරණය ද වසරකට පෙර පැවැත්වූයේ ය.  ඒ රට තුළ තම පාර්ශ්වයට වාසිසහගත තත්ත්වයක් පවතින බව තක්සේරු කළ නිසා ය.
ඉතිහාසය පුරාම බලයේ සිටි පාලකයන් මැතිවරණ කල් දැමුවේත්, පැවැත්වූවේත් තමන්ට වාසි ද අවාසි ද යන්න විමසා බලා ය. මේ අයගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ තරම තීරණය වන්නේ වාසි-අවාසි තත්ත්වයට අනුව ය. ජේ.ආර්. ජයවර්ධන මහා මැතිවරණයක් ඕනෑ ද? එපා ද කියා විමසන මැතිවරණයක් පැවැත්වූයේ 1982දීය. අපේ රට එවැනි රටකි.
වත්මන් ආණ්ඩුව ද මේ තත්ත්ව තක්සේරුව හොඳටම කර ඇති බව පෙනෙන පැහැදිලි සාක්කියක් වන්නේ මෙම මැතිවරණ කල්දැමීමයි.
වසර දෙකක් ගත වන විටම ආණ්ඩුවට විශාල ලෙස ජනතා විරෝධය එල්ල වෙමින් තිබේ. ආර්ථිකය බිඳවැටී භාණ්ඩ මිල වේගයෙන් ඉහළ යාම, භාණ්ඩ හිඟ වීම, ගෑස් හිඟය සහ ගෑස් අනතුරු, ඉන්ධන හිඟය හා විදුලි  කප්පාදුව ආදී වශයෙන් එදිනෙදා ජීවිතයේ ගැටලු රැසක් උද්ගත වී ඇත. එසේම පාරිසරික විනාශය, ජාතික සම්පත් විකුණා දැමීම, ගොවීන්ගේ පොහොර ගැටලුව ආදියේ දී ආණ්ඩුවට එල්ල වී ඇති විවේචනය සුළුපටු නොවේ. එසේම වංචා, දූෂණ ඉහවහා යාම ද, බරපතළ චෝදනා සහිතව දඬුවම් ලබා සිටි හා අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩුවලින් තම දේශපාලන ආවතේවකරුවන් නිදොස් කොට නිදහස් කර ගැනීමත් එවැනි අයට විවිධ තනතුරු හා වගකීම් පැවරීමත් ගැන ඇත්තේ විශාල සමාජ විවේචනයකි.
සෑම හන්දියකම, සෑම පෝලිමකම ආණ්ඩු විරෝධයක් පවතී. පෝලිම් අසලින් යන ආණ්ඩුවේ නායකයන්ට හූ සංග්‍රහ ලැබෙන්නේ එනිසා ය. ආණ්ඩුවේ කිසිවකුට ගම්වලට වගේම ජනතාව අතරට යාමට නොහැකි වී ඇත.
ඒ අතර ආණ්ඩුව ඇතුළතත් විශාල ගැටුමක් පවතින බව දැන් වසන් කළ නොහැකි ය.  ආණ්ඩුවේ පාර්ශ්වයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අය සමඟ ගැටුමකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද වෙනම ගැටුමක් පවතී. පසුගිය දා රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත තනතුරින් එළවා දැමුණේ ජනතාවගේ විවේචනය ප්‍රකාශයට පත් කිරීම නිසාවෙනි. මෙබඳු තත්ත්වයක් තුළ ඡන්දයකට යාම තබා නාමයෝජනා සකස් කිරීම පවා සිදු කළ නොහැකි බව පැහැදිලි ය. ඡන්ද කල් දැමෙන්නේ මේ සියලු අවාසිදායක තත්ත්වයන් නිසා ය.
ආණ්ඩුව මේ නෙළා ගන්නේ පසුගිය කාලයේ තමන් විසින් වපුළ දේවල අස්වැන්න ය. අනෙක් පැත්තෙන් පවතින ක්‍රමය රකින කවර පාලක පංතියක් වුවද ජනතාවට ලබා දෙනවා යැයි කියන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය මෙය ය. රුසියානු විප්ලවයේ නියමුවා වූ ලෙනින් වරෙක පැවසුවේ, ධනපති ප්‍රජාතන්ත්‍රවාදය යනු පාලක පංතියට පාරාදීසයක් ද, පාලිතයන් හෙවත් පීඩිතයන්ට මායාවක් හා මළපුඩුවක් ද වන බව ය. අපේ රටේ පාලක පංතියද තහවුරු කරමින් සිටින්නේ එයමය●
 
 
 


Leave a Reply

Your email address will not be published.