ස්විස් සිද්ධියට කේවට්ටයන් අනවශ්‍යයි !

ආණ්ඩුවේ මේ ඒජන්ත මහත්තුරුන් කියන ආකාරයට මෙය කුමන්ත්‍රණයක් බව තහවුරු වී හෝ එය තහවුරු වන ආකාරයේ යම් තොරතුරක් ලැබී ඇත් නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නායකයන් මේ සම්බන්ධයෙන් කටක් අරින්නේ නැත්තේ ඇයි ? ඔවුන් බලයට පත් වූයේ රටේ ජාතික ආරක්ෂාව කියන කාරණයෙනි. එම ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ, පුරවැසියාගේ ආරක්ෂාවට සෘජු තර්ජනයක් වූ, කොටින්ම රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදෙන නිලධාරිනියකට මෙහෙම නම්, සාමාන්‍ය ජනතාවට කොහොම වෙයි ද යන ප්‍රශ්නය ඇසෙන්නට පටන් ගත් මේ සිද්ධිය ඔවුන්ගේ පාලනයට දැවැන්ත  අභියෝගයකි. එම නිසා කුමන්ත්‍රණ තොරතුරක් ඇත් නම්, ඔවුන් එය මෙසේ මඟහරියි ද?

ලංකාවේ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිණියක වන ගානියා වැනිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් වන කතාව දැන් වෙනත් පැත්තකට යොමු කරමින් තිබේ. ඒ, එය කුමන්ත්‍රණයක් බව ය. මහින්ද අමරවීර ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව කිහිපයක් ම මාධ්‍යයට පවසා තිබුණේ මේ පැහැර ගැනීම කුමන්ත්‍රණයක් බවයි. එසේ ම ආණ්ඩුවේ මතය සෘජුව නියෝජනය කරන මාධ්‍ය ආයතන මඟින් ද එය ප්‍රචාරය කරමින් සිටී. භික්ෂුන් වහන්සේලා යොදවා විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මේ කුමන්ත්‍රණය සිදු කර ඇති බවත්, එය ඉක්මනින්ම හෙළිදරවු වනු ඇති බවත් කියයි.

ඒ කියන්නේ, විපක්ෂය ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නට මෙවැන්නක් සිදු කර ඇත. ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්ව මෙසේ කීව ද, මෙහි වගකිව යුතු බලධාරියකු වන විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන කියන්නේ ඊට වඩා වෙනස් කතාවකි. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සමඟ ශ්‍රී ලංකා රජය ඉතා සහයෝගයෙන් කටයුතු කරන බවත්, ඉදිරියේ දී ද එය එසේ ම පවත්වා ගන්නා බවත් සඳහන් කරන දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා, මේ නිලධාරිණිය පැහැරගෙන යාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන බව ද අවධාරණය කරයි. ඔහු කිසිදු කුමන්ත්‍රණ කතාවක් කියන්නේ නැත. ඔහු අවස්ථා ගණනාවක දී මෙරට සිටින ස්විට්සර්ලන්ත තානාපති හෑන්ස්පීටර්ස් මොක් ගෙන්වා මේ පිළිබඳ සාකච්ඡා පවත්වා තිබිණි.

ආණ්ඩුවේ මේ ඒජන්ත මහත්තුරුන් කියන ආකාරයට මෙය කුමන්ත්‍රණයක් බව තහවුරු වී හෝ එය තහවුරු වන ආකාරයේ යම් තොරතුරක් ලැබී ඇත් නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවේ නායකයන් මේ සම්බන්ධයෙන් කටක් අරින්නේ නැත්තේ ඇයි ? ඔවුන් බලයට පත් වූයේ රටේ ජාතික ආරක්ෂාව කියන කාරණයෙනි. එම ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වූ, පුරවැසියාගේ ආරක්ෂාවට සෘජු තර්ජනයක් වූ, කොටින්ම රාජ්‍ය තාන්ත්‍රික සේවයේ යෙදෙන නිලධාරිනියකට මෙහෙම නම්, සාමාන්‍ය ජනතාවට කොහොම වෙයි ද යන ප්‍රශ්නය ඇසෙන්නට පටන් ගත් මේ සිද්ධිය ඔවුන්ගේ පාලනයට දැවැන්ත අභියෝගයකි. එම නිසා කුමන්ත්‍රණ තොරතුරක් ඇත් නම්, ඔවුන් එය මෙසේ මඟහරියි ද?

කෙසේ වෙතත්, ජනාධිපතිවරණ ප්‍රචාරක කාලයේ ආණ්ඩුව පවත්වාගෙන යන පාර්ශ්වයට හිතවත් මාධ්‍ය කළ මාධ්‍ය මෙහෙයුම මේ සිද්ධියේ දී ද ඔවුහු සිදු කරමින් සිටිති. අදාළ නිලධාරිනියගේ ඡායාරූප පවා ‘හයිලයිට්’ කරන්නට ඔවුහු කටයුතු කළහ. මෙය විපක්ෂයේ කුමන්ත්‍රණයක් බව ජනතාව අතර තහවුරු කිරීමේ වගකීම ඔවුන් තමන් වෙත පවරාගෙන තිබේ.

මෙරට ස්විට්සර්ලන්ත තානාපතිවරයා වහා ම ක්‍රියාත්මක වන පරිදි එරටට කැඳ වූ බව පළ කළේ මේ මාධ්‍යයි. එහෙත්, ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කර සිටින්නේ, එවැනි කිසිදු කැඳවීමක් කර නැති බවත්, ඔහු රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් තමන්ගේ රාජකාරිය නිසි පරිදි ඉටු කරමින් සිටින බවත් ය. මේ මාධ්‍ය පළ කළ තවත් පුවතක් වූයේ ස්විට්සර්ලන්තයේ විශේෂ ගුවන් යානයක් මෙරට නීතියට පිටින් යමින්, අදාළ නිලධාරිණිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් රැගෙන යාමට පැමිණෙන බවයි. ඊට අදාළ සියලු‍ කටයුතු සූදානම් බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත්, එරට රජය මේ සිදුවීම සම්බන්ධයෙන් කටයුතු කළ පූර්ණ රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳව අවධානය යොමු කළ විට එවැන්නක් කරතියි විශ්වාස කළ හැකි ද? මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ ගුවන් යානය නීති විරෝධී ලෙස ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වීම හරහා රටේ ස්වෛරීභාවය අනතුරට ලක් වන බවයි. එහෙත්, ආරක්ෂක අංශ හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය පාර්ශ්වයෙන් හෝ එවැන්නක් ගැන කිසිවක් ප්‍රකාශ කළේ නැත. ඒ කියන්නේ එයත් ජනතාව අතර මතයක් තහවුරු කිරීමේ උත්සාහයක් විය හැකි ය.

කෙසේ වෙතත්, මුල දී මෙය රාජ්‍යයන් දෙක අතර ගැටුමක් බව පෙනෙන්නට තිබිණි. පරීක්ෂණ ඉදිරියට කරගෙන යාම සඳහා පැහැර ගැනීමට ලක් වූ නිලධාරිණියගෙන් කටඋත්තරයක් ගැනීමට පොලිසිය වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රජය දිගින් දිගටම කරන ලද ඉල්ලීමට මුල දී ස්විට්සර්ලන්තය යහපත් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. 

සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින්, ඇය පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට හැකි තත්ත්වයක නොමැති බව මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය. මේ අතර අදාළ නිලධාරිනිය වෛද්‍ය පරීක්ෂණ දෙකකට භාජනය කළ බවත්, ඒවායේ ප්‍රතිඵල බරපතළ බවටත් මාධ්‍ය වාර්තා පළ විය. එම කාන්තාව ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට පිටත් කිරීමට අනුමැතිය ලබා දෙන ලෙස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇති බව ද මාධ්‍ය තව දුරටත් වාර්තා කළේය.

ස්විට්සර්ලන්ත රජය මේ සිද්ධිය අතිශය බරපතළ කාරණයක් ලෙස සලකන බව මුල් අවස්ථාවේදීම කීවේය. “ස්විට්සර්ලන්තය මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතායතනයකට සහ එහි සේවකයන්ට එරෙහිව සිදු වූ ඉතා බරපතළ මෙන්ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා.” ඔවුන්ගේ නිවේදනයේ එසේ සඳහන් විය. එසේම කඩිනමින් මීට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පමුණුවන ලෙස ද ඔවුහු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියහ. ඔවුන්ට එය බරපතළ වුව ද, පැහැර ගැනීම් සම්බන්ධ ප්‍රායෝගික උදාහරණ ඇති තරම් තිබෙන ලාංකිකයන්ට නම් එය ඒ තරම් බරපතළ බවක් පෙනෙන්නට තිබුණේ නැත. පෙර කී මාධ්‍ය මඟින් එය තව දුරටත් දියාරු කර දැමීමේ මෙහෙයුම ඇරඹීය. රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ සුදු වෑන් රියැදුරුගේ විගඩම වැනි හාස්‍යජනක තත්ත්වයක් මීට ද අත් කර දීමේ උත්සාහයක් ක්‍රියාත්මක වේ. ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු පවතින කාලයේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවති කාලයේ පුද්ගලයන් පැහැර ගන්නා ලද සුදු වෑන් රථයක රියැදුරෙකු ලෙස හඳුන්වමින් පුද්ගලයකු මාධ්‍ය ඉදිරියට ගේන්නට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා කටයුතු කළේය. පොලිසියට ප්‍රකාශයක් හෝ නොදී, දිවුරුම් ප්‍රකාශයක් හෝ ඉදිරිපත් නොකරමින්, අතිශය විහිළුසහගත ආකාරයෙන් ඉදිරිපත් කෙරුණු මේ විගඩම මඟින් සුදු වෑන් සම්බන්ධයෙන් ජනතාව අතර තිබූ භීතිය තනුක කිරීමට සමත් විය. කෙසේ වෙතත් දෙපැත්තේ ඩීල් ඇති නිසා මෙතෙක් රාජිත සේනාරත්නගෙන් හෝ අදාළ පුද්ගලයාගෙන් පොලිසිය පාර්ශ්වයෙන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමක් සිදු වූයේ නැත. 

තානාපති නිලධාරිණියගේ සිදුවීම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කළේය. ඒ දෙසැම්බර් 01 වැනිදා ය. පැහැරගෙන යෑම සිදු වූයේ නොවැම්බර් 25 දා ය.

“ස්විස් දූත කාර්යාලය සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිණිය වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපයන ලද පරිදි සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළගැස්ම සහ කාලවකවානුව සිදුවීමට මුහුණ පෑ බව කියන නිලධාරිනිය අදාළ දින කළ ගමන් බිමන් සමඟ නොපෑහෙන බව ඌබර් (ඹඉැර) වාර්තා, සීසීටීවී (ක්‍ක්‍ඔඪ) දර්ශන, දුරකථන වාර්තා සහ ජීපීඑස් (ඨඡී) දත්ත ඇසුරෙන් සනාථ වන බව සාක්ෂි සහිතව තානාපතිවරයාට පෙන්වා දෙන ලදී. නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් ස්විස් දූත කාර්යාලයට ඉදිරිපත් කළ ප්‍රතික්ෂේප කළ නොහැකි සාක්ෂි ප්‍රකාර අදාළ චෝදනාව හා සම්බන්ධ සැබෑ තතු නිවැරදිව හඳුනා ගැනීමට තව දුරටත් විමර්ශන කළ යුතු බව අවධාරණය කෙරිණි.” යනුවෙන් එහි සඳහන්ය. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහි දී ඇතැම් ගාල කඩාගත්තවුන් මෙන් නොව පිළිවෙළකට කටයුතු කරන ආකාරයක් දැකිය හැකි විය. එය සැලැකිය යුතුය. මේ අතරවාරයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගම විසින් ද වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ලිපියක් යොමු කරමින්, අදාළ විමර්ශන කඩිනමින් අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබිණි. තානාපති කාර්යාලයක ආරක්ෂාව ඉල්ලා සිටින තැනැත්තන්ගේ තොරතුරු ලබා ගැනීමට එම තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගැනීම සම්බන්ධයෙන් පළ වන මාධ්‍ය වාර්තා ගැන මානව හිමිකම් කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමු වී ඇති බවත්, මෙවැනි සිදුවීම් මඟින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා නිදහසට විශාල බලපෑමක් ඇති වන බවත් එම ලිපිය මඟින් සභාපතිනිය පෙන්වා දී තිබේ. අදාළ නිලධාරිණිය පැහැරගෙන ගොස් ප්‍රශ්න කර තිබුණේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා සම්බන්ධයෙන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. පෙර රාජපක්ෂ පාලන කාලයේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ නිශාන්ත සිල්වා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වීමත් සමග ස්විට්සර්ලන්තයට ගොස් තිබිණි.

මේ අතර අදාළ නිලධාරිණියගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට අවස්ථාව ලබා දෙන ලෙස ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට බල කරමින් විශ්‍රාමික මේජර්වරයකු වූ අජිත් ප්‍රසන්න කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය. ඔහු මේ සිදුවීම හැඳින්වූයේ ශ්‍රී ලංකා රජය අපහසුතාවට පත් කිරීමට රඟදක්වන ‘ජාත්‍යන්තර නාටකයක්’ ලෙසය. විමර්ශකයන් එවැන්නක් තහවුරු කර නැති තත්ත්වයක් තුළ මෙවැන්නන් මෙසේ චෝදනා කරන්නේ කෙසේ ද? ඒ සම්බන්ධයෙන් ඔවුන් වැඩි විස්තර දන්නේ නම්, ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන, මෙය නාටකයක් බව කරුණු සහිතව ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේ ඇයි ?

කෙසේ වෙතත්, මේ වන විට අදාළ නිලධාරිණියගෙන් අවස්ථා කිහිපයක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කර ඇත. එම කරුණු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් කළ යුත්තේ කේවට්ටයන්ට මේ කුමන්ත්‍රණ කතා, නාටක කතා කියන්නට ඉඩ නොදී, එවැන්නක් ඇත්නම් වහා ම ප්‍රසිද්ධ කොට තමන්ගේ නම්බුව බේරා ගැනීමය. එහෙත් ආණ්ඩුවේ නායකයන් තවමත් නිහඬය.

අසංක කරුණාරත්න

සබැඳි

Leave a Reply

Your email address will not be published.