ජපානය දියුණු වීමේ රහස දේශපාලනයෙන් ආගම අයින් කිරීමයි

ජපානයේ ‘රෝයල් වෙයින්’ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ

රන්ජන් කොස්තා

නිදහස ලබන අවස්ථාවේ ජපානයට පමණක් දෙවැනි වුණු සංවර්ධන මට්ටමක අප රට පැවැතුණත්, මේ වන විට ඇදවැටී තිබෙන තත්ත්වය පිළිබඳව විමසා බැලීමකි මේ. දැනට වසර තිස්පහක් පමණ තිස්සේ ජපානයේ සිටිමින්, මේ වන විට එරටේ ශ්‍රී ලාංකික සමාගමක් පවත්වාගෙන යන රන්ජන් කොස්තා හමු වී ලංකාව මෙම තත්ත්වයට වැටීම සම්බන්ධයෙන් කළ සාකච්ඡාව මෙහි පළ වේ.

■  ඔබ ජපානය බලා පිටත් වීමේ පසුබිම කෙටියෙන් දක්වන්න.

මගේ පියා කොළඹ වරායේ සේවය කළා. අම්මා ඉංග්‍රීසි ගුරුවරියක්. මේ දෙන්නා ම අලුතින් හිතන කට්ටිය. මාව අධ්‍යාපනයට දැම්මේ කේරි කොලේජ් එකට. ඒ කියන්නේ, නිදහස් අධ්‍යාපනය ලබපු කෙනෙක් නොවෙයි මම. නාරද හාමුදුරුවන්ගේ පන්සලේ දහම් පාසලටත් ගියා. මගේ ඉස්කෝලේ සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, ඉස්ලාම් ආගම් අදහන අය වාගේ ම ජාතීන් හැටියට ගත්තොත්, සිංහල, දෙමළ, මුස්ලිම් අයට අමතරව චීන, බෝරා වාගේ අයත් හිටියා. අධ්‍යාපන මාධ්‍යය සිංහල වුණාට ඉස්කෝලේ පරිපාලනය ඉංග්‍රීසියෙන්. මම උසස් පෙළ කළාට පස්සේ එක්දහස් නවසිය අසූහයේ විතර ජපානයට ගිහිල්ලා ඉගෙන ගන්න ආශාවක් හිතුණා. ඒ වෙන කොට තාත්තා පෙන්ෂන් ගිහිල්ලා. ඒ නිසා මගේ කටයුතු වෙනුවෙන් එදා කාලයේ හැටියට රුපියල් පනස්දාහක් විතර වියදම් කරලා, ජපානයේ ඉගෙන ගන්න අවස්ථාව හදලා දුන්නා.

මම එහේ ගියාම ඉගෙන ගන්න අතර අමතර ආදායමක් ලබා ගන්නත් යොමු වුණා. ඉස්සෙල්ලාම වැඩ කළේ ලොන්ඩරියක. ඒ කියන්නේ, නුපුහුණු ශ්‍රමිකයෙක් විදියට. ඉගෙන ගන්නා අතර, ආදායමක් හොයන එකත් ජපානයේ අනිවාර්ය දෙයක්. මේ නිසා මමත් අමාරුකම් බලන්නේ නැතිව මේ වැඬේට යොමු වුණා.

■  ඒ රටට ගිය හැටියේම මොකද හිතුණේ ?

මට එක පාරටම ලොකු ‘කල්චරල් ෂොක්’ එකක් ඇති වුණා. ඒ කියන්නේ, සංස්කෘතික කම්පනයක්. ඒකට හේතුව ජපන් ජාතිකයන් වැඩ කරන හැටි දැක්කාම ඒ පිළිවෙළ දැක්කාම ලංකාව ගැන ලොකු කම්පනයක් ඇති වුණා. සරල උදාහරණයක් හැටියට ජපානයේ ආහාර සංස්කෘතිය හරිම විද්‍යාත්මකයි. ඒ වගේම අනිවාර්ය ප්‍රමිතියෙන් යුක්තයි. ඒ අය තමන්ගේ ආහාර වේල ගැන ඉතාම බරපතළ විදියට කල්පනා කරනවා. නමුත්, අපේ රටේ එහෙම නැහැ. ඕනෑ කෙනකුට වගේම ලොකු කොම්පැනිවලටත් ඕනෑම වස විසක් නිදහසේ විකුණන්න පුළුවන්. මිනිස් ශරීරයට අහිතකර ආහාර ඕනෑ තරම් තියෙන බව අපි දන්නවා. අනෙක් පැත්තෙන් ඒ රටේ විනය මේ රටේ ගෑවිලාවත් නැහැ. අපිටත් සෑහෙන කාලයක් ගියා ඒ විනයට හැඩගැහෙන්න. මට එකපාරම කල්පනා වුණේ, අපේ රට මේ තත්ත්වයට ගේන්න තව කොච්චර කල් යයි ද කියලා.

■  ජපානයේ කාර්මිකකරණයෙන් ඉහළම රටක්. අපේ රට උත්සාහ කරන්නේ, ඒ වගේ වෙනවාට වඩා සිංගප්පූරුව වගේ වෙන්න නේද?

මම කල්පනා කරන විදියට අපේ රට වරද්දා ගත්ත ප්‍රධානම තැනක් තමයි, ඒක. ජපානය කියන්නේ, දෙවැනි ලෝක යුද්ධයේ දී සම්පූර්ණයෙන් ම වැනසුණු රටක්. නමුත්, ඊට පස්සේ නිවැරැදි සැලසුම්වලට රට ගොඩනඟන්න පටන් ගත්තා. අපේ රටේ එහෙම එකක් නැහැ. උදාහරණයක් විදියට කොම්පියුටර් තාක්ෂණය ජපානයට ආවේ එක්දහස් නවසිය අනූදෙකේ විතර. ඔවුන්ට ලොකු බාධාවක් වුණා, ඉංග්‍රීසි භාෂාව ඉතාම අඩුවෙන් භාවිත කිරීම. නමුත්, ඔවුන් ඒ අභියෝග ජය ගත්තා. ඒ වෙනුවෙන් තමන්ගේ රටේ නැති මානව සම්පත් ඔවුන් යොදා ගත්තා. උදාහරණයක් හැටියට ගත්තොත්, මම විශ්වවිද්‍යාලයේ දී ආර්ථික විද්‍යා උපාධියක් අරගෙන ජපානයේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්නුවා.

ඔවුන් නූතන අභියෝගවලට මුහුණ දුන්නේ ඒ වගේයි. නමුත්, අපේ රටේ එහෙම සැලසුමක් නැහැ. ලෝකයේ කොහේ හරි රටක් ආදර්ශයට ගන්නවා විතරයි. මුල දී කොම්පියුටර් පරිහරණය කිසිම ජපන් ජාතිකයකුට බැරි තරමේ තිබුණා. නමුත්, තමන්ට ඕනෑ කරන ඒ මානව සම්පත ඉතාම කෙටි කාලයක් තුළ අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය කර ගත්තා. අපේ රට සිංගප්පූරුව ආදර්ශයට ගත්තාට අපි අඩුම ගාණේ ඒ රටේ මාර්ග විනයවත් පිළිපදින්නේ නැහැ.

■  ජපන් ආර්ථිකයේ මූලිකත්වය තියෙන්නේ, පෞද්ගලික අංශයට. ඔවුන්ගේ පරිපාලන කටයුතු මොන වගේ ද?

ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඒ රටේ වැඩබිමේ සිස්ටම් එකත් බොහොම උසස්. හැමෝම තමන්ට නියම වුණු රාජකාරිය කරනවාට අමතරව සමහර වේලාවට දකින්න තියෙන ඕනෑම වැඩක් තව කෙනකුට නොතියා කරන පුරුද්දක් තියෙනවා. උදාහරණයක් හැටියට මම වැඩ කළ ජපන් ෆැක්ටරියක මැනේජර් කෙනෙක්, එයාගේ නම පෝජුන් ජූ එයා ඇවිල්ලා, එක වෙලාවක ටොයිලට් එක සේදුවා. ඉඳලා හිටලා අයිතිකාරයා එනවා. හැබැයි, අපි දන්නේ නෑ එයා අයිතිකාරයා ද කියලාවත්. ඒ කියන්නේ, වැඩබිමට ගියාම කිසිම උස්-පහත් බවක් නැහැ. හැමෝම තම තමන්ගේ කටයුතු උපරිම විදියට කරනවා.

මගේ අත්දැකීමක් කියන්නම්, මම අර ලොන්ඩරියේ වැඩ කරන කොට සෑහෙන ප්‍රමාදයක් තිබුණා. ඒ අයිතිකාරයා මගෙන් විස්තර ඇහුවා. මම කිව්වා, මේ මම කරන්නේ මට කරන්න පුළුවන් උපරිම විදියට කියලා. ඊට පස්සේ දවසක එයා අපේ රට ගැන තොරතුරු හොයලා, මට කිව්වා, “උඹලාගේ රටේ ඉන්නේ මහ කම්මැලි ජාතියක්” කියලා. තවත් වේලාවක මම රෙස්ටෝරන්ට් එකක පිඟන් හෝදන වැඩෙත් කළා. ඒ අයිතිකාරයා මගෙන් විස්තර ඇහුවා. පස්සේ දවසක කිව්වා, “එළියට ගිහින් අපි හමුවෙමු” කියලා. එහෙම කියන්නේ, මොනවා හරි අවවාදයක් දෙන්න. පොඩි ඩි්‍රන්ක් එකක් ගන්න ගමන් විස්තර පැහැදිලි කරලා දෙනවා. මම මේ කීවේ ඕනෑම ලොකු නිලධාරියෙක් එහෙමත් නැත් නම්, අයිතිකාරයෙක් තමන්ගේ සේවකයන්ගේ ආත්මගෞරවයට හානි කරන්නේ නැහැ.

ඒ වගේම වැඩ කරන අයගේ ඉලක්කය තියෙන්නේ, වැඩි පැය ගාණක් වැඩ කරන්න. වැඩි පැය ගාණක් වැඩ කළොත් තමයි, වැඩි ආදායමක් උපයා ගන්න හැකි වෙන්නේ. වැඩි පැය ගාණක් දෙන්නේ, අලසයන්ට නොවෙයි. ඒ අයට දෙන්නේ අඩු පැය ගාණක්. හොඳින් වැඩ කරන අය බලලා, වැඩි පැය ගාණක් දෙනවා. මානව සම්පත් කළමනාකරණයේ දී ඔවුන් අනුගමනය කරන්නේ ඒ විදියේ උපක්‍රම.

■  අපේ රට නිදහස ගන්න කොට ජපානයට විතරක් දෙවැනි වන මට්ටමේ තිබුණා. නමුත්, අද විශේෂයෙන්ම ආර්ථික පැත්තෙන් අන්ත ප්‍රපාතයකට වැටිලා. මේ ගැන ඔබ දකින්නේ කොහොම ද?

ජපානය වේගයෙන් ඉදිරියට ගියේ, රජය මැදිහත් වී පෞද්ගලික අංශයට හඳුන්වා දුන් ප්‍රමුඛතා ඉලක්ක නිසයි. ඒ වගේම නීතිය හරියටම ක්‍රියාත්මක කළා. තමන්ගේ ආර්ථික ශක්තිය අනුව දේශපාලන බලය අනුව නීතිය වෙනස් වෙන්නේ නැහැ. බහුජාතික සමාගම් විශාල වශයෙන් තියෙනවා. නමුත්, ඒ අයට කිසිම ක්‍රමයකින් ජපානයේ නීතිරීතිවලට පිටින් යන්න බැහැ. ඒ වගේම කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ඉතා හොඳින් සැලසුම් කර ක්‍රියාත්මක කළා. කාලයකට හිම වැටෙන නිසා වගා කටයුතු කරන්න තියෙන්නේ, කෙටි කාලයක් විතරයි. මුළු අවුරුද්දටම අවශ්‍ය ආහාර භෝග හැම දේවලම ඒ කෙටි කාලය ඇතුළත අස්වැන්න නෙළා ගන්න ඕනෑ. හාල් වගේ දෙයක් ආනයනය කිරීම පවා තහනම්. ජපානයේ ගොවියා කියන්නේ, මිල දී ගැනීමේ හැකියාව ඉහළින්ම තිබෙන පුරවැසියෙක්.

නමුත්, මේ තත්ත්වයන්ගෙන් අපේ රට තිබෙන්නේ කොතැන ද කියලා කල්පනා කළාම බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන්. මම අර මුලින්ම කීවා වගේ කේරි කොලේජ් එකේ සියලුම ජාතීන්, සියලුම ආගම් අදහන අය කිසිම භේදයක් නැතිව හිටියා. ජපානය කියන්නෙත්, අන්න ඒ වගේ රටක්. විදේශයන්ගෙන් යන අයට පවා ඔවුන්ගේ ආත්මගරුත්වය රැකෙන විදියට කටයුතු කෙරෙනවා. නමුත්, අපේ රටේ මිනිස්සු අතරෙත්, ජාතීන් විදියට බෙදීම් තිබෙනවා. ආගම් විදියට බෙදීම් තිබෙනවා. එදා ඉඳලාම රටේ සංවර්ධනයට මේක ලොකු බාධාවක්. අනෙක් පැත්තෙන් හැම දේකටම කෙරෙන දේශපාලන අතපෙවීම් ඉතාම කනගාටුදායක තත්ත්වයකට පත් වී තිබෙනවා.

■  ඔබ සිතන්නේ, දැඩි නීතිරීති මඟින් ජපානය ගොඩනැඟුවා කියලද?

ඒක මෙහෙමයි. ජපානයේ නීති තියෙනවා. හැම දෙනාටම එක විදියට ක්‍රියාත්මක වෙනවා. දේශපාලන බලය හරි සල්ලි බලය හරි ඒ නීතියට අදාළ වෙන්නේ නැහැ. මිනිස්සු කවුරුත් නීතියේ ආධිපත්‍යයට ගරු කරනවා. මම හිතන්නේ, හැමෝටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක වෙන කොට ඒක මිනිසුන්ගේ අධ්‍යාත්මයේ කොටසක් බවට පත් වෙනවා. තමන් අතින් යම් අතපසු වීමකින් හරි නීතියක් කැඩුණොත්, ඒ ගැන තමන්ටම කම්පනයක් දැනෙනවා. මම උදාහරණයක් කියන්නම්, අර න්‍යෂ්ටික බලාගාරය පුපුරා ගිය වෙලාවේ මිනිස්සු දැඩි අසරණභාවයකට පත් වුණා. ගෙවල් දොරවල්, කඩ සාප්පු දාලා හැමෝම පලා ගියා. අනතුර අඩු වුණාට පස්සෙත් ඒ කඩ සාප්පු එහෙමම තිබුණා. කවුරුවත් ඒවා කොල්ලකෑවේ නැහැ. නමුත්, ඇමෙරිකාවේ හරි බටහිර යුරෝපීය රටක හරි මෙහෙම දෙයක් වුණා නම්, කඩ සාප්පු කොල්ලකන විදිය අප දැක තිබෙනවා. ජපානයේ මොනම අපදාවක දීවත් එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව නීතියම නොවෙයි, මිනිසුන්ගේ අධ්‍යාත්මය කියලයි මම හිතන්නේ. නීතියට වඩා ආධ්‍යාත්මික හික්මීම බලවත්. මම මේ කියන්නේ, ආගමික ආධ්‍යාත්මික බවක් නොවෙයි. මිනිසා තුළ ඇති වන දියුණු මනෝභාවයක්; දියුණු හැඟීමක්.

■  ඔබ ආගම ගැන සඳහන් කළ නිසා මෙහෙම අහන්න හිතුණා. ජපානය කියන්නේ, ප්‍රධාන වශයෙන්ම බෞද්ධ රටක්. ජනතාව ආගම ගැන දකින්නේ කොහොම ද?

එහේ ආගම කියන්නේ, ලෞකික දෙයක්. ඒ වගේම ඒක හුදෙක්ම පුද්ගලයාගේ කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. පාසල් දරුවන්ට ආගම කියලා විෂයයක් උගන්වන්නේ නැහැ. ජනවාරි පළමුවැනිදාට හැමෝම තම තමන්ගේ ආගම් අනුව ගිහින් කටයුතු කර වැඩපොළවලට යනවා. එකක් දෙකක් නොවෙයි, ගොඩක් ආගම් තිබෙනවා. පොත පත කියවලා, තම තමන්ට අවශ්‍ය විදියට ආගම් අතර වෙනස තේරුම් ගන්නත්, ආගමක් අදහන්නත් නිදහස තියෙනවා. හැබැයි, අනෙක් අයට ආගමේ නාමයෙන් බලපෑම් කරන්න බැහැ. ඊට විරුද්ධව තද නීති තියෙනවා. ගොඩක් අය ඉන්නේ, “මට ආගමක් නැහැ” කියලා. දේශපාලනය සම්පූර්ණයෙන්ම ආගමෙන් අයින් කරලා තියෙන්නේ. අධිරාජයා සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් අයින් කරලා තියෙන්නේ. ඔහු රාජ්‍ය බලයේ සංකේතයක් විතරයි. මම පෞද්ගලිකව කල්පනා කරන විදියට ජපානය ආසියාතික රටවල් අතුරින් වැඩියෙන්ම දියුණු රට බවට පත් වී තිබෙන්නේ, දේශපාලනයෙන් ආගම සම්පූර්ණයෙන්ම අයින් කර තිබෙන නිසා කියලයි.

■ සංවාදය

  ප්‍රියදර්ශන දයාරත්න

සබැඳි

Leave a Reply

Your email address will not be published.