‘ලියනාඩෝ ඩාවින්චිගේ’ මොනාලිසා සිතුවමේ සොරකම…

1911 වර්ෂයේ අගෝස්තු 21 දින ප්‍රංශයේ ‘ලුවර්’ (Louvre) කෞතුකාරයේ ප්‍රදර්ශණය සඳහා තැන්පත් කර තිබූ ලෝක ප්‍රසිද්ධ මොනාලිසා සිතුවම කවුරුන් හෝ විසින් සොරාකම් කරනු ලබනවා. ඒ කාලයේ මෙම සිද්ධිය ලොව පුරා මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙනවා වගේම මෙය ලෝකය තුල මහත් ආන්දෝලනයකටද ලක්වෙනවා. ඊට පස්සේ මොනාලිසා සිතුවම නැවතත් හොයා ගන්න එරට පොලීසිය කොතරම් පරීක්ෂණයන් පවත්වා සෑහෙන පරිශ්‍රමයක් දැරුවත් ඒ අයට සිතුවම නැවත හොයාගන්න බැරිවෙනවා. ඒ උනත් සොරකම වී වසර 2කට විතර පස්සේ ‘වින්සෙන්සෝ පෙරුගියා’ (Vincenzo Peruggia) නැමැති ප්‍රංශ ජාතිකයෙකු විසින් සොරකම් කරන ලද මොනාලිසා සිතුවම රහසිගත ලෙස විකිණීමට යාමේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලබනවා.
මේ පිළිබඳව වැඩිදුරටත් කළ සොයා බැලීම් වලින් පස්සේ හෙලිදරව් වෙන්නේ මොනාලිසා සිතුවම සොරකම් කෙරුණු කාලයේදී ‘වින්සෙන්සෝ පෙරුගියා’ (Vincenzo Peruggia) නැමැත්තා ‘ලුවර්’ (Louvre) කෞතුකාරයේ එවකට සේවය කළ අයෙකු බවයි. මෝනාලීසා සිතුවම නැතිවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ ප්‍රසිද්ධම ප්‍රවෘත්තිය මේක උනත් එම සොරකමේ සිදුවී තිබුණු සැඟවුනු සිදුවීමද පසුකාලීනව ලෝකයට හෙලිදරව් වෙනවා.
‍එම සිද්ධියට අනුව ‘වින්සෙන්සෝ පෙරුගියා’ (Vincenzo Peruggia) හට මොනාලිසා සිතුවම සොරකම් කිරීම සදහා කොන්ත්‍රාත්තුව බාර දෙනු ලබන්නේ ‘මාකේස් එඩ්වාඩෝ’ (Marqués Eduardo) නම් කුප්‍රකට කලා කෘති ජාවාරම්කරුවා විසිනි. ඔහු විසින් මෝනාලීසා සිතුවම සොරකම් කිරීම සදහා ‘පෙරුගියා’ (Peruggia) හට පොරොන්දු වූ සම්පූර්ණ මුදලම චිත්‍රය සොරකම් කිරීමෙන් පසු ලබා දෙනවා… ඉන් පසු චිත්‍රය රැගෙන යාමට වෙනත් දිනයක තමා පැමිණෙන තෙක් එය ආරක්ෂා සහිතව තබාගන්නා ලෙස උපදෙස් ලබා දී ඔහු පිටව යනවා. එසේ කාළයක් ගත වුවද ‘එඩ්වාඩෝ’ (Eduardo) යලි කිසිදවසක මොනාලිසා චිත්‍රය රැගෙන යාමට එන්නේ නැහැ.
කලා කෘති ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ලෝකයේ වටිනාම සිතුවම ලෙස සැලකෙන මොනාලිසා සොරකම් කිරීමෙන් හා ඒ හොරකමට මුදල් ගෙවූ පසුවත් එය රැගෙන යාමට නොපැමිණියේ ඇයි කියලා ඔයාලට දැන් ප්‍රශ්ණයක් වෙලා ඇති…?
‘එඩ්වාඩෝ’ (Eduardo) විසින් මොනාලිසා සිතුවම සොරකම් කිරීමට සැලසුම් කිරීමට කළින් ඇමෙරිකාවේ හා යුරෝපයේ වෙසෙන ධනවත් කලා කෘති රැස්කරන්නන් තනි තනිව හමුවී එම චිත්‍රය මිළදී ගැනීමට ඔවුන්ගේ ඇති කැමැත්ත සහ මිළ ගණන් කතා කරගෙන සිටි අතර ඔවුන්ගෙන් 6 දෙනෙකු අති විශාල මුදලක් ගෙවා මෙම සිතුවම මිළදී ගැනීමට කැමැත්ත පළකර තිබුණා. ඒ අනුව අති සූක්ශම ලෙස මුල් සිතුවම හා සමානව සකසනු ලැබූ මොනාලිසා සිතුවමේ ව්‍යාජ පිටපත් 6ක් නිර්මාණය කරන ‘එඩ්වාඩෝ’ (Eduardo), ‘ලුවර්’ (Louvre) කෞතුකාරයෙන් සිතුවම සොරකම් කරන ලද බවට වන පුවත ප්‍රචාරය වීමත් සමග එම ව්‍යාජ පිටපත් 6, සිතුවම මිලදී ගැනීමට කැමැත්ත පල කළ ධනපතියන්ට පොරොන්දු වූ විශාල මුදල් වලට විකුණා දමනවා. ඒ අනුව ‘එඩ්වාඩෝ’ (Eduardo) ට අවශ්‍ය වූයේ ලොව විශිඨතම කලා කෘතියක් වන මොනාලිසා සිතුවම තමන් සන්තකයට ගෙන විකිණීමට නොවෙයි, එය සොරකම් කිරීම පිලිබද ප්‍රසිද්ධ වන පුවත පමණයි…
– ධම්මික සමරතුංග

සබැඳි

Leave a Reply

Your email address will not be published.