බලපත්‍රයෙන් වැසිය නොහැකි වැලි – පස් මාෆියාව

බලපත්‍රයෙන් වැසිය නොහැකි  වැලි – පස් මාෆියාව

ඉදිරියේදී බලයට පත්වන ගෝඨාභය රාජපක්ෂගේ රජය යටත් මහා පරිමාණ වැලි මාෆියාව නවත්වා එහි ප්‍රතිලාභ ජනතාවට ලැබෙන වැඩපිළිවෙළක් නිර්මාණය කරන බව රොෂාන් රණසිංහ මැතිවරණයට පෙර කීවේය. ඒ ජනාධිපතිවරණයට පෙරය. දැන් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත් වී, ඔහු විසින් පත් කරගත් ආණ්ඩුවකි. ඒ ආණ්ඩුව කළේ වැලි මාෆියාව නතර කිරීම නොව ආණ්ඩුවෙන් ලබා දෙන බලපත්‍ර අහෝසි කිරීමකි. පස් සහ ගල් ප්‍රවාහනය සඳහා ද මේ බලපත්‍ර අහෝසිය වලංගු විය. බලපත්‍ර ක්‍රමය අහෝසි කරන විට කීවේ වැලි වල මිල අඩු කිරීම සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා එය සිදු කරන බවය. බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලි කියුබ් එකකින් අඩු වන්නේ රුපියල් 642/-ක පමණ මුදලකි. පරිසරය ආරක්ෂා වීම සහ වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසිය අතර කිසිම සම්බන්ධයක් නැත. ඒ නිසාම මේ ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීම වෙනත් යටි අරමුණක් සහිතව සිදු කළ එකක් බව ඉතාම පැහැදිලිය. මේ වන විට වැලි තොටුපොළවල් වල ගොඩගසා ඇති මහාපරිමාණ වැලි ජාවාරම්කරුවන්ගේ වැලි ගොඩවල් වර්ෂාවත් සමග ඉදිරියේදී ඇති වීමට නියමිත ගංවතුරට පෙර බලපත්‍ර ඇති ටිපර් රථ වලින් පමණක් ඇද අවසන් කර ගැනීමට නොහැකි නිසා මෙවැනි තීරණයක් ගත් බව දන්නේ ටික දෙනෙක් පමණි.

කෙසේ වෙතත් එම තීරණය බලපැවැත්වෙන්නේ සතියක කාලයකට පමණක් බව පසුව කීවේය. සතියකට එවැනි තීරණයක් ගත් බව කියන්නට වූයේ බලපත්‍ර අහෝසි කිරීම ගැන පරිසර සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධය නිසාය.

කෙසේ වෙතත් මේ කියන බලපත්‍ර කලබගෑනියත් සමග නැවතත් වැලි ජාවාරම සම්බන්ධ කතාබහ ඉදිරියට පැමිණ තිබේ. 

වැලි සහ පස් අවශ්‍යතාව

විශේෂයෙන් ලංකාවේ වැලි හා පස් වල මහා පරිමාණ අවශ්‍යතාවයක් නිර්මාණය වූයේ අධිවේගී මාර්ග ඉදි කිරීම ආරම්භ කිරීමත් සමගය. එහිදී කොන්ක්‍රීට් කණු මත අධිවේගී මාර්ග ඉදිකිරීම වෙනුවට භූමිය පුරවා මාර්ග ඉදිකිරීම නිසා මෙම අවශ්‍යතාවය තවත් වැඩි වී තිබේ. ඒ අනුව ලංකාවේ මේ වන විට ඇති වැලි අවශ්‍යතාවය ආසන්න වශයෙන් වසරකට කියුබික් මිලියන පනහක පමණ ප්‍රමාණයකි. එහෙත් ඒ සම්බන්ධයෙන් නිවැරදි ගණනය කිරීමක් සිදුකර නැත. එමෙන්ම ලංකාවේ වැලි නිපදවීම සම්බන්ධයෙන් ද වැලි තොටුපළ වලින් වාර්ෂිකව පිටකරන වැලි ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳව ද විධිමත් වාර්තා නොමැත. එහෙත් දැනට නීත්‍යානුකූලව සිදු වන කැණීම් ප්‍රමාණ හා සමාන ප්‍රමාණයක්ම නීති විරෝධීවද සිදු වන බව නිල නොලත් තොරතුරු මගින් තහවුරු වී තිබේ. ඒ අනුව පෙනී යන්නේ ඉදි කිරීම් වර්ධනය වීමත් සමග වැලි සහ පස්වල අවශ්‍යතාවය වැඩි වූ බවත්, ඊට අදාළ සැපයුම් ක්‍රියාවලිය අවිධිමත් වූ බවත්ය. ජාවාරම සහ මාෆියාව සඳහා ඉඩකඩ විවර වන්නේ මේ අවිධිමත් සැපයුම් ක්‍රියාවලිය නිසාය.

ජාවාරම සහ මාෆියාව

ලංකාවේ පස් සහ වැලි කැණීම සහ ප්‍රවාහන සම්බන්ධ නීතිරීති සැකසෙන්නේ 1992 අංක 33 දරන ඛනිජ ද්‍රව්‍ය පනත මගිනි. භූ විද්‍යා සහ පතල් කාර්යාංශය බිහිවන්නේ ද ඒ පනතේ ඇති විධි විධාන අනුවය. ඊට පෙර පැවති භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ අනුව අහෝසි විය. ඒ දක්වා භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව රටට විශාල සේවයක් සිදු කළ අතර ඛනිජ ද්‍රව්‍ය සොයා ගැනීම සහ ඛනිජ ආශ්‍රිත විවිධ කර්මාන්ත හඳුන්වා දීමට එමගින් සිදුකරනු ලැබීය. පිඟන් කර්මාන්තය, සිමෙන්ති කර්මාන්තය, ෆොස්පේට් පොහොර කර්මාන්තය සහ මිනිරන් කර්මාන්තය වැනි කර්මාන්ත රට තුළ බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. එය අහෝසි කරමින් ඉහත කී පනත සම්මත කර ගන්නේ ලෝක බැංකුවේ උපදෙස් පරිදිය. පනත සකස් කරන ලද්දේ ජැක් ගානට් නම් කැනේඩියානු ජාතිකයෙකු විසිනි. අප්‍රිකාවේ සහ ආසියාවේ ඇතැම් රටවල ඛනිජ සම්පත් අපනයනය මූලික කරගනිමින් ඛනිජ මංකොල්ලයන් සිදුකිරීම සඳහා ඒ රට වල පනත් සකස් කර ඇත්තේ ද මොහු විසිනි. ඒ අනුව 1994 සිට මෙරට ක්‍රියාත්මක වන්නේ ද මේ කියන ජැග් ගානට්ගේ පනතයි. ලංකාවේ ඛනිජ සම්පත් ජාවාරමේ මූලාරම්භය ඇති වන්නේ එතැන සිටය.

ලංකාවේ ඛනිජ ද්‍රව්‍ය කැණීමේදී, ප්‍රවාහනයේදී, අපනයනයේදී සහ සැකසුමක් සිදු කිරීමේදී බලපත්‍රයක් ලබා ගත යුතු බවට මේ පනතට සංශෝධනයක් එක් වන්නේ ඉන් වසර දහයකට පසු 2004දීය. මේ බලපත්‍ර ක්‍රමය හඳුන්වා දීමත් සමග වැලි මිල ශීඝ්‍රයෙන් ඉහළ යන්නට පටන් ගත් අතර ඒ සමගම එතෙක් සුළු පරිමාණයෙන් වැලි ගොඩ දමමින් සිටියවුන් යටපත් කරමින් මහා පරිමාණ ව්‍යාපාරිකයන් වැලි ව්‍යාපාරය අත්පත් කර ගනු ලැබීය. ඊට දේශපාලන අනුග්‍රහය ද නොඅඩුව ලැබුණි. පස් කැණීමටද අත්වූයේ එම ඉරණමමය. ඒ නිසා ඉක්මණින්ම ප්‍රාදේශීය දේශපාලකයන්ගේ හෝ ඔවුන්ගේ ගෝලබාලයන්ගේ ප්‍රධාන ව්‍යාපාරය බවට වැලි සහ පස් ව්‍යාපාරය පත් විය.

මේ වන විට දේශපාලකයන් බොහෝ දෙනෙක් වලවේ ද්‍රෝණිය, මහවැලි ගඟ සහ යාන් ඔය ආශ්‍රිතව මහා පරිමාණ වැලි කැණීම් සහ ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගෙන ඇත්තේ දේශපාලකයන්, දේශපාලකයන්ගේ බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් විසිනි. ඒ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ තොරතුරු නිරීක්ෂණය කිරීමෙන් මනාව පැහැදිලි කර ගත හැකිය.

ජාවාරමේ නිලධාරී භූමිකාව

මේ වැලි සහ පස් ජාවාරමට දේශපාලකයන් පමණක් නොව භූ විද්‍යා සහ පතල් කාර්යාංශයේ මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ ඇතැම් නිලධාරීන් ද සෘජුවම සම්බන්ධ වී සිටිති. ඔවුන් සිදු කරන්නේ ගඟක වැලි නොමැති ස්ථානයක් සඳහා කැණීම් බලපත්‍රයක් ලබා දීමයි. එහෙත් එම ස්ථානයන්හි කිසිම කැණීමක් සිදු කරන්නේ නැත. එහෙත් ඒ බලපත්‍රයට අදාළ ප්‍රවාහන බලපත්‍ර සියල්ල ඔවුන් විසින් ලබාගනු ලබයි. ඒ බලපත්‍ර යොදා ගන්නේ නීත්‍යානුකූල නොවන ලෙස කැනීම් සිදු කරන ස්ථාන වල වැලි ප්‍රවාහනය කිරීම සඳහාය. ඊට අමතරව ව්‍යාජ ප්‍රවාහන බලපත්‍ර ලබා දීම සහ අයථා ක්‍රම වලට බලපත්‍ර නිකුත් කිරීම ද සිදු වන්නේ මහා පරිමාණවය. ඉහත කී බාගෙට බාගයක් වන වැලි සැපයීමේ ජාවාරම සිදු වන්නේ මේ සියල්ලේ එකතුවක් වශයෙනි.

පරිසර ප්‍රශ්නය

මෙසේ ජාවාරමක් ලෙස වැලි සහ පස් කැණීම නිසා ලංකාවේ ගංගා 103ත් එම ගංගා 103න් හටගන්නා අතුගංගාත් එම ගංගා වලින් ජලය පෝෂණය වන වැව් පද්ධතියත් ගංගා සහ වැව් අවට භූමි ප්‍රදේශත් පහුගිය කාලවකවානුව තුළ බහුල ලෙස වැලි ජාවාරම නිසා පාරිසරික වශයෙන් විනාශයට ලක් විය.                                      

එපමණක් නොව ලංකාව සමස්ත පරිසර පද්ධතියක් වශයෙන් මේ වන විට විනාශ වී ඇති අතර මහවැලි ගඟ, දැදුරු ඔය, මා ඔය, ඇතුළු ලංකාවේ ගංගා පරිසර පද්ධතිය වැලි කැනීම් නිසා විශාල වශයෙන් විනාශ වී ඇත.

2006 වර්ෂයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දැදුරු ඔයේ සහ මා ඔයේ වැලි ගොඩ දැමීම තහනම් කරන ලද අතර ඊට පෙර 2000 වසරේ සිට 2006 දක්වා කාලය තුළ මෙම ප්‍රධාන ගංගා දෙක තුළ අනවසර වැලි හෑරීම නිසා ප්‍රධාන වශයෙන් මා ඔය සහ දැදුරු ඔය අවට විශාල පරිසරික විනාශයක් සිදු විය. එමෙන්ම ගංගා පතුල් වල වැලි කැණීම හා ඉවුරු හාරා වැලි ගැනීම නිසා ගංගා දෙපස කුඹුරු හා හේන් ඉඩම්  ඉවුරු ඛාදනය වී ගංගා වලට දියවීම ආරම්භ විය. මේ සමගම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ගංගා දෙකේ වැලි ගොඩ දැමීම නීත්‍යානුකූලව තහනම් කරන ලදී. එය නිත්‍යානුකූලව තහනම් වුවද දේශපාලන රැකවරණය යටතේ අදටත් මෙම ප්‍රදේශ වල වැලි සහ පස් කැණීම සිදුවෙමින් පවතී.

දැනට ප්‍රධාන වශයෙන් අනවසර වැලි ජාවාරම් සිදුවන්නේ මහ වැලි ගගේ මහියංගනය ප්‍රදේශයේ සහ මනම්පිටිය ප්‍රදේශයේ, දැදුරු ඔය, මා ඔය, මැණික් ගඟ, වලවේ ගඟ, කළු ගඟ ඇතුළු ප්‍රධාන ගංගාවලත්  සාපේක්ෂව අඩු වශයෙන් අනෙක් ගංගා වලත්, එම ගංගා පද්ධතීන්ට යාව ඇති වැව් හා අමුණුවලත්ය.

මෙසේ ලංකාවේ ගංගා හා එම පරිසර පද්ධතිය දැනටමත් වැලිකැණිම් නිසා බරපතළ පාරිසරික අර්බුදයකට පත්ව ඇත. ලංකාවට ආවේණික මත්ස්‍ය සම්පත හා ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීම හා අහිමි වීම මෙහි බරපතළ ගැටලුවක් වන අතර ගංගා පරිසර පද්ධතිවල ජීවත්වන ක්ෂුද්‍ර සත්ව විශේෂ වල සිට මත්ස්‍ය සම්පත දක්වා එම විනාශය බරපතළ වී ඇත. ඉවුරු කැණීම හා ගංගා පතුල් හැරීම නිසා ගංගාවල මෙන්ම වාරි පද්ධතියේද මහපොළවේද ජල මට්ටම ඉතා ශීඝ්‍ර ලෙස පහත බසිමින් ඇත.

විකල්ප යෝජනා

ලංකාවේ වැලි භාවිතයට විකල්ප ලෙස ප්‍රධාන යෝජනා දෙකක් මේ වන විට ඉදිරිපත් වී තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මුහුදු වැලි ඉදිකිරීම් කටයුතු සඳහා යොදා ගැනීමයි. එහෙත් භූ විද්‍යාඥයන් පවසන පරිදි එය පහසු කටයුත්තක් නොවේ. මුහුදු වැලි හා මිශ්‍ර වී ඇති ඉතා කුඩා සිප්පි කටු ඉවත් කිරීමට නොහැකි වීමත්, ඒ නිසාම වැලි සමග කැල්සියම් කාබනේට් විශාල වශයෙන් අන්තර්ගත වීමත් නිසා කොන්ක්‍රීට් සම්බන්ධ කටයුතු වලදී ශක්තිමත් භාවය ගැටලුවක් බවට පත්වනු ඇත. අනෙකුත් කටයුතු වලදී ද මුහුදු වැලි එතරම් හොඳ විකල්පයක් බවට හඳුනාගෙන නොමැත.

දෙවැනි යෝජනාව වී ඇත්තේ කාන්තාර වලින් වැලි ආනයනය කිරීමයි. එහෙත් කාන්තාර ප්‍රදේශ වල ඇති වැලි, දූවිලි ස්වභාවයක් ගැනීම නිසා එයද හොඳම විකල්පයක් නොවූව ද සාපේක්ෂව අත්හදා බැලිය හැකි විකල්පයකි. එහෙත් දැන් පවතින තත්ත්ව යටතේ මෙසේ වැලි ආනයනයට වැය වන අධික මිල අනුව මෙරට දී කාන්තාර වැලි කියුබ් එකක මිල අද පවතින මිලටත් වඩා බොහෝ සෙයින් වැඩි වනු ඇත. එසේම විදේශයන්ගෙන් පාංශු ද්‍රව්‍ය ආනයනයේදී සිදු කළ යුතු විධිමත් නිරෝධායන ක්‍රමවේදයක් අනුගමනය නොකළහොත් විවිධ පාරිසරික ප්‍රශ්න මතු වීම ද වැලැක්විය නොහැක. කෙසේ වෙතත් ඉහත ගැටලු මගහරවා ගනිමින් කාන්තාර වැලි ආනයනය කිරීමට සැලසුම් කළ ද ඒ තුළට ද ජාවාරම්කරුවන් මේ වන විටත් රිංගා අවසන්ය.

වැලි ආනයනය ආරම්භයටත් පෙර මෙසේ ජාවාරම්කරුවන් එය අත්පත් කර ගැනීමට කළ උත්සාහය ඇතැම් භූ විද්‍යා වෘත්තිකයන් විසින් කළ මැදිහත්වීම නිසා මේ වන විට තරමක් දුර්වල වී තිබේ. ඒ ආනයන සහ අපනයන පාලක වෙත මීට අදාළ බලතල පැවරීමට ඔවුන් මැදිහත් වී කටයුතු කළ නිසාය.  

වැලි යට සැඟවුණු මිනී මැරුම්

දේශපාලකයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් අත්පත් කරගෙන සිටන වැලි සහ පස් ජාවාරමේ බරපතළකම කොතෙක්ද යත් මෑත කාලයේ නිශ්චිතව වාර්තා වන, වැලි සහ පස් ව්‍යාපාරයන් හේතුකොට ගෙන සිදු වූ මිනී මැරුම් සංඛ්‍යාව පහළොවකට අධික වී තිබේ. මීට අමතරව තර්ජනය කිරීම්, බියවැද්දීම් සහ වෙනත් ගැටුම් දිනපතා සිදු වෙමින් තිබේ. සීමිත පිරිසක් අතට  පත් වී තිබෙන වැලි සහ පස් ඒකාධිකාරයට කිසිවෙකුටත් අභියෝග කිරීමට නොහැකිය. ව්‍යාපෘති සහ ඉදිකිරීම් සැලසුම් වන්නේ ඔවුන්ගේ අවශ්‍යතා අනුවය.

එවැනි තත්ත්වයක් තුළ බලපත්‍ර අහෝසි කිරීම, නීති රීති වෙනස් කිරීම වැනි යෝජනා විටින් විට කරළියට එන්නේ ඔවුන්ගේ අවශ්‍යතා අනුව මිස පරිසරය ආරක්ෂා කිරීම හෝ පාරිභෝගිකයාට සහන සැලසීම වෙනුවෙන් නොවන බව ඉතාම පැහැදිලිය.

ජාවාරම්කරුවන්ට සහන සලසන තෙක් ගැටලුවට විසඳුමක් නැහැ

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ

වෑකඳවල රාහුල හිමි

ලංකාවේ තිබෙන රමණීය බව ඒ අයුරින්ම පැවැතීමට ස්වභාවික සම්පත් තිරසාර භාවිතාවක් ගැන අවධානය යොමු කිරීම ඉතා අත්‍යවශ්‍ය කටයුත්තක්. එසේ නොවන්නේ නම් එය විශාල විනාශයන් අත්පත් කර දීමට හේතුවක්. ඒත් ඒ වෙනුවට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගල් වැලි ප්‍රවාහනය සම්පූර්ණයෙන් නීතිමය නියාමනයෙන් නිදහස් කිරීමට තීරණය කිරීම බරපතළ කටයුත්තක්. ඔහු බලයට පත්වීමට පෙර තම ප්‍රතිපත්ති ඉතා පරිසර හිතකාමී එකක් බවට ජනතාවට පෙන්වූවත් දැන් එය හුදු ඡන්ද පොරොන්දුවක් වෙලා අවසන්. හැමදාම වගේ මෙවරත් ඡන්ද දායකයා නොමග යවා ඇති බව මෙම තීරණය තුළින් ඉතා පැහැදිලියි. පරිසර හිතකාමී මුහුණුවර වෙනුවට ජාවාරම්කරුවන්ට තම දෑත් දිගුකොට අවසානයි. එය ඔවුන් සිදුකරන්නේ සුපුරුදු සංදර්ශනයන් අතරතුර ජනතාව මුළා කරමින්. ඒ නිසා අපි රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම තත්ත්වය තේරුම් ගන්න කියන එකයි. මෙවැනි නීති ලිහිල් කිරීමෙන් සිදු වෙන්නේ අපේ රටේ ගංගා ද්‍රෝණි දැඩි ලෙස අවධානමට ලක්වීමක්. විශේෂයෙන් දැදුරුඔයට මේ වන විටත් විශාල විනාශයක් අත්වෙලා අවසන්. එපමණක් නොවෙයි ඉතා රමණීය පාෂාණ සහිත කඳු ඉක්මනින් මහපොළොවට සමතලා වන දිනය වැඩි ඈතක නොවෙයි. එය නැවත ජන ජීවිතය අස්ථාවර කරන්න වගේම සමස්ත පරිසර පද්ධතියම විනාශ කරන්න හේතු බවට පත්වේවි. ඒ නිසා අනතුර පෙරාතුව හඳුනාගෙන පාට, පක්ෂ පසෙක දමා පරිසරය වෙනුවෙන් පෙළ ගැසිය යුතු කාලය දැන් එළඹිලා. එහෙම කියන්නෙ, ආණ්ඩුව සංවර්ධනය යයි පෙන්වමින් මේ ජාවාරම් සහ විනාශයන් ආරක්ෂා කරන්න කටයුතු කරන කාලය ඉක්මණින්ම එළඹීමට නියමිත නිසයි.

වෙනත් විකල්ප ගැනත් හිතන්න වෙනවා

භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි

රටක් විදිහට අපි ඉදිකිරීම් ක්ෂේත්‍රයත් පවත්වාගෙන යමින්, පරිසරය සහ පාරිභෝගිකයාත් ආරක්ෂා කරන්න නම් මේ වගේ අතාර්කික යෝජනා ගෙන එනව වෙනුවට විධිමත් සාර්ථක විසඳුම් යෝජනා කරන්න ඕනෙ. විශේෂයෙන්ම ඒ යටතේ ඉදිකිරීම් තාක්ෂණය අලුත් කරන්න ඕනෙ. අපි වගේ වැලි බහුලව ලබා ගන්න බැරි රටවල් ඉදිකිරීම් කරන්න යොදා ගන්න තාක්ෂණයන් අපිට යොදා ගන්න බැරිකමක් නැහැ. ඉදි කිරීමක ප්‍රධාන සැකිලි සඳහා පමණක් ගල්, සහ වැලි යොදා ගැනීමත් අනෙක් කටයුතු සඳහා වෙනත් අමුද්‍රව්‍ය යොදා ගැනීමත් එක උදාහණයක්. එවැනි කටයුතු ලෝකයේ සාර්ථකව භාවිතා වෙමින් තියෙනව. ඒත් අපි ඒව ගැන හිතන්නෙවත් නැහැ.

මහා පරිමාණ ඉදිකිරීම් සහ සැපයුම් ව්‍යාපාරිකයන්ගෙ අවශ්‍යතා සැපිරෙන විදිහට නීති සැකසෙනව වෙනුවට ගල්, වැලි සහ පස් භාවිතය සම්බන්ධයෙන් යම් නියාමනයක් ඇති කළ යුතුයි. අනෙක් පැත්තට රටක අවශ්‍යතාවය අනුව ඉදිකිරීම් නියාමනය කළ යුතුයි. ඒත් ලංකාවෙ තත්ත්වය එහෙම නෙමෙයි. ඕනෙම කෙනෙක්ට ඕනැම ප්‍රමාණයක ගොඩනැගිලි ඉදි කිරීමක් කරන්න පුළුවන්. ආණ්ඩු වුණත් ඉදිකිරීම් කරන්නෙ රටේ අවශ්‍යතා සැලකිල්ලට අරගෙන නෙමයි. අනවශ්‍ය ඉදිකිරීම් ඕනැවටත් වඩා සිදුවෙනවා. ඒ නිසා ඉදිකිරීම් සඳහා නව තාක්ෂණය භාවිතා කිරීමත්, ඉදිකිරීම් පාලනයකට යටත් කිරීමත් කරන්න පුළුවන්නම් අමුද්‍රව්‍ය අවශ්‍යතාවය අඩු වෙනවා. එහෙම වුණොත් මේ ජාවාරම්කාරයන්ට තියෙන ඉඩකඩ ඇහිරෙනව වගේම පාරිසරිකව සිදුවෙන විනාශයත් නතර කන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව සුළු සුළු වෙනස්කම් කරල, අද වෙනකොට ව්‍යසනයක් බවට පත්වෙලා තියෙන ගල්, වැලි සහ පස් ජාවාරමත් ඒ මගින් සිදු වෙන පරිසර විනාශයත් නතර කරන්න බැහැ.

රටේ නායකයන් කළ යුත්තේ පරිසරය සුරැකීමට නීති සැකසීමයි

පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

මේ දක්වා යම් තරමකට හෝ වැලි සහ පස් ජාවාරම නැවතී තිබුනේ නීති විරෝධී වැලි කැණීම් කළ ද ප්‍රවාහනයේදී එම වැලි අත්අඩංගුවට පත්වීමට ඉඩ ඇති නිසා හෝ එසේ අත්අඩංගුවට පත්වීමේදී පොලිසියට කොමිස් මුදල් ගෙවීමට සිදුවීම නිසාය. වැලි සහ ගල් ප්‍රවාහනයේදී එක් ටිපර් හෝ ට්‍රැක්ටර් රථයකට දිනකට ප්‍රවාහනය කිරීමට හැකියාව තිබුනේ දුර අනුව එක් වතාවක් හෝ වැඩිම වුවහොත් තුන් වතාවකි. එමෙන් බලපත් රහිතව ගල් වැලි ප්‍රවාහනය කිරීම නීති විරෝධීව සිදුකරන අවස්ථාවක පොලිසිය විසින් නිත්‍යානුකූලව ක්‍රියාත්මක වී අධිකරණය වෙත එම ට්‍රැක්ටර් හෝ ටිපර් රථ යොමු කළහොත්  දඩ මුදලක සිට වාහනය සදහා ප්‍රවාහන බලපත්‍ර යළි නිකුත් නොකිරීම දක්වා හෝ රියදුරු හෝ අයිතිකරු සිරගත කිරීම දක්වා දඬුවම් නියම විය හැකිය.

ඒ අනුව නීති විරෝධිව වැලි කැණීම් යම් තරමකට හෝ නැවතී තිබුණේ වැලි මංකඩවලට දුන් බලපත්‍ර නිසා නොව ප්‍රවාහන බලපත්‍ර නිසාවෙනි. එයට හේතුව වැලි මංකඩවල කැණීම් සඳහා විමර්ශන නිලධාරීන් එම ස්ථාන වලට නොයෙන තරම්ය. ඒ ඒ පළාත්වල පොලිස් ස්ථානද බොහෝ වැලි මංකඩවල් වෙත යන්නේ කලාතුරකිනි. එම නිසා වැලි මංකඩවල වැලි බලපත්‍ර රහිතව හෝ සහිතව ගොඩ දැමීම සිදුකරණු ලබයි. පරිසර ඇමතිව සිටි ජනාධිපති සිරිසේනගේ සොහොයුරාගේ සිට මෙම වැලි ජාවාරමේ නියැලෙන හා නියැළුණු සෑම විසින්ම සිදුකරන ක්‍රියාවලියකි.

ලංකාව දූපතක් ලෙස දැනටමත් අතිවිශාල පරිසරික හානියකට ලක්ව ඇති අතර පරිසර අමාත්‍යවරයා ඇතුලු ආණ්ඩුව කළ යුත්තේ එම හානිය තවත් තීව්‍ර කරමින් චීනය හෝ ඇමෙරිකාව සැනසීමට අවශ්‍ය පියවර ගැනීම නොව මේ රටේ ජීවත් වන ජනයාට හා පෙනෙන නොපෙනෙ ගහකොළ සතා සිව්පාවා වෙනුවෙන් පරිසරය සුරකීමයි. නමුත් ජනයාට හෝ රටේ නායකයන්ට ද නොතේරෙන්නේ එයයි.

පරිසර අර්බුදයට විසඳුම් දෙනවා වෙනුවට පරිසර අමාත්‍යවරයා හා රටේ නායකයන් කරන්නේ මෙම තත්ත්වය තවත් බරපතළ කිරීමට අවශ්‍ය සාධක සැපයීමයි.

■   චතුර දිසානායක


Leave a Reply

Your email address will not be published.