සුසිල්ලා අයින් කරලා අර්බුදය වහගන්න බැහැ!

සුසිල් ප්‍රේමජයන්ත හිටපු ගමන් අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ ය. එයට ආසන්න ම සිද්ධිය වන්නේ දෙල්කඳ පොළේ දී කළ කතාව ය. එහෙත්, ඊට බලපෑ හේතු ගණනාවක් තිබූ බව පැහැදිලි ය. ආරම්භයේ දී ම සුසිල්ට ඇමැතිකමක් නොදුන්නේ ය. රාජ්‍ය ඇමැතිකම දුන්නේ ද ටික කාලයකට පසුව ය. එයත් විජේදාස රාජපක්‍ෂ ඒ රාජ්‍ය අමාත්‍ය ධුරය එපා කිව්වාට පස්සේ ය.

හෙට අනිද්දා වන විට තව තව පෝලිමේ කට්ටිය එකතු වන්නේ ය. අන්තිමට සිද්ධ වන දේ දැන් තියා හිතා ගත හැකි ය. දවසින් දවස ජනතාවගේ ප්‍රශ්න වැඩි වීමත් එක්ක මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට පාරේ බැහැලා යන්නට බැරි ය. දැනමටත් ‘හූ’ කියන්නට පටන්ගෙන අවසන් ය. තව ටික දවසකින් පොලුවලින් ගහලා පන්නන තත්ත්වයට එන්නේ ය. ඒ ටික වෙන කොට තව බොහා් දෙනෙක් ඇතුළේ ඉඳලා ම ගෝඨාභයව පතුරු ගහන්නේ ය. පතුරු ගහන ගහන ප්‍රමාණයට එළියට දැම්මොත්, වැඩේ තවත් ඉක්මන්ය.

සුසිල් මෙතෙක් දරපු රාජ්‍ය අමාත්‍ය ධුරය මුලින්ම දුන්නේ විජේදාසට ය. කැබිනට් අමාත්‍ය ධුරයක් බලාගෙන සිටි විජේදාසට එය මදිපුංචිකමක් විය. ඇත්තට ම විජේදාස හිතුවේ තමන්ට අධිකරණ ඇමැතිකම දේවි යැයි කියා ය. එහෙත්, එය දුන්නේ අලි සබි්‍රට ය. අලි සබි්‍ර කියන්නේ, විජේදාසට වඩා නීති වෘත්තියෙන් කනිෂ්ඨ කෙනෙක් ය. එහෙම කරපු එක විජේදාසට ගහපු කනේ පහරක් විය. ඒ නිසා ම විජේදාස එය භාර නොගත්තේ ය. ඒ වෙනුවට දුන් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිකම ද එපා කිව්වේ ය. හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැති කෙනකු විදියට ප්‍රේමජයන්තට කරපු ඒ වැඩේ ගැන ඇත්තට ම ඔහු හිටියේ කලකිරීමෙන් ය. එදා සිට ම ප්‍රශ්නය තිබුණේ ය. නොකර බැරිකමට සුසිල් රාජ්‍ය ඇමැතිකම භාර ගත්තේ ය. ඒත්, දිගට ම හිටියේ කනස්සල්ලෙන් ය.

ඇමතිකම් නැති ‘ඇමතිවරු’

ඒ විදියට ගත්තා ම හිටපු කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකුට ම ඇමැතිකම් නොලැබිණි. එස්.බී. දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනෙවිරත්න, විජේදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ වාගේ ප්‍රබලයන් කිහිප දෙනක් ම ඒ අතර වූහ. ඔවුහු මුල දි මුල දී ආණ්ඩුවේ වැරැදි, අඩුපාඩු කතා නොකළ ද, එන්න එන්න ම වැරැදි කතා කරන්න පටන් ගත්හ. මුලින් ම එය පටන් ගත්තේ විජේදාස රාජපක්‍ෂ ය. ටිකෙන් ටික චන්දිමත් විවේචනය පටන් ගත්තේ ය. මොනවාවත් නොකියා හිටියේ මහින්ද සමරසිංහ විතරක් ම ය. අන්තිමට ඔහු ද තානාපති ධුරයක් අරගෙන ලංකාවෙන් ද පිටත්ව ගියේ ය.
අනෙක් හැමෝ ම අවස්ථාව එනකම් බලා සිටිති. එහෙම ගත්තා ම දැන් ඒ සඳහා අවස්ථාවක් ඇවිත් තිබේ. මුළු රටේ ම ජනතාවගේ බරපතළ අප්‍රසාදයට ආණ්ඩුව පත් වී අවසන් ය. ඒ තරමට ම රටේ අර්බුදය බරපතළ ය. එවැනි වෙලාවක සුසිල් කට ඇරීම අරුමයක් නොවේ ය. විහින් ඇති කර ගත් ප්‍රශ්න ගැන සුසිල් පොළේ දී කිව්වේ ය. ගෝඨාභයට රතුකට්ට පැන්නේ ඒකට ය. ඒත් එක්ක ම දොට්ට දැම්මේ ය.

මෛත්‍රීත් කට අරී

ඒ ගැන මෛත්‍රීපාල කිව්වේ, අරුම කතාවක් ය. ඇමැතිකමෙන් එළියට දාලා අර්බුදය වහ ගන්න බැහැ කියා ය. කාලෙකින් මෛත්‍රී ටිකක් වටිනා කතාවක් කිව්වේ ය. ඒ කතාව හරයෙන් හරියට ම හරි ය. රට තුළ මතුව ඇති බරපතළ අර්බුදකාරී තත්ත්වය සුසිල් එළියට දාලා වහ ගන්න බැරි ය. ඒකෙන් සිද්ධ වුණේ එක පැත්තකින් සුසිල් වීරයෙක් කිරීම ය. ජනතාවගේ අමාරුකම් ගැන කතා කරලා ඇමැතිකම නැති කර ගත් වීරයෙක් කළේ ය. එළියට බහින්න බලාගෙන ඉන්න අයට තවත් ධෛර්යයක් දුන්නේ ය.
බොහෝ අය කරපු වැඩේ වැරැදි යැයි එළිපිට කියති. තව සමහර අය එළිපිට නොකිව්වත්, ගෝඨාභයට විරුද්ධව තැන් තැන්වල කතා කරති. ඉස්සරහට හොඳ නැටුමක් නටන්න ලැහැස්ති වෙන බව මේ වැඩෙන් පෙන්නුවේ ය. නැට්ටුක්කාරයා දැන් මේ කරන්නේ, නැටුමට රෙදි ඇඳ ගැනීම ය. නැටුම ඇත්තේ ඉස්සරහට ය. එතකොට ගෝඨාභයට නටන්න වෙන්නේ රෙදි නැතිව ය. ටිකෙන් ටික ඒ තත්ත්වය ළං වන බව නම් පැහැදිලි ය.

පාර්ලිමේන්තුවේ මොනවා වෙයි ද?

ඒකට හොඳට ම ඉඩ ඇත්තේ, පාර්ලිමේන්තුව ඇතුළේ ය. විසිවැනි සංශෝධනය මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය වෙනස් කළේය. ජනාධිපතිවරයාට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවට වසර දෙකහමාරක් ගිය පසු විසුරුවා දැමිය හැකි ය. ඒ වාගේ ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ සරල බහුතරයකින් සම්මත වන යෝජනාවක් මඟින් ද විසුරුවා හැරිය හැකි වන්නේ ය. සුසිල් එළියට දාලා කපා ගත්තේ ඒකට පාර ය.
හෙට අනිද්දා වන විට තව තව පෝලිමේ කට්ටිය එකතු වන්නේ ය. අන්තිමට සිද්ධ වන දේ දැන් තියා හිතා ගත හැකි ය. දවසින් දවස ජනතාවගේ ප්‍රශ්න වැඩි වීමත් එක්ක මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට පාරේ බැහැලා යන්නට බැරි ය. දැනමටත් ‘හූ’ කියන්නට පටන්ගෙන අවසන් ය. තව ටික දවසකින් පොලුවලින් ගහලා පන්නන තත්ත්වයට එන්නේ ය. ඒ ටික වෙන කොට තව බොහා් දෙනෙක් ඇතුළේ ඉඳලා ම ගෝඨාභයව පතුරු ගහන්නේ ය. පතුරු ගහන ගහන ප්‍රමාණයට එළියට දැම්මොත්, වැඩේ තවත් ඉක්මන් ය.

‘බැසිල් නෝට්ටු’ සහ රහස් කතා

මේ භය ඇති වෙච්ච බැසිල් හිටපු ගමන් රෑ හීනෙන් භය වෙලා රුපියල් පන්දාහක් බෙදන්නේ ය. ඒකට අලුතෙන් සල්ලි අච්චු ගැහුවේ ය. පහුගිය දෙසැම්බර් විසිනව වැනිදා රුපියල් බිලියන දෙසියදෙකක් සල්ලි අච්චු ගැහුවේ ය. ඒකත් එක්ක පහුගිය අවුරුද්දේ විතරක් රුපියල් බිලියන අටසිය හැත්තෑපහක් සල්ලි අච්චු ගැහුවේ ය. ඒවා බෙද බෙදා ගියාට රටේ ඩොලර් උනන්නේ නැත. භාණ්ඩ නිෂ්පාදනය වැඩි වන්නේ ද නැත. මූල්‍ය අර්බුදයට උත්තරයක් වන්නේ ද නැත. ප්‍රශ්නය එතැන ම ය. ගෑස් පිපිරීම් ද එසේ ම ය. කිරිපිටි පෝලිම්, ලාම්පුතෙල් පෝලිම් ද එසේ ම ය. මෛත්‍රී කියපු කතාව හරියට ම හරි ය. සුසිල් දොට්ට දැම්මාට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර නැත.
කොයි තරම් අමාරුවෙන් බොරු දේශප්‍රේමය හංගාගෙන ඉන්න හැදුවත්, තවත් එහෙම ඉන්නට බැරි ය. ගම්මන්පිල එළිපිට ම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙනවා කිව්වේ, ඒ නිසා ය. එතැන දීත් බොරු වංගු ගහන්න හැදුවාට ජනතාවට ඇත්ත තේරුම් යන්නේ ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැහැ කියලා කයිවාරු ගහ ගහ හිටිය කට්ටිය දැන් කියන්නේ, අමුතු කතාවක් ය.
“දැනටමත් ඒගොල්ලොත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. මට රහසිගත ලියැවිල්ලකුත් දීලා තියෙන්නෙ” යැයි බැසිල් කිව්වේ ඒක ය. රටේ මුදල් ඇමැතිට ජනතාවට හොරෙන් රහස් වැඩ කරන්නට බලයක් නොමැත. ඒ කතාවෙන් ම පැහැදිලි වන්නේ බැසිල් පහුගිය කාලය පුරාවට මූල්‍ය අරමුදල, ලෝක බැංකුව එක්ක හොර ගනුදෙනුවක් කර ඇති බව ය. ඔය රහස් ලියැවිල්ලේ තියෙන්නෙ ජනතාවට හිතකර කාරණා නොවේ ය. එහෙම ඒවා නම්, හංගන්න වුවමනාවක් නැත. හංගන්නේ ජනතාවට හතුරු එකක් නිසා ම ය. කොහොම වුණත්, දැන් ඒකටත් ප්‍රමාද වැඩි ය. ඔය මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා අවසන් වෙලා ණය එන කොට තව මාස හයක් ගත වෙලා ය. එතකොට ජනතාවගෙන් බාගෙට බාගයක් හාමතේට වැටිලා ඉවර ය. ණයක් ආවත් වෙන්නේ ඒ ටික ම ය.

ගෝඨාභයට බෑ!

මේ සිද්ධ වෙන හැම දේකින් ම තේරුම් යන්නේ තව දුරටත් ගෝඨාභයට රට කරවන්නට බැරි බව ය; සැලැස්මක් නැති බව ය. සැලැස්මක් තිබුණා නම්, පන්දහසේ කතාව එන්න තිබුණේ, පහුගිය අය-වැය යෝජනාවේ දී ය. ඒකෙන් ම ඔප්පු වෙන්නේ රට යාන්තම් හෝ පවත්වාගෙන යන්න කිසිදු සැලැස්මක් නැති බව ය. ‘හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට’ කියලා කතාවක් ඇත්තේ ය. මේ යන විදියට එළි වන්නත් කලින් සෙල්ලම් පෙන්වන්නේ ය.
පටන් ගත්තේ සුසිල්ගෙන් ය. අවසන් වන්නේ ගෝඨාභයගෙන් ය. ඒ බව නම් පැහැදිලි ය. පහුගිය දා මිරිහානේ කිරිපිටි පෝලිමෙන් එය රටට ම ඔප්පු වුණේ ය. ඉතිහාසයේ කවරදාකවත් ලංකාවේ ජනාධිපති කෙනකුට ඔය විදියට සලකලා නැත. එය සිදු වුණේ ද ගෝඨාභයට ය. ශ්‍රී.ල.නි.ප.ය මේ දවස්වල වැඩිපුර සද්දෙ දාන්නේ නිකම් නොවේ ය. ඒ යට ගැඹුරක් ඇත්තේ ය. දිලුම් අමුණුගමලා වාගේ පොඩි කොල්ලන්ට එය තේරෙන්නේ නැත. ඒ වාගේ අයගේ ප්‍රකාශවලින් ගුරු අරගලයට වෙච්ච දේ මතක ය. ඒ වාගේ ම දෙයක් වැඩි ඈතක් යන්නට කලින් සිදු වන බව නම්, පැහැදිලි ය●

ජගදාක්‍ෂි

සබැඳි

Leave a Reply

Your email address will not be published.