කැමූ කිසි දිනක පැරිසියට පැමිණියේ නැත. පැමිණියේ ඔහුගේ දේහයයි, ඇල්බෙයා කැමූ ගේ අවසන් දිනය ..

අදින් වසර 62 කට පෙර එනම් 1960 වසරේ ජනවාරි 04 වැනිදා නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී ප්‍රංශ ලේඛක ඇල්බෙයා කැමූ (යූ ) මෙලොව අතහැර ගියේය.
L’étranger හෙවත් “පිටස්තරයා ” නම් වූ ඇති සුවිශේෂ පොත බිහිකළ මේ අසහාය ලේඛකයාගේ, දාර්ශනිකයා ගේ මරණය ප්‍රංශය පමණක් නොව ලොවම කම්පනය කරන්නට සමත් වූයේ එය ඉතා අවාසනාවන්ත ලෙස සිදුවුණු රිය අනතුරක් නිසාමය. එමෙන්ම මිය යන විට ඇල්බෙයා කැමූ (Albert Camus ) පසුවූයේ අවුරුදු 46 ක වැනි ලාබාල වයසකයි.
කැමූ ගේ මේ හදිසි වෙන්ව යාම ගැන , ඔහුගේ ජීවිතයේ අවසනාවන්ත දින කීපය ගැන Les derniers jours de la vie d’Albert Camus නමින් පොතක් බිහිව තිබේ. එහෙත් මේ ලිපිය සකස් කරනු ලැබුවේ ඔහුගේ මරණයෙන් වසර තිස් හතරකට පසු ප්‍රකාශයට පත් වුණු Le Prémier Homme පොතේ පෙර වදනේ සදහන්ව තිබුණු කරුණු මතිනි.
පැරිස් නගරයේ සිට කිලෝ මීටර 737 ක ප්‍රංශයේ දකුණු දෙසට වන්නට පිහිටි Lourmarin නමැති ගම්මානය රටේ සුන්දරතම ගම්මාන වලින් එකකි. ඇල්බෙයා කැමූ මේ ප්‍රදේශයෙන් ඉඩකඩ ඇති නිවසක් මිලදී ගන්නට සිතුවේ පැරිසියේ වේගවත් දිවියෙන් මොහොතක් සමුගෙන , ගැමි සුන්දරත්වයේ සිහිලස විඳිමින් ලේඛන කටයුතු වල යෙදීමේ අභිලාෂයෙනි. අනෙක අතට ඔහු තමන්ගේ පොත් අලෙවිය නිසාම ධනවතෙකු බවට පත්ව සිටි අතර නොබෙල් සම්මානයෙන් ලද මුදල නව නිවස මිලදී ගැනීම සදහා වැය කළේය.
Rudyard Kipling ට (අවුරුදු 41 දී ) පසුව අඩුම වයසකදී නොබෙල් සාහිත්‍ය සම්මානය හිමිකර ගත් ලේඛකයා කැමූ ය. මේ සම්මානයෙන් (1957 වසරේදී ) පසුව තමන්ගේ ජීවිතය යළි උපන් බව විශ්වාස කළ ඔහු වේදිකා නාට්‍ය , සිනමා තිර රචනා , පුවත් පත් ලිපි , විචාර වැඩියෙන් ලියන්නට පටන් ගත්තේය. ඒ අතරම Le Prémier Homme නමින් නවකතාවක් ද නිම කරමින් සිටියේය.
මේ කාලය වන විට කැමූ විවාහ වී (බිරිඳ Francine ) වයස අවුරුදු 14 ක නිවුන් දරුවන් දෙදෙනෙකුගේ පියෙක්ව සිටියත් Maria Casares නමින් පෙම්වතියක් සිටි බව බොහෝ දෙනා දැන සිටි ප්‍රසිද්ධ රහසකි. ( ඔවුන් දෙදෙනා ගැන මා ලියූ ලියූ ලිපියක සබැදියාව ව පහත දැක්වේ )
1959 වසරේ දෙසැම්බර් මාසයේ අවසන් සති දෙක Lourmarin හි අලුතින් මිලදී ගත් නිවසේ බිරිඳ සහ දරුවන් දෙදෙනා සමග ගත කරන කැමූ ගම්බද සිරියාවෙන් වශීකෘතව සිටියේය. නව වසරේ (1960 ) ජනවාරි 02 වැනිදා බිරිඳ කැතරින් සහ දරුවන් පැරිසිය බලා යන්නට දුම්රියට ගොඩ වූහ. ඔවුන් සමග ගමනට එක් වීම මුල් අදහසව තිබුණු නිසා ඒ වෙනුවෙන් මිලදී ගත් දුම්රිය ප්‍රවේශ පතක් ඔහු සතුව තිබුණි.
එවකට ප්‍රංශයේ ප්‍රධානතම ප්‍රකාශන ආයතනයක් වූ ( අදටත් එසේමය)
“ගලිමා” Gallimard ආයතනයේ අයිතිකරු , Gaston Gallimard ගේ ඥාති පුත්‍රයෙකි මිෂෙල් ගලිමා. වසර කීපයකට පෙර එනම් 1941 වසරේදී කැමූ ගේ L’étranger පොත ප්‍රකාශයකට පත් කරන ලද්දේ මේ ආයතනයයි. එමෙන්ම අත් පිටපත මුද්‍රණය වෙනුවෙන් තෝරා ගැනීමේ කොමිටියේ මුල් පුටුව හොබවන ලද්දේ මිෂෙල් ගලිමා ගේ බිරිඳ Janine විසිනි . තම දියණියද කැටුව කැමූ නිවසේ දින කීපයක නිවාඩුවක් ගත කරන්නට පැමිණි සිටි මිෂෙල් සහ ජනින් ගේ යෝජනාව වූයේ පසු දිනයේ (ජනවාරි 03 වැනිදා ) තමන්ගේ වාහනයෙන් පැරිසිය බලා යන්නට හැකි බවයි. කැමූ ආරාධනාව පිළිගත්තේය. තම බිරිඳ සහ දරු දෙදෙනාව පැරිස් දුම්රියට නංවා ඔහු මිතුරන් සමග එක් විය .
ජනවාරි 03 වැනිදා උදෑසන කැමූ, මිෂෙල්, ජනින් සහ දියණිය ඈන් වාහනයට ගොඩ වූහ. ගලිමා පවුලේ සුරතලා Floc නම් වූ සුනඛයාද විය. එය වනාහි මිලෙන් අධික Facel Véga HK-500 නම් වාහනයකි. ඇමරිකානු Chrysler එන්ජිමක් සහිතව ප්‍රංශයේ නිපදවූ මේ වාහනය වෙළඳ පොළට එක් වූයේ විශේෂ ඉල්ලීම් සඳහා පමණි. රියදුරු මිෂෙල් සමග ඉදිරිපස අසුනේ කැමූ අසුන් ගනිද්දී ඔහුගේ බෑගයේ Le Prémier Homme හි අත් පිටපත හැරුණු විට Othelo සහ Nietzche ගේ Le Gai Savoir පොතේ පිටපතක් ද තිබුණු බව කියවේ.
“තව දවස් අටකින් හමුවෙමු කැමූ මහත්මයා …” නිවසේ මෙහෙකාරිය කීවාය
පැරිස් බලා පිටත් වූ ගමනේදී ඔවුන්ගේ මුල්ම නැවතුම වූයේ Shell ඉන්දන පිරවුම් හලකි. එහි සේවයේ නිරත තරුණයා L’étranger පොතට කැමූ ගේ අත්සන ඉල්ලා සිටි අතර තවත් පැය දෙකකට පසු Orange ප්‍රදේශයේදී දහවල් ආහාරය ගන්නා ඔවුහු හෙමින් සීරුවේ ගමන් ආරම්භ කළහ .
මේ මිතුරු කැළට පැරිස් නගරය බලා යන්නට විශේෂ හදිසියක් තිබුණේ නැත. ඒ නිසාම Bourgogne ප්‍රදේශයේ ප්‍රකට හෝටලයක රාත්‍රිය ගත කර පසුදා ගමන අරඹන්නට ඔවුහු තීරණය කළහ . එදින රාත්‍රී ආහාරය ගලිමා දියණිය ඈන් ගේ 18 වන උපන් දිනය සැමරීම සදහා සූදානම් වූවකි. වේදිකා නාට්‍ය නිළියක් වීමේ ඇගේ අනාගත සිහිනයට සහය දෙන්නට කැමූ පොරොන්දු විය.
පසුදා උදෑසන යළිත් කිසිදු කළබලයකින් තොරව ඔවුහු ගමන ආරම්භ කළහ . මිෂෙල් ගලිමා වාහන පිස්සෙකි. අලුත් වාහන මිලදී ගැනීම, ඒවා පැදවීම, යළි අලෙවි කිරීම ඔහුගේ විනෝදාංශයකි. හැම විටම ඉතාම සුපරික්ෂාකාරිව වාහනය පැදවීමට ඔහු වග බලා ගත්තද, අවස්ථාවක් ලද විටක සීමාවන් ඉක්මවා වේගයෙන් පැදවීමට ඔහු පුරුදුව සිටියේය. හවස 3-4 වන විට පැරිස් පැමිණීම ඔවුන්ගේ බලාපොරොත්තුව වූ නිසා, කිලෝ මීටර 125 ක දුරින් පිහිටි Sens නගරයේදී දහවල් ආහාරයෙන් සප්පායම් වුණු පිරිස ගමනේ අවසන් අදියර සදහා රථයට ගොඩ වූහ. ජනින් , ඈන් සහ සුරතලා පිටුපස අසුනේය. කැමූ ආරක්ෂක බඳ පටිය පැළඳ නොසිටියේ ඒ දිනවල පැළදීම අනිවාර්යය නොවූ නිසා විය හැකිය.
Sens නගරයෙන් පිටව N 5 මාර්ගයට පිවිසෙන මිෂෙල් ගලිමා ඉදිරියේ තිබුණේ කිලෝ මීටර ගණනාවක් දිගු වෙනත් කිසිදු වාහනයක් දකින්නට නැති මාර්ගයකි. මෙවැනි නිදහස් ගමන් පථයක් දකින මිෂෙල් තම වාහනයේ බලය පරික්ෂා කර බලන්නට තීරණය කළේය. වාහනයේ වේගය පැයට කිලෝ මීටර 140 දක්වා ඉහළ ගියේය.
සත්‍ය වශයෙන්ම මේ වේගයෙන් ඔවුන්ට ගමන් කරන්නට හැකි වූයේ කිලෝ මීටරයක් වැනි දුරක් පමණි. වාහනයේ පාලනය මිෂෙල් අතින් ගිලිහී ගියේය. මාර්ගයෙන් පිටතට විසිවුණු එය අසළ තිබුණු ගසක හැපී සුනුවිසුණු විය.
පසුව පොලිසිය විසින් හෙළි කරනු ලැබුවේ ටයරයක් පුපුරා යාමෙන් රියදුරාට වාහනයේ පලනයා අහිමි වී ඇති බවයි. පුදුමයකට මෙන් ජනින් සහ දියණිය සුළු තුවාල ලබා දිවි ගලවා ගත්හ. දැඩි අසාධ්‍ය තත්වයක පසුවුණු මිෂෙල් දින හයකට පසුව මියගියේය. වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ අනතුර සිදුවී තත්පර කීපයක්‌ ඇතුළත කැමූ මිය ගිය බවයි.
Floc නම් සුනඛයා සොයා ගන්නට නොහැකි විය.
ඇල්බෙයා කැමූ L’étranger පොත ආරම්භ කරන්නේ Aujourd’hui, maman est morte (අද , අම්මා මිය ගියාය ) යන වැකියෙනි . පසුදා ප්‍රංශ පුවත්පත් සියල්ලගේම පාහේ ප්‍රධාන සිරස්තලය වූයේ Albert Camus est mort ( ඇල්බෙයා කැමූ මිය යයි ) යන්නයි.
කැමූ ගේ මරණයෙන් පසුව ඔහුගේ නිර්මාණ වලට පෙරටත් වඩා ඉහළ ප්‍රතිචාර ලැබුණු බව සත්‍යයකි. ඔහුගේ කෘති විශ්ලේෂණය කරමින්, විචාර සටහන් පළ විය. පොත් එළි දුටුවේය. ඔහුගේ මහා නිර්මාණය ලෙස ලෝකයා පිළිගත් L’étranger පොතට නිසි ගෞරවය ලැබෙන්නට වූයේ මරණයෙන් පසුවයි. වසර 34 ක ගතව ගිය පසුව 1994 දී කැමූ මිය යද්දී ඔහු සතුව තිබුණු Le Prémier Homme පොතේ අත් පිටපත එළි දැක්වීමට දියණිය කැතරින් කටයුතු යෙදුවාය .
කැමූ ගේ ජීවිතය පරිපූර්ණ එකකි. වයස අවුරුදු 46 දී මිය යන විට විචාරක පාඨක ප්‍රශංසාව, ජනප්‍රියත්වය, ආර්ථික වශයෙන් පහසු දිවියක්, නොබෙල් සාහිත්‍ය සම්මානය යන මේ සියල්ල ඔහු ලබා සිටියේය. ඔහු තමාව හඳුන්වා ගත්තේ සියලු සිහින් සැබෑ කර ගත් මිනිසෙකු වශයෙනි. එහෙත් කැමූ යනු ආදරයේදී දෙකඩ වුණු සිතක් ඇත්තෙකි. හරියටම 1959 වසරේ දෙසැම්බර් 30 වැනිදා , එනම් මිය යන්නට දින 05 කට පෙර පැරිසියේ ජීවත් වන තම දෙවැනි ගැහැනිය Maria Casares ට ලියූ අවසන් ලිපියේ කැමූ මෙසේ සදහන් කර තිබේ.
“අවසන් ලිපිය. අඟහරුවාදා ගලිමා පවුල සමග පැමිණෙන බව කියන්නට මෙසේ ලියමි. මාර්ගය බාධක වලින් තොර වන්නේ නම් රාත්‍රී භෝජනයට නුඹ සමග එක වන්නට මට හැකි වනු ඇත…..”
Albert Camus – Maria Casares
Correspondence
( 1265 වන පිටුව)
මේ ලිපිය Maria ලද මුත් කැමූ කිසි දිනක පැරිසියට පැමිණියේ නැත. පැමිණියේ ඔහුගේ දේහයයි.
– මංජුල සේනාරත්න (fb)
 

සබැඳි

Leave a Reply

Your email address will not be published.