අසිරිමත් කාව්‍යමය සැරිය. “කියනු වස් පවතිමි” ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේෂ්

ගේබ්රියෙල් ගාර්ෂියා මාකේෂ්
“Living to Tell the Tale”
ස්වයං චරිතාපදාන යනු කිසියම් පුද්ගලයෙකු තම ජීවිත කාලය තුල කළ කී දෑ සටහන් කර තැබීමයි. යම් කේෂ්ත්රයක හසල ප්රතිභාවක් ප්රකට කළ පුද්ගලයෙකු තම සත්ය ජීවිත කතාව ලියා තබන්නේ නම් එය පාඨකයාට ආශ්වාදජනක මෙන්ම මාහැඟි කෘතියක් වනු ඇත. කීර්තිමත් ප්රතිරූප ගොඩනගාගත් ලේඛකයන්, දාර්ශනිකයන්, ක්රීඩකයන්, දේශපාලකයන් වැනි බොහෝ දෙනෙක් ස්වයං චරිතාපදාන ලියා තබා නික්ම ගොස් ඇත. එහෙත් සත්ය ලෙසම විවෘතව තම ජීවන ගමන ලේඛනගත කළ එවන් අය දුලබ ය.
“බර්ට්රන්ඩ් රසල්” නම් දාර්ශනිකයා අප වැන්නන් රහසිගතව තබාගැනීමට රුචි වන ඔහුගේ අතිශය පුද්ගලික තොරතුරු පවා අනාවරණය කරයි. විචාරකයන් එය හැඳින්වූයේ රාගනිශ්රිත වූත්, බුද්ධි ගෝචර වූත් නිබන්ධනයක් වශයෙනි. එහෙත් එසේ වූ පමණින් ඔහු පිළිබඳව බටහිර ජනතාව⁣ගේ හදවත් තුල ⁣ගොඩනැගී තිබූ ප්රතිරූපයට හානියක් වූවේ නැත.
එහෙත් අවංක ස්වයං චරිතාපදාන අපගේ වැනි පෙරදිග රටවල ලේඛකයන් අතින් ලියැවෙන්නේ නැති තරම් ය. අප වටා ගොඩනැගී ඇති සංස්කෘතික හා ආගමික සීමා එයට බලපෑම් කරන බැවිණි. මෙම සීමා ඉක්මවූ ලේඛිකාවක් අපට හමුවන්නේ ඉන්දියාවේ කේරලයෙනි. “කමලා දාස්” නම් කිවිඳිය “මගේ කතාව” නමින් තම ස්වයං චරිතාපදානය ලියා තබා ඇත. තම ජීවන ගමන් මගේ සියලු පෞද්ගලික සබඳතා, හැල හැප්පීම් නොසඟවා හෙලි කිරීම නිසා ඇය බොහෝ අපහසුතාවයන්ට මුහුණ දුන් බව, තම අර්ධ චරිතාපදානය “පිං ඇති සරසවි වරමක් දෙන්නේ” නමින් එළි දක්වන මහැදුරු එදිරිවීර සරත්චන්ද්රයන් එහිම සඳහන් කරයි.
කොලොම්බියානු නොබෙල් සම්මානලාභී ලේඛක “ගේබ්රියෙල් ගාර්ෂියා මාකේෂ්” ගේ ස්වයං ලිඛිත චරිතාපදානය (Living to tell the tale ) සිංහල පරිවර්තනය “කියනු වස් පවතිම්” අව්යාජ බව මෙන්ම සාහිත්ය රසය නොඅඩුව ගැබ්වූ කෘතියකි. මාකේෂ්ගේ කාව්යමය කතා ලිවීමේ නිසඟ කුසලතාව මෙහි යලිත් ඉස්මතුව ඇත. එය සැබැවින්ම අපූර්ව වසඟකාරී නවකතාවක් ලෙස රස උත්පාදනය කරයි.
තම කුඩාවියේදී සීයා සහ ආච්චි අම්මා සමග ගෙවූ කාලය ඔහු නැවත සිහිපත් කරන්නේ අම්මා සමග එම නිවස විකිණීමට යන ගමනත් සමග ය. තම උපන් ප්රදේශය වන “අරකාතාකා”හි එකළ විඳි අත්දැකීම් ඔහු ආවර්ජනය කරයි. තම නොබෙල් ත්යාගලාභී, ඉන්ද්රජාලික යථාර්ථවාදයේ අග්රගණ්ය කෘතිය, “සියක් වසක් හුදකලාව” සහ “කොලරා කාලේ ආලේ” තුල හමුවන චරිත අපට මුණ ගස්වයි. කොලොම්බියානු සංස්කෘතිය තුල පවුල, දේශපාලනය, ලිංගිකත්වය හා සමාජ ජීවිතය මේ යයි මෙම ඉන්ද්රජාලිකයා අපට කියයි. තමන්ගේම දරුවන් පමණක් නොව අනෙක් දරුවන්ටද ආදරය කරන මව්වරු මෙහි අපට හමුවේ. දීර්ඝකාලීනව ඇදීයන කොන්සර්වැටිව් හා ලිබරල් ගැටුම එහි ප්රතිඵල ලෙස ඇවිලෙන සන්නද්ධ ගැටුම්ද මෙහි විස්තර කෙරේ.
විශ්ව විද්යාලයේ නීතිය හැදෑරුවද, උපාධිය ලබා ගැනීමට වඩා මාකේෂ් තම කාලය මිඩංගු කළේ ලේඛණ කලාවේ ප්රවීනයෙක් වීමට ය. පුවත්පත් කීපයකටම සම්බන්ධ වුවද ඔහුට ප්රමාණවත් වැටුපක් නොලැබේ. තමන් ලියූ ගද්ය පද්ය ඒවායේ පළ වු අතර ක්රමයෙන් ඔහු එම කේෂ්ත්රය තුල තම අනන්යතාවය තහවුරු කර ගනියි. අසීරුවෙන් දිවි ගෙවන මාකේෂ්ට “එල් එස්පෙක්තදෝර්” පුවත්පතේ කාර්යමණ්ඩල වාර්තාකරුවෙකු ලෙස බඳවා ගැනීමත් සමග ආර්ථික ගැටළු අවම විය. එම පුවත්පතේ විදෙස් වාර්තාකරු ලෙස විවිධ රටවල සංචාරය කරන අතර අපට එහි ලබන අත්දැකීම් කාව්යමය ප්රබන්ධයක් සේ ඉදිරිපත් කරන අකාරය අපේ සිත් වසඟ කරවන සුළු ය. ජනමාධ්යයන් කිසියම් සිද්ධියක් පසුපස ගොස් එයට නැති වැදගත්කමක් ආරෝපණය කරමින් පුවත් මවන ආකාරයද මාකේෂ් තම අතීතාවර්ජනය තුළ සටහන් කරයි.
තම බිරිඳ, මර්සෙදීස් බාර්චා පිළිබඳව වරින්වර සටහන් කළද, ඇය තමා හා එක්වන බව අඟවන්නේ කෘතිය අවසානයේදී ය. එය ඉතා සිත්ගන්නා සුලු රිද්මයකින් පාඨකයාට ඒත්තු ගන්වයි. විවාහයෙන් පසු ඔහුගේ ජීවන චාරිකාව කෙබඳුදැයි අපි නොදනිමු.
ලතින් ඇමරිකාව පුරා ජනයා ඔහුට ආදරය කළ හ. “ගාබෝ” නැතහොත් “ගබීතෝ” යන සුරතල් නමින් හැඳින්වූ ගේබ්රියෙල් ගාර්ෂියා මාකේෂ් 2014 අප්රෙල් 17 දා මෙක්සිකෝවේදී මෙලොවෙන් සමුගෙන ගියේ ය. එම වසරේදීම ඔහුගේ බිරිඳ ද මි⁣ය ගියේ ය.
“ජීවිතය යනු කෙනෙකු ජීවත් වුව නොවේ. එය, කෙනෙකුගේ මතකයේ ඇති දෙයයි. නැවත කියන්නට එය මතකයේ රැඳී ඇති අයුරු යි”.
– උපාලි යාපා
පරිවර්තනය : මහේෂි විරකෝන්
ප්‍රකාශනය : විදර්ශන ප්‍රකාශකයෝ

සබැඳි

Leave a Reply

Your email address will not be published.