ඒ ආණ්ඩුවල වැරැදි හදා මේ ආණ්ඩුවෙන් ත්‍රි‘මලය තෙල් ටැංකි ඉන්දියාවට!

ඒ ආණ්ඩුවල වැරැදි හදා මේ ආණ්ඩුවෙන් ත්‍රි‘මලය තෙල් ටැංකි ඉන්දියාවට!

ශ්‍රී ලංකාවේ බලශක්තිය සම්බන්ධ තීරණාත්මක වැදගත්කමක් දරන ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබාදීම පිළිබඳ සංවාදය මේ වන විට යළිත් තීරණාත්මක ලෙස කරළියට පැමිණ තිබේ. රජයේ ඇමතිවරුන් හා නිලධාරීන් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කරමින් වසන් කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වුව ද සිදු වන්නේ කුමක්දැයි පැහැදිලි ය. මේ එහි පූර්වාපර සන්ධි ගැළපීමකි.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලංකා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන්නේ ද යනුවෙන් විමසීමේ දී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිහේවා පැවසුවේ, එවැනි කිසිදු සාකච්ඡාවක් නැති බවයි. පසුගිය නොවැම්බර් 17 – 18 දිනවල ලංකා ඉන්දියානු ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මූල්‍ය) අසීම් භර්ගවා ඇතුළු නියෝජිත කණ්ඩායමක් තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණ කුමක් කළේ දැයි විමසූ විට ඔහු පැවසුවේ, එවැනි පිරිසක් නොපැමිණි බවයි.
කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ පවසද්දී, ඛනිජ තෙල් විෂයභාර කැබිනට් ඇමැති උදය ගම්මන්පිල පැවසුවේ, වසර එකහමාරකට ආසන්න කාලයක් තිස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත්, එය ලබන මාසයේ දී අවසන් වන බවත් ය. පසුගිය දෙසැම්බර් 20දා ඇමැතිවරයා විසින් ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ වෙත යවන ලද ලිපියක සඳහන් වූයේ මේ තෙල් ටැංකි සංකීර්ණය කළමනාකරණය කිරීම සඳහා ‘ටි්‍රන්කො පෙට්‍රෝලියම් ටර්මිනල් ලිමිටඩ්’ නමින් සංස්ථාව යටතේ සමාගමක් පිහිටුවන ලෙසයි. අදාළ සමාගම පිහිටුවීමෙන් පසු ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා ලෙස තමන්ට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ද එම ලිපියේ සඳහන් ය.

මතක තබා ගන්න !

මේ කටයුතු සිදු වන්නේ ගම්මන්පිල ඇමැතිවරයා ආණ්ඩුවේ කටයුතුවලට විරෝධය දක්වන බවත්, ඔහු කැබිනට් සාමූහික වගකීම කඩ කර ඇති බවත්, ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවත් කියන මාධ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතරතුර දී ය. එම නිසා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී ගම්මන්පිල පමණක් බිත්තියට හේත්තු කරන්නට ආණ්ඩුව දරනු ලබන උත්සාහයක් ද පෙනෙන්නට තිබේ. එය එසේ නොවේ. මේ ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුවේ සාමුහික තීරණයකි. මේ පිළිබඳව විමසීමට ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම නිසාය.
අදාළ තෙල් ටැංකි කළමනාකරණ සමාගම පිහිටුවීම සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ පාර්ශ්වයෙන් පමණක් නොව ජනාධිපති කාර්යාලයෙන් ද සංස්ථා සභාපතිවරයාට සෘජුව උපදෙස් දී තිබේ. ඇමැතිවරයාගේ උපදෙස් ලිපිය එන්නට දිනකට පෙර මේ සම්බන්ධයෙන් සභාපතිවරයා සංස්ථාවේ නීති අංශය සමඟ සාකච්ඡා කර ඇත.

තහවුරුයි !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ පවසන්නේ, ලංකා ඉන්දියානු ඔයිල් සමාගම සමඟ පැවැත්වෙන සාකච්ඡා තවමත් අවසන් වී නැති බවයි. එම සාකච්ඡාවල දී අවධානය යොමු කෙරෙන්නේ කුමක් සඳහා ද? අලුතින් පිහිටවනු ලබන සමාගමේ නිශ්චිත කාර්යභාරය සහ එහි වගකීම් බෙදී යන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් සංස්ථාව පාර්ශ්වයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ කර නැත.
ඛනිජ තෙල් විෂයභාර, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගාට අනුව මීට අදාළ අවසන් ගිවිසුම සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී. පසුගිය නොවැම්බර් 05දා අමාත්‍යාංශ ලේකම්වරිය විසින් රජයේ මිනුම්පතිවරයාට දැනුම් දී තිබුණේ ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය පිහිටි අක්කර 677ක භූමිය පිළිබඳ නව මැනුම් වාර්තාවක් ලබා දෙන ලෙසයි. එම මැනුම් කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි මිනින්දෝරු දෙපාර්තමේන්තු ආරංචිමාර්ග තහවුරු කළේ ය.

මාස 16ක මෙහෙයුමක්

ලංකා ඉන්දියානු ඔයිල් සමාගමෙන් ලබන මාර්තු මාසයේ සිට ඛනිජ තෙල් සංස්ථාවට ඉන්ධන ලබා ගැනීමේ යෝජනාවක් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ආණඩුවට ඉදිරිපත් කර තිබුණේ පසුගිය දෙසැම්බර් මුල් සතියේ දී ය. ඇමැතිවරයාගේ ඉන්දියා සංචාරයේ ප්‍රගති සමාලෝචනයක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණු අතර, කැබිනට් මණ්ඩලයේ දී ඊට විරෝධයක් එල්ල වී නැත. මෙරට විදේශ සංචිත ජනවාරි මාසයෙන් පසු සෘණ අගයක් ගැනීමේ අවදානමක් ඇති නිසා රටට අවශ්‍ය සියලුම ඉන්ධන වර්ග ඉන්දියානු තෙල් සමාගම යටතේ මෙරට ක්‍රියාත්මක එල්.අයි.ඕ.සී. සමාගමෙන් ලබා ගත යුතු බවට මුදල් අමාත්‍යාංශය විසින් යෝජනා කර තිබේ. කෙසේ වෙතත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා තිබුණේ, මෙරට විදේශ සංචිත ශීඝ්‍රයෙන් ඉහළ යන බවත්, සෘණ අගයක් ගැනීමේ අවදානමක් නැති බවත් ය. එහෙත්, ආර්ථික විශේෂඥයන්ට අනුව එය මහ බැංකුව මඟින් කෘත්‍රිමව ඇති කළ ව්‍යාජ තත්ත්වයකි. එහි ප්‍රතිඵල ලබන පෙබරවාරි මාසය වන විට දැකගත හැකි වනු ඇතැයි ද ඔවුහු අවධාරණය කරති.
රටට අවශ්‍ය තෙල් ගබඩා කර ගැනීම වෙනුවෙන් ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට යෝජනා කර තිබේ. ඒ අනුව ඉන්දියානු තෙල් සමාගමට නැඟෙනහිර පළාත තුළ, උතුරු පළාත තුළ හා ඌව පළාත තුළ තෙල් බෙදාහැරීමේ පූර්ණ ඒකාධිකාරය ලබා දීමට ද යෝජනා කර තිබේ.
ඉන්දියානු තෙල් සමාගම විසින් තෙල් ටැංකි සංකීර්ණය සම්පූර්ණයෙන්ම ඉල්ලා තිබෙන අතර, ඊට අමතරව තෙල් බෙදාහැරීමේ කටයුතු ද මීට පෙර ඉල්ලා තිබිණි. මුදල් ඇමැතිවරයාගේ ඉන්දියානු සංචාරයේ දී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
කෙසේ වෙතත්, ගම්මන්පිල ඇමැතිවරයා ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත් පතට පවසා ඇති ආකාරයට මේ ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වන්නේ මුදල් ඇමැතිවරයාගේ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵල නිසා හෝ විදේශ සංචිත සෘණ අගයක් ගැනීමේ අවදානම නිසා හෝ නොවේ. එය මාස 16කට අධික කාලයක මෙහෙයුමකි. මේ මාධ්‍ය මෙහෙයුම් සහ ජනතාවට ඇත්ත වසන් කිරීම් හරහා ආණ්ඩුව කරමින් සිටින්නේ කුමක් ද?

සාකච්ඡා රහසක් නොවේ

පසුගිය නොවැම්බර් 17දා මීට අදාළව පැවැති සාකච්ඡාවට ලංකා ඉන්දියානු ඔයිල් සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති (මූල්‍ය) අසීම් භර්ගවා ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමාගම පාර්ශ්වයෙන් සහභාගි වී සිටි අතර, සංස්ථාවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ, ඛනිජ තෙල් සංස්ථාව පාර්ශ්වයෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ, සභාපති, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (සංවර්ධන සහ සැලසුම්), නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල්) ඇතුළු පිරිසක් සහභාගි වූ බවයි. මේ සාකච්ඡාව පිළිබඳව විමසීමට ලංකා ඉන්දියානු ඔයිල් සමාගමේ ප්‍රධානියකු සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූ අතර, එහි ප්‍රකාශකයකු සඳහන් කළේ, සාකච්ඡා පැවැත්වෙන බව රහසක් නොවුව ද, ඒ බව තහවුරු කිරීමේ බලයක් තමන්ට නැති බවයි. මාධ්‍ය මඟින් මේ සාකච්ඡා පිළිබඳ වාර්තා පළ වී ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

ඉතිහාසය

පළමු ලෝක යුද්ධයෙන් පසු බි්‍රතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයට තෙල් ටැංකි 101ක් අයත්ව තිබිණි. නමුත්, දෙවන ලෝක යුද්ධයේ ප්‍රහාර නිසා ඒ අතුරින් භාවිතයට ගත හැක්කේ තෙල් ටැංකි 99ක් පමණි. මෙය ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා ලංකාව සතු එකම විශාලතම තෙල් ටැංකි සංකීර්ණයයි. ඔරුගොඩවත්ත සහ සපුගස්කන්දේ ගබඩා ඇත්තේ එදිනෙදා අවශ්‍යතා සඳහා ය.
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන සහ ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි අතර 1987 වසරේ දී අත්සන් කරන ලද ඉන්දු – ලංකා ගිවිසුමට අදාළ හුවමාරු වූ ලිපියක සඳහන් ලිපියක සඳහන් පරිදි මේ තෙල් ටැංකි සංකීර්ණය සම්බන්ධයෙන් ඉන්දියාව හැර, වෙනත් කිසිදු රටක් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාවක් ලංකාවට නැත. 2003 වසරේ දී එවකට අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ විසින් ඉන්දියානු ඛනිජ තෙල් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් තබන ලදි. එම ගිවිසුමට අනුව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වසර 35ක කාලයක් සඳහා ඉන්දියානු සමාගමට බදු දීමත්, ලංකාව තුළ ඛනිජ තෙල් බෙදාහැරීමේ කටයුතුවලින් තුනෙන් එකක් ඉන්දියානු ඛනිජ තෙල් සමාගමට පැවරීමත් සිදු විය. එහෙත්, එම සමාගම භාවිත කර ඇත්තේ තෙල් ටැංකි 15ක් පමණි.

2017 කැබිනට් අනුමැතිය

2017 වසරේ දී මේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ නව ගිවිසුමක් අත්සන් තැබීමට එවකට පැවැති කැබිනට් මණ්ඩලය තීරණය කරන ලදි. එම ගිවිසුමේ සඳහන්ව තිබුණේ ඉන්දියානු ඛනිජ තෙල් සමාගම යටතේ පවතින තෙල් ටැංකි 15 තව දුරටත් එම සමාගමට බදු දීමටත්, තෙල් ටැංකි 10ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීමටත්, ඉතිරි තෙල් ටැංකි 74 ඉන්දියානු ඛනිජ තෙල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ හවුල්කාරිත්වය දරන නව සමාගමක් මඟින් සංවර්ධනය කිරීමටත් ය. එහෙත්, ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති ඇතුළු පාර්ශ්ව රැසක විරෝධය නිසා අදාළ නව ගිවිසුමට අත්සන් තැබීමට නොහැකි විය. ඉන්දියානු ඛනිජ තෙල් සමාගම දැනට භාවිත නොකරන තෙල් ටැංකි 84න් 16ක් හැර අනෙක් තෙල් ටැංකිවල පූර්ණ අලුත්වැඩියාවක් සිදු කළ යුතු බව තෙල් සංස්ථා වෘත්තීය සමිති පෙන්වා දෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක්

මේ අතර චීන වරායේ පිහිටි මේ තෙල් ටැංකි ඉන්දියානු ඛනිජ තෙල් සමාගම මඟින් භාවිත කරන්නේ කිසිදු බදු ගිවිසුමකින් තොරව, නීති විරෝධීව බවට චෝදනා කරමින්, වෘත්තීය සමිති හතරක් ඇතුළු පාර්ශ්ව පහක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනු කර තිබේ. 2003 පෙබරවාරි 07දා එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය දැරූ චරිත රත්වත්තේ, තෙල් සංස්ථාවේ සභාපති වූ දහම් විමලසේන සහ ඉන්දියානු ඛනිජ තෙල් සමාගමේ නාගේෂ්වරන් එක්ව මූලික එකඟතාවක් මත මාස 06ක් තුළ ගිවිසුමකට එළැඹිය යුතු බව සඳහන් කොට තිබේ. ඒ අනුව චීන වරායේ පිහිටි තෙල් ටැංකි 99න් 14ක් ඉන්දියානු සමාගම භාවිත කරන අතර, එක් ටැංකියක් සඳහා වසරකට ඇමෙරිකානු ඩොලර් දහසක මුදලක් ගෙවීමට සමාගම එකඟ වී තිබේ. කෙසේ වෙතත්, මූලික එකඟතාව අනුව 2003 අගෝස්තු 07දා වන විට තෙල් සංස්ථාව හා ඉන්දියානු ඛනිජ තෙල් සමාගම අතර ගිවිසුමකට එළැඹිය යුතු වුවත්, මෙතෙක් එය විධිමත්ව සිදු කර නැති බවට අදාළ පාර්ශ්ව අධිකරණයට පෙන්වා දී ඇත.

ජනපතිගේ පොරොන්දුව

මෙවැනි තත්ත්වයක් යටතේ ය, පසුගිය ඔක්තෝබර් මාසයේ දී මෙරටට පැමිණි ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා විශේෂ සංචාරයක් සඳහා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණය සඳහා යන්නේ. මේ නිරීක්ෂණයෙන් පසු විදේශ ලේකම්වරයා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර හමුවක් පැවැති අතර, එහි දී ජනාධිපතිවරයා සහතික වී ඇත්තේ, ත්‍රිකුණාමල තෙල් ටැංකි පිළිබඳව පවතින තත්ත්වය දෙරටට ම සුබදායී ලෙස විසඳන බවයි. එහි සම්පූර්ණ කටයුතු තම උපදෙස් මත විෂයභාර ඇමැතිවරයා සිදු කරන බව ද ජනාධිපතිවරයා මෙහි දී පවසා ඇත.

ඒ කියන්නේ, ආණ්ඩුව දැන් සියල්ල සැලැසුම් කර අවසන් ය. 2003 සිට ම ඇදි ඇදී එන මේ ක්‍රියාවලිය නීත්‍යනුකූල පිළිවෙළකට අවසන් කිරීමට, ඒ ආණ්ඩුවට දෙස්-දෙවොල් තබන මේ ආණ්ඩුව සූදානම් ය. මේ සියල්ලන් යන්නේ එක ම පාරේ ය. එදත් මේ තෙල් ටැංකිවලට සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් ජනතාවට දුන්නේ නැත. අදත් ඒ පිළිබඳ කිසිදු නිශ්චිත තොරතුරක් දෙන්නේ නැත. ඒ වෙනුවට දැකිය හැක්කේ මාධ්‍ය මෙහෙයුම් ය.
– ශාලික විමලසේන

Leave a Reply

Your email address will not be published.