“ඇම්බ්‍රෝස්ගේ කවියක් කියවා ඊළඟ කවියට යාමට පෙර එය ජීර්ණය කරගත යුතුය”

ළදරු යොවුන් වියපත් පත් කොහෙන්දෝ පැමිණි වයිරසයකට නතුව සැලෙමින් තුරු අතින් ගිලිහී බිම පතිත වෙමිනි. ඒ පත් සුරත්‍ ය. රුහිරෙන් ද, බියෙකින් ද, දුකකින් ද ඇළලී ගිය පත් පණකෙන්ද රැකගනු නොහැකිව සරොසින් ද මන්දා ලෝහිත පැහැ ගෙන ඇත. එකිනෙකා හා පයුරු පාසානමේ යෙදී ආණ්ඩුකරවන මේ බලැති තුරු, මිනිස් කැළ නැමැති පත් තවත් රඳවාගැනීමේ වගකීමෙන් මිදී සරත් සමයක් එන වරක් පාසා උරහිස් ගස්සන්නට වීම මේ බිමට නියතියකි. බිමැදුණු පත් භූමදානය කෙළෙන්, පස් කඳු ගොඩ ගැසී සිටින්නේ, ගිලිහුණු පත් ගණන කොපමණදැයි තවමත් පණැතිව තුරේ එල්ලී සිටින පත් නෑ සියන්ගෙන් සගවන්නට නොහැක්කාක් මෙනි.
වයිරසයේ බලෙන් තමනුදු නොපවතින බව දන්නා සෙසු පත් කැළ, ප්‍රේමයව හෝ පවතින්නට වසන්තය එනතුරා බලාසිටින්නාක් සේ අප නෙත ගැටුණේ, කල්පනා ඇම්බ්‍රෝස්ගේ ‘නොපවතිනු වස් ප්‍රේමයව පවතිමි’ සඳහා කළ, ‘ඔබ නම් වන සරත් සෘතුව හෙවත් පුදුමය’ කව් නිමැවුමත් පොත් පිළිවැස්මත් එක්ව කළතා, මේ නිශ්චිත මොහොතෙහි තැබූ පසුවය.
මැදි සිතින් අත් හැරීමට කියාදෙන, ඒසැණින් මත් සැඳෑවක මුවා වෙන, ක්ෂුද්‍ර වූ අජීවී දෑ පවා පණක් සේ දරාගෙන, ලොවැති තතු දන්නා නමුදු නොපෙන්නා ඔබ මට ම අන්වීක්ෂණීය නිරීක්ෂණයක් කරන්නට කැසකවන, විසල් කතාවස්තූ නැති අසල්වාසී වුව ද ස්මරණැති, කුරා කුහුඹු- බිඳුණු තත්- කැබලිති බිඳිති කැඩපත් දෑසෙහි ම අල්වා පෙන්වන, නිමිති මේ කව් පදවල පෙනේ.
එක ම කවියට විවිධ අරුත් සැදෙයි. පත් සලන බිරියෝසා ගස් මැවෙයි. “ඇතැම් තාරකා” මිනිස් ආත්මයක් තුළ නේක වර්ධිත සලිත අවධි පෙන්වන දිවි ගඟුලාවකි. “මල් සහ මුල්” මුල මලට ද, මල මුලට ද දායක වන පණ දෙන සැටි පෙන්වයි. මේ කවිය මෙවැන්නකැයි නියමිත කතාවක් ඇය නිමැවුමෙන් සහෘදයාට පොවන්නට නොයයි. සිදුවීම් කියවන්නාට ස්වීයය.
ඇම්බ්‍රෝස්ගේ කවියක් කියවා ඊළඟ කවියට යාමට පෙර පළමුව කියැවූ කවිය, සැලකිය යුතු කලක් දී ජීර්ණය කරගත යුතුය. එහි ද, ඒ වටා ද රැඳී සිටිය යුතුය. බට්ටෝ පනින්නාක් මෙන් අනෙක් කවියට යා නොහැකි බරක් ඇය අප මත හෙළන්නේ සංයමයෙනි. ඉවසීමෙනි.
අක්බාර් පාලම්, ආලයේ වෙරළත්, අවන්හල් මේස, සංග්‍රාම භූමි, හන්දි, අතුරු මංමාවත් ඈ, ඇය සරන ස්ථාන වටා පතක් පතක් ගානේ හෙළමින්, විතක් විතක් ගානේ පුරමින්, සිතක් සිතක් ගානේ සරමින් රිදි රිදී, සැදි සැදී, සමරමය පවනක් වැදි වැදී, පීල්ලෙන් ගලන බසක ගිලි ගිලී, ඔව් ; ඔබට යා හැකිය.
නොපවතින බව යළිත් කියනා කොරෝනාවෙන් පොරබඳින මිනිස් පත් කැළ, කාව්‍ය සංග්‍රහයේ පෙරවදන, පසුවදන සහ ස්තූතිය වෙනුවෙන් ඇඳි හෘද ස්පන්දනයේ අවසන් පණ නළ ව හෝ ප්‍රේමය ව පවතීවායි පතන්නාක් මෙනි.
පවතිනවාද නැද්ද යන්න පවා නොහැඟෙන අනියත අතිශය මොහොතක, නොපැවතීම සඳහා ප්‍රේමයව හෝ පවතින්නට කල්පනා ඇම්බ්‍රෝස්, අපට හැකි වෙද… එය එසේ වේවා !
– ඩිල්ශානි චතුරිකා දාබරේ

සබැඳි

Leave a Reply

Your email address will not be published.